[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුෂ්කරතා පැමිණියත් මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය අඩුපාඩුවකින් තොරව පවත්වනවා - ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිම

දුෂ්කරතා පැමිණියත් මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය අඩුපාඩුවකින් තොරව පවත්වනවා

ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ශ්‍රී ලංකාවාසී අප හැමදෙනාගේ ම ගත සිත සුවයට මහත් අස්වැසිල්ලක් ලෙස අදත් අපට දැනේ. එදා මේ රටේ විසූ බොහෝ ජන කොටස්වලට ද එය එසේම වන්නට ඇති.

එසේ කියන්නේ උන්වහන්සේ දේශනා කළ නවතම දහම ඕනෑම ජන සමාජයක නිවීම සැනසීම පිණිස හේතු වූ දයාව, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම වැනි මානුෂික ගුණාංග මිනිස් හදවත් තුළ තහවුරු වන ආකාරයේ දහමක් වූ නිසා ය.

එදා පොසොන් පුර පසළොස්වක පෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමාත් මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.

ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම බෙදා දුන් ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලා පුදබිමයි. එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කර ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළේ මේ පුණ්‍ය භූමියේ දී යි. ඒ ලෝකයේ පළමු වාචික බුද්ධි පරීක්ෂණය සිදු වූ පුණ්‍යවන්ත දිනයයි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න දෙකක් අසන ලදී. ඒ අප කවුරුත් දන්නා අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය යි. එදා එම සංවාදය වූ ස්ථානයේ අද සේල චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටිති.

ඒ සෑ රජාණන් වහන්සේගේ ගර්භයේ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ සිටිති. ඒ වගේම අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ආදාහනය සඳහා සුදුහඳුන් දර යොදාගත් අතර, ඒ දැවී ගිය සුදුහඳුන් දරවලින් ඉතිරි වූ අඟුරු හෙවත් අංගාරික ධාතූන් වහන්සේ සහ උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේත්, අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කර ඉදි වූ සෑ රජාණන් වහන්සේ නමක් වැඩ සිටිති.

සුමන සාමණේරයන් වහන්සේ දෙවියන්ට ධර්මය ඇසීමට ආරාධනාවක් සිදු කළ ස්ථානයේ පිහිටි ආරාධනා ගල වගේම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විවේකීව වැඩ සිටි මිහිඳු ගුහාව මේ පුණ්‍ය භූමියේ පිහිටා තිබේ.

ඒ වගේම මෙම පුණ්‍ය භූමියේ ඇති තවත් සුවිශේෂී අංගයක් වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුදැනුම මත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමවා සිටුවා රෝපණය කළ අෂ්ඨඵල බෝධීන් වහන්සේ නමක් ද වැඩ සිටීමයි.

මෙවන් අසිරිමත් පුණ්‍ය භූමියක, අපරිමිත ගුණයන්ගෙන් කැටි වූ ඓතිහාසික උරුමයන්ට උරුමකම් කියන පින්බර බිමක 2022 පොසොන් උත්සවය සමරන්නේ කිනම් අයුරින් ද කියා අපි මිහින්තලා රාජමහා විහාරාධිපති භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේ සමඟ කතාබහ කළෙමු. මේ උන්වහන්සේ මෙවර පොසොන් උත්සවය පිළිබඳ පළ කළ අදහස් ය.

මෙම වර්ෂයේ දී ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන සිදු කරන්නේ 2330 වැනි ජාතික පොසොන් පින්කමයි. ජාතික පොසොන් පින්කමට සමගාමී ව අප විහාරස්ථානයේ සෑම වර්ෂයක දී ම පොසොන් පින්කම ආරම්භ කරන්නේ සති පිරිත් දේශනාවකින්. එම සති පිරිත් දේශනාව මෙවර සිදුවූයේ ජුනි මාසයේ 05 වැනි දා සිට 12 වැනි දා දක්වායි. ඉන් අනතුරුවයි ජාතික පොසොන් පින්කම ආරම්භ කරන්නේ.

මුළු මහත් ලෝකයම කොරෝනා වසංගතයෙන් දැඩි සේ පීඩාවට පත්වෙලා වර්තමානය වන විට එහි යම් සුවදායක තත්ත්වයක් අප රට වගේ ම ලෝකයාත් භුක්ති විඳින අවස්ථාවක. නමුත් මෙම වසරේ දී ශ්‍රී ලාංකිකයන් ලෙස අප දැඩි ආර්ථීක දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින්නේ. එනිසා වෙසක් පින්කම වගේම මේ උතුම් පොසොන් පින්කමත් නිසියාකාරයෙන් සැලසුම් කර ගත් ආකාරයෙන් ම සිදු කිරීමේ දී යම් යම් බාධාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙවර පොසොන් උත්සවයට අපට සෘජුව ම එය බාධාවක් වී තිබෙනවා.

කෙසේ වුවත් අපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය මෙම ධරණී තලයේ පිහිටුවා අවුරුදු 2330 ගත වෙන මොහොතේ මෙවර පොසොන් පින්කම අප සුපුරුදු පරිදි සිදු කිරීමට අපේක්ෂිතයි. ජාතික පොසොන් පින්කම සඳහා ජනතාවට අවශ්‍ය කරනු ලබන පහසුකම් ලබා දීමේ දී ද විශාල ගැටලුවක් ඇති වී තිබුණත්, ඒ සියලු දේ කළමනාකරණය කරගෙන අත්හැර දැමිය නොහැකි මෙම පින්කම අප විහාරස්ථානය මුල්කරගෙන බොහෝ දෙනාගේ සහයෝගයෙන් සිදුකරනු ලබනවා.

ඒ වගේම මේ මස 13, 14, 15 යන දින තුන තුළදී ශ්‍රී ලංකාවාසී මෙන්ම, ලෝකවාසී ඕනෑම කෙනකුට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මෙන්ම අංගාරික ධාතූන් වහන්සේ වැඳ පුදා මහත්ඵල පින් රැස්කර ගන්නට පුළුවන්.

එනිසා අපි සැදැහැවතුන්ගෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ අවම පහසුකම් යටතේ වුව ද මිහින්තලා පුදබිමට පැමිණ සිත් සේ ධාතුන් වහන්සේ දැක වන්දනාමාන කර ගන්නා ලෙසයි. එලෙස අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපි කෘතගුණ දක්වමු.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]