[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ උන්නතියට කැපවූ වරාපිටියේ ආනන්ද හිමි

සම්බුදු සසුනේ උන්නතියට කැපවූ වරාපිටියේ ආනන්ද හිමි

දකුණු පළාතේ රෝහණ පුරවරයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මනරම් පරිසරයක ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාසන්නයේ රුක්ගහදෙනිය නිවසේ කොඩිකාර කංකානම්ගේ හෙන්ද්‍රික් අප්පුහාමි හා හෙට්ටිආරච්චි ගමගේ ඤාණවතී යන දම්පතීන්ට දාව උපන් දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලේ හතරවැනි දරුවා ලෙස 1950 අගෝස්තු 28 දින මෙම පින්වත් කුල කුමරුවා උපත ලැබීය.

රම්මල ආරණ්‍ය සේනාසනාධිපති නැටියපානේ ධම්මපාල ලොකු හාමුදුරුවන්ගේ ඇසුරට පත්ව උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් වර්ෂ 1963 නොවැම්බර් 21 වන දින වරාපිටියේ සුමනසාර නමින් උතුම් ප්‍රවෘජ්ජා භූමියට පත්විය.

හුණුපිටියේ ගංගාරාම විහාරයේ ශ්‍රී ජිනරතන පිරිවෙණට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිටින අතර, උතුරු තලංගම බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරයේ විහාරාධිපති අංගම්පිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ ඇසුරේ හැදී වැඩෙමින් සුවච ව කීකරු ව ගුරු –ශිෂ්‍ය සබඳතාවක් ඇතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විහාරාධිපති අංගම්පිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස හා ඇතුල්කෝට්ටේ සිරිපැරකුම්බා පරිවේණාධ්‍යක්ෂ තත් විහාරාධිපති අත්තිඩියේ ධර්ම ශ්‍රී නායක ස්වාමීන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යායත්වයෙන් වර්ෂ 1978 ජූලි 23 වැනි දින කෝට්ටේ රාජමහා විහාරයේ දී වරාපිටියේ ආනන්ද නමින් නැවත ප්‍රවෘජ්ජා භූමියට පත් වූහ.

වර්ෂ 1971 ඇසළ මස 04 වැනි දින මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස සංඝ මූලස්ථානස්ථ මංගල උපෝසථාගාරයේ දී වතුරුවිල ශ්‍රී ඤාණාන්දාභිධාන මහානායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස උතුම් උපසම්පාද පදවියට පත්වූහ.

උතුරු තලංගම හීනැටිකුඹුර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අංගම්පිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භාවය ලැබූ බැවින් කොළඹ කොටා පාර ජයවර්ධනාරාමය, කෝට්ටේ ශ්‍රී නාග විහාරය, හීනැටිකුඹුර පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති අංගම්පිටිය් ගුණරතන ස්වාමීන් වහන්සේගේ සහ ඇතුල්කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙන් අධ්‍යක්ෂ අත්තිඩියේ ධර්ම ශ්‍රී නායක ස්වාමීන් වහන්සේ දෙනමගේ ශිෂ්‍යයකු ලෙස 1978 ජුනි මස 24 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී දෙවන වරට අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රාප්තියට පත්වූහ.

හීනැටිකුඹුර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වූ අප ස්වාමින් වහන්සේ ජරාජීර්ණ ව පැවති මෙම විහාරස්ථානය ක්‍රමානුකූලව පිළිසකර කරමින් නව විහාරාංග ද එකතු කරමින් සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කිරීමට සමත් වූහ.

ස්වකීය නායකත්වයට අයත් වගකීම් නොකඩකොට මැනවින් ආරක්ෂා කරමින් විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට හා සතරපේරුවේ දායකදායිකා පින්වතුන්ට තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම උන්වහන්සේගේ සුවිශේෂ ගුණාංගයක් ලෙස දැක්විය හැකි ය.

පස්නමකගෙන් යුත් ශිෂ්‍ය පිරිසක් බිහිකිරීමේ කාර්යය ද වරාපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතින් ඉටුවී ඇත.

සම්බුද්ධ ශාසනය පිළිබඳ ප්‍රසන්න සිතින් යුතුව වැඩවිසූ උන්වහන්සේ වසර 60 කට අධික කාලයක් මහ තෙරනමක ලෙස මහ මෙහෙවරක් ඉටුකර වයස අවුරුදු 72ක් ආයු වළඳා 2022 ක් වූ ජුනි මස 05 වැනි ඉරු දින අපවත් වී වදාළහ.

හීනැටිකුඹුර පුරාණ විහාරය සහ බණ්ඩාරවත්ත ආනන්දාරාමය යන උභය විහාරාධිපති, විනයාචාර්ය, සමස්ත ලංකා සාමවිනිසුරු වරාපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසු ගිය 08 වැනි දින සිදු කෙරිණි. උන්වහන්සේට උතුම් වූ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]