[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

අමා දම් ගඟ ගලා ගිය වග

මිස්සක පව්ව මත අනුබුදු මිහිඳු හිමී
ලස්සන පොසොන් සඳ රැස් අහුරකට තෙමී
තිස්ස ය කියා අමතන විට සිරස නැමී
පස්සට ගියා මහ රජ අවි බිමට දැමී

දුනු හී අමෝරා මුව දඩයමේ ගිය
මහ රජ දෙවන පෑතිස් හදවතේ බිය
මතු කර කඳු මුදුන බැලුවම අගේ ම ය
වැස්සූ මිහිඳු හිමි සදහම් අමා දිය

****

පොසොන් පොහෝ දින අසිරිය

නිරිඳු දඩ කෙළි යද්දී
තිස්ස යන නම ඇසුණී
කඳු මුදුන වෙත යද්දී
රජු මිහිඳු හිමි දිටී

විමසමින් අඹ පැනය
රජුගේ පිළිතුර ලබා
හස්ති පද සුතුරකින්
මිහිඳු හිමි දම් දෙසූ

****

පොසොන් පොහෝ දින

කසාවතින් සැරසී අනුබුදු හිමි මිස්සක පව්වට වැඩිය දිනේ
සිහිපත් කරමු බැති සිතින් පින්බර පොසොන් දිනේ
අඳුරින් ආලෝකයට ලක්දිව එක් කරපු දිනේ
කියමින් තුරු ලතා තාලෙට සුළඟෙ වැනේ

****

පොසොන් සඳ බැබළේ

තටු සල සලා ඉගිලෙති සමනල රෑන
සිරි සිරි පොදය සිරුරට සීතල ගේන
සම්බුදු සිරිය ඇත තවමත් අඩු නූන
බැබළෙයි පොසොන් පසළොස්වක සඳ මුහුණ

පිහිනා සයුර මැද මෑණියන් කර තබා
විවරණ රැගෙන තම අරමුණ ම සිහි තබා
සාරාසක කල්ප සසරෙහි වැඩිය නොබා
බුදු වුන මහිමි වඳිනෙමි සිරස බිම තබා

****

මිහිඳු සමිඳු වැඩියා බුදු දහම අරන්

පායා පුර සඳ ගනඳුර බින්දාට
තරු හිනැහිලා නිලඹර දිලුනාට
බැඳිලා ලෝබ සිත දඩයමට
පෑතිස් නිරිඳු වැදුණා මහ වනයට

මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා
පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා
තිස්ස කියන හඬ රජු සිත බින්දා
දුනු හී අතහැර හිමිරුව වැන්දා

සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට
අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට
අපි වෙමු පසිඳු සමනුන් ගිය බුදුමගට
දෙසුවා මිහිඳු හිමි පෑතිස් නරනිඳුට

ඉර පායන විට මිනිසුන් ඉරටත් වැන්දා
සඳපායන විට ගැමියන් සඳටත් වැන්දා
විසල් ගසක් විසල් ගලක් දුටුවත් වැන්දා
ගතවිලි වසන්නට කොළඅතු ඇන්දා

අහන්න දරන්න නිති දහමක් ලැබුණා
ලියන්න කියන්න නිති ශිල්පය ලැබුණා
නෙළන්න සදන්න නිති කලාව ලැබුණා
ගයන්න වයන්න නිති තාලය ලැබුණා

වනයට මනරම් උයනක් සැදුණා
උයනට අගනා සෑයක් සැදුණා
සසුනට වටිනා අරමක් පිදුණා
දනහට විඳිනට දහමක් ලැබුණා

පෑතිස් නිරිඳු හා හතළිස් දහසක් ආවා
චුල්ලහත්ථි සුතුරට සැම කැටිකෙරුවා
අනුබුදු මිහිඳු හිමි තුම් සදහම් දෙසුවා
තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා

සාමණේර සුමන හිමිගෙ ඇරයුම් ලැබිලා
මිස්සක පව්වට දෙව් මහ පිරිසක් වැඩලා
අනුබුදු මිහිඳු හිමි සදහම් රස බෙදලා
පොසොන් පෝය දා ලක්දිව එකලු කළා

****

දහමෙහි පැහැද

පෝදා සඳවතින් විහිදේ රැස් කිරණ
ඒ සඳ රැසින් බැබළේ මුළු ලක් දෙරණ
රෑ තද අඳුර සඟවා තුටු කර නයන
පෑ ඔද සිහි කරයි අනුබුදු හිමි ගමන

බුදුවස් දෙසිය තිස්හය වන වසරේ දී
මුටසිව නිරිඳු දම්සෝ නිරිඳුගෙ සබැදී
දෙව්පියතිස් කුමරුහට රජකම ලැබදී
සිහසුන් පත් කළේ ලක්මව පින් පරිදී

උතුම් බුදු දහම ලොව අන් රටවලට
දෙසා එම සුවය දීමට ලෝ දනට
දම්සෝ නිරිඳු තෝරාගත් රට වලට
ලක්දිව අයත් වූයේ අපේ පෙර පිනට

රජ ඇරයුම ලැබුණි අනුබුදු සමිඳුන්ට
ලක්දිව වැඩමවා ලක් රජු හමුවන්ට
බුදු දම් දෙසා බුදු සසුන ද අරඹන්ට
තුම් බුදු දහම සදහට මෙහි පවතින්ට

රජ ඇරයුම පරිදි අනුබුදු හිමි සමිඳු
කුළුණැස අප රටේ ජනයා වෙත විහිදූ
මෙහි වැඩමවා හමුවී පෑතිස් නිරිඳූ
සදහම් දෙසා ලක් දනගේ සිත් පැහැදූ

දන් දෙමු පින් කරමු තෙරුවන් නිති නැමද
සන්සුන් ගති පැවත්මන් නිරතුරු වැළඳ
පින් පිරි පිළිවෙත් ම තහවුරු කර නිබඳ
සන්තොස් දැයක් වෙමු බුදු දහමෙහි පැහැද

****

නිරාමිසය

සඳ නැඟ එන
මැදියම් රෑ
සුළඟ හමන හෝරාවේ
කුටියේ උණුසුම මැද්දේ
බවුන් වඩමි නිසන්සලේ
නිවී ගිහින් මුළු ලෝකෙම
සිත නොදුවයි සතර අතට
නිහඬව නතරව
එකතැන
දැනෙන සුවය
නිරාමිසය

****

නොදනිමි

රාග ද්වේශ මල මෝහ පරාජිත
ලොව්තුරු බුදු සමිඳුන්
දෙසා සැනහූ රසින් මනහර
මහරු දම් දිය රැස්
කමල බුදු පා සොඳුරු ගුණ පා
වැළඳගත් තෙවරක්
සොඳුරු ලක්දිව ලොවේ සුපතළ
දෙකට බෙදිලා දැන්
කිම්ද මම නොදනිම්...
ජාති කුල මල භේද අතරට
ආගමක් එක් වී
නිවට දන සත කාසි අතරට
ජීවිතත් බදු දී
සැමට සෙත දෙන කවිය අතරට
බුදු දහම මිල වී
දහස් අවුරුදු රැකෙන්නේ දම්
කෙසේ දෝ සොයමී,
කිමද මා නොදනිම්.....

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]