[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 67 කොටස: අපේ උරුමය රැකගැනීමේ සටන ආරම්භ කරමු

දුටුගැමුණු මහ රජතුමා - 67 කොටස:

අපේ උරුමය රැකගැනීමේ සටන ආරම්භ කරමු

“යුද්ධයට ඇති සූදානම මදි. ඒ නිසා ඒ සඳහා අවසර දෙන්නට බැහැ”. පිය රජතුමා කීවාම ගැමුණු කුමාරයා කිපුණා. ඇත්තටම මමත් කලකිරුණා. නමුත් රජතුමා නිවැරැදි බව දැන් අපට වැටහෙනවා.

රජතුමා මියගිය බව දැනගත් අවස්ථාවේ මට මහත් වේදනාවක් ඇති වුණා. එයින් මිදෙන්නට නම් මාගමින් දුරස්වී සිටීම අවශ්‍ය බව පෙනුණා. දුටුගැමුණු රජතුමා මළගමට නොපැමිණීම ලොකු වරදක්. එයින් තිස්ස අයුතු ප්‍රයෝජන ගන්නට සූදානමින් සිටින බවත් මට හැඟී ගියා. දීඝාභය, තිස්ස දෙදෙනා අතර සුහදතාවක් ඇති වීම වැළැක්වීමට නම් මා සිටිය යුත්තේ දිගාමඩුල්ලේ බව මට අවබෝධ වුණා. ගැමුණුට නිදහසේ මාගමට එන්නට ඉඩ තබා මා දිගාමඩුල්ලට ගියා.

“දැන් ඒ සියල්ල අවසන්. අපේ ප්‍රධාන අරමුණට යොමු වෙමු. අපි අපේ උරුමය ලබා ගැනීමේත්, බුද්ධශාසනය රැක ගැනීමේත් සටන ආරම්භ කරමු.”

බිසොවුන් වහන්සේගේ කතාවට සවන්දී සිටි පිරිස සිය අසුන්වලින් නැඟී එතුමියට ආචාර කර සිය ප්‍රසාදය පළ කළහ.

ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ උදාර අරමුණු සඳහා යුද්ධයට මාගම රාජ්‍යයේ සියලු බල හමුදා සූදානම් ව සිටිතියි ප්‍රකාශ කරමින් නන්දිමිත්‍ර මහ සෙන්පති ඒ පිළිබඳ ප්‍රතිඥා පත්‍රය දුටුගැමුණු මහ රජතුමාට පිළිගැන්වී ය.

යුද්ධය සඳහා ඇසළ මස පුර පෑළවිය දින සුදුසු යැයි කියමින් කාම්බෝජ මහ පඬිතුමා ඒ පිළිබඳ නැකැත් පත්‍රය විහාරමහා දේවිය වෙත පිළිගැන්වී ය.

යුද්ධය සඳහා මාගම සිට විජිතපුර දක්වාත් එහිදී විජිතපුර බලකොටුව ජය ගෙන එතැන් සිට ගිරිල, මහෙල බලකොටු, බිඳිමින් අනුරාධපුරය දක්වාත් යායුතු ගමන් මඟ නියමිත සැලසුම් සහිතව නන්දිමිත්‍ර මහ සෙනවි විසින් ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේට පිළිගැන්වනු ලැබීය.

ජයශ්‍රී !,ජය ශ්‍රී ! කියමින් සභාවේ සිටි සියලු දෙනා සිය අසුන්වලින් නැඟී සිටියහ.

“මහ රජතුමනි, දැන් අපට යෑමට අවසර දෙන්න. අපි විහාර මහා දේවිය කී සියල්ල අනුමත කරමු. මේ යුද සැලැස්මට මහ බිසොවුන් වහන්සේගේ ද අනුමැතිය ලැබුණු පසු මහ සෙනෙවිවරුන්ගේ අතට පත් කළ යුතුයි. සිරිනාග මහ සෙනෙවි අපෙන් වෙන් වී යන්නට ප්‍රථම මෙහි කසාතොට සිට අනුරපුර දක්වා ඇති ගමන්මග ගැන තවදුරටත් උපදෙස් දෙන්නේ නම් අපේ මහසෙනෙවිවරුන්ට වැදගත් වේවි.

ගැමුණු රජතුමා ඇතුළු රජ පවුලේ සියලු දෙනාගේ විශේෂ ආරක්ෂාව දාව ආචාර්යතුමාගේ උපදෙස් සහිතව මහ සෙනෙවි කෙනකු හා එම සේනාංකය වෙත පැවරිය යුතුයි. දාව ආචාර්යතුමාගේ ආරක්ෂක සෙනෙවිවරුන්, ඒ අසලින්ම ගමන් කිරීම අපේ කලින් සැලසුම්වලට ඇතුළත් ව ඇති. පෙරමුණේම ගමන් කරන්නේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලාගේ දානමාන වෙනුවෙන් කිසිවකු මෙහෙය විය යුතු නැහැ. ඒ සියල්ල උන්වහන්සේලා විසින්ම සපයා ගන්නවා ඇති.”

“මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. නමුත් ගමන බලාපොරොත්තු වන තරම් වේගවත් නැහැ. එය කිසිවකුගේ උදාසීනත්වයට හේතු විය යුතු නැහැ. මෙය තවත් රටක් අල්ලා ගැනීමේ යුද්ධයක් නොවෙයි. බුද්ධ ශාසනය රැක ගැනීමේ, ජාතියේ අයිතිය තහවුරු කිරීමේ ව්‍යාපාරයක්. සංස්කෘතික විප්ලවයක ස්වරූපයක් දෙමින්, ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ගමනේ යෙදෙන විට ජනතා සහාය නොමදව ලැබේවි. මහියංගනයේ දී මේ අතින් අපට විශාල වැඩ කොටසක් කරන්නට සිදුවේවි.”

එසේය, ස්වාමීන් වහන්ස, මගේ සිත් ගත් ගමන් සැලැස්මත් ඒකයි. මහියංගන බලකොටුව ජයගෙන එහි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට මාස කිහිපයක් නතරව සිටිමින්, එහිදී සංවිධාන ශක්තිය වඩාත් පුළුල් කර ගන්නට අවස්ථාව සැලසේවි.”

බලකොටුවෙන් බලකොටුව, කඳවුරෙන් කඳවුර ජයගෙන නැවත නැවත සේනා ශක්තිය දියුණු කර ගනිමින් ඉදිරියට යාම කාගේත් ප්‍රබෝධයට හේතු වේවි.

ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේ, මහාසිව මහා ස්වාමීන් වහන්සේත් කාගේත් වැඳුම් ලබමින් සභා ශාලාවෙන් පිටත්ව ගියහ. දුටුගැමුණු මහ රජතුමා මහසෙනෙවිවරුන් ඇමතීය.

“අපේ නිරීක්ෂණය අනුව අපට කඳවුරු තිස් දෙකක් ප්‍රබල ජන ප්‍රධානීන් නොහොත් සේනාධිපතිවරුන් තිස් දෙනකු ජය ගන්නට සිදු වේවි. පහසුවෙන් හෝ අපහසුවෙන් ඉදිරියට යමින් අවශ්‍ය තැන කල් ගනිමින් කරන සටන අසීරුවක් නොවෙයි. සියලු හමුදා කොටස් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් තබා ගන්නට අපට හැකි විය යුතුයි.”

“ප්‍රමාණවත් වෙද හෙද මණ්ඩලයක් පත් කිරීම, රාජ්‍ය වෛද්‍යවරුන් ගෙන් සිදුවේවි. විෂ වෛද්‍ය කණ්ඩායමකුත් එයට එකතු කර ගනීවි. එම කාර්යයන් වෙනුවෙන් සෙබළුන් සිය දෙනකු පත් කරන්නට උපදෙස් දී තිබෙනවා.

“එක් සෙනෙවියකු බාරේ සෙබළුන් දහස බැගින් සේනාංක සියයක්,දසමහ සෙනෙවිවරුන්ගේ සේනාංකවලට අමතරව සංවිධානය කර ඇති බව නන්දිමිත්‍ර සේනාධිපතිගේ වාර්තාවේ සඳහන් කර තිබුණා. අතිරේක සියලු සේනාංක හා අලුතින් එකතුවන බලසේනා හා ප්‍රධාන සෙනෙවිවරුන්ගේ අධීක්ෂණය යටතේ සේනාංකවලට ඇතුළත් කෙරේවි.”

“කසාතොටට යනතෙක් සේනාංකවල පහසුව සඳහා ගමන් මාර්ග කිහිපයක් යොදා ඇති බව උත්තර මහ ඇමතිගේ වාර්තාවේ සඳහන් වෙනවා. නවාතැන්, ආහාරපාන ආදිය ගැන එක් එක් සේනාංකයට වෙන වෙන ම උපදෙස් ලැබේවි. විවිධ අවශ්‍යතා සඳහා පමණක් නොවෙයි යුද්ධ කාර්යය සඳහා එක්වන කාන්තාවන් පිළිබඳ වගකීම හා මෙහෙයවීම සමන්තා, මහිලා නැඟණියන්ටත් රජිතා, රන් මැණිකා බිසොවුන්ටත් පැවරෙයි.” කී දුටුගැමුණු රජතුමා සාකච්ඡා වටය ඇරැඹීමට නන්දිමිත්‍රට කීවේ ය.

පසුදා උදෑසන මාගම රාජ්‍යයෙන් දූතයකු අනුරාධපුර රාජධානියට පැමිණ ඇති බව කසාතොටින් වාර්තා වූ වහාම එළාර රජතුමා ඔහු යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට කැඳවන ලෙස උපදෙස් දුන්නේ ය.

දුටුගැමුණු රජතුමා සාම දූතයකු එවා ඇතැයි සිතූ එළාර රජු තමා අපේක්ෂා කරන සොළී සේනාව එනතුරු යුද්ධය ප්‍රමාද කර ගත හැකි නම් මැනවැයි සිතට නඟා ගත්තේ ය.

එළාර මහ රජතුමා. අමාත්‍ය මණ්ඩලය, මහසෙනෙවි මණ්ඩලය පමණක් කැඳවා ගන්නා ලද්දේ දූත කාර්යයට ප්‍රචාරයක් ලබා නොදිය යුතු යැයි දීඝජන්තු කළ යෝජනාව හෙයිනි.

කසාතොට සිට ආ ආරක්ෂක සෙනෙවිවරුන් දෙදෙනකු විසින් කැඳවාගෙන ආ ඛඤ්ඡදේව මහසෙනෙවි, මහමෙව්නාවේ සම්මන්ත්‍රණ ශාලාවට කැඳවනු ලැබිණි. එළාර රජු ප්‍රමුඛ සභාව ඉදිරියට පැමිණි ඔහු එහි වූ කාටත් සිනාමුසු බැල්මකින් සංග්‍රහ කළේ ය.

“මහ රජතුමනි, මාගම රාජ්‍යයේ දුටුගැමුණු මහ රජතුමාගෙන් සන්දේශයක් රැගෙන ආවෙමි.”

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]