[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරදිග රටක් හැටියට ආගමික පසුබිම ශක්තිමත් කරන්න අවශ්‍යයි

පෙරදිග රටක් හැටියට ආගමික පසුබිම ශක්තිමත් කරන්න අවශ්‍යයි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මොරටුව ලුනාව බෝධිරාජාරාමාධිපති අගලකඩ සිරිසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ආගමික හා අධ්‍යාපනික පමණක් නොව, ජාතික වශයෙනුත් අගයෙන් අගය කළ යුතු සේවාවක නිරතවන බහුශ්‍රැත ධර්මානුධර්ම ප්‍රතිපන්න සංඝ නේතෘන්වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ගෞරවනීය මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක හාමුදුරුවන් වහන්සේ බාල කාලයේ පටන් මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරනවා නම්,

වැලිවිට ශී‍්‍ර සරණංකර සංඝ රාජයාණන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූ අගලකඩ ධම්මරක්ෂිත ස්වාමීන් වහන්සේ පහත රටට වැඩම කරමින් අගලකඩ පුරාණ විහාරස්ථානය ස්ථාපනය කර තිබෙනවා. අගලකඩ සඟ පරපුර උන්වහන්සේගෙන් ආරම්භ වුණ සඟ පරපුරක් වගේම වැලිගම අග්‍රබෝධිරාජ විහාරය, ගොඩපිටිය ජේතවන රාජ මහා විහාරය වැනි ආයතන ස්ථාපනය කිරීමේ ගෞරවය ද උන්වහන්සේට හිමිවෙනවා. උන්වහන්සේ නිසා කීර්තිමත් වුණ ගමක ජන්මලාභය ලබන්නට මට භාග්‍ය ලැබුණා. එය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස නගරයට නොදුරුව පිහිටි ඉතාම සුන්දර සශ්‍රීක වූ ගැමි පරිසරයකට ආවේණික වූ අංගෝපාංගයන්ගෙන් සමන්විත වුණ ගමක්.

පෝරතොට කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසුව තමයි මම පැවිදි ජීවිතයට ප්‍රවේශය ලබන්නේ. ඒ පැවිදි ජීවිතයට ප්‍රවේශය ලබා ගන්න විශේෂයෙන් බලපෑමක් ඇති කළේ ගමේ විහාරස්ථානය. අපි නිවසින් පිටතට පැමිණෙන විට ගමේ විහාරස්ථානයේ සුදෝසුදු පැහැයෙන් බබළන චෛත්‍යරාජයාණන් වහන්සේ දකින විට සිත උතුරා යන ශ්‍රද්ධාවක් දියුණු වුණා. ගමේ පන්සල ආශ්‍රයෙන් හැදුණ වැඩුණ නිසා ආගමේ බලපෑම දැඩිසේ ජීවිතය හා බද්ධවීමේ ප්‍රතිඵලයත්, වාසනා ගුණයත්, මා පුරණ ලද පාරමීදම් බලයත් නිසා මේ වාසනාවන්ත ප්‍රවෘජ්‍යා ජීවිතයට ප්‍රවේශවීමේ භාග්‍ය ලැබුණා.

මම පැවිදි බව ලබන්නේ මොරවක් කෝරළයේ ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරයේදී. මගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වුණ අතිපූජනීය දෙහිගස්පේ සුමනසාර නායක හාමුදුරුවන් වහන්සේ බොහොම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව මේ අවස්ථාවේ දී සිහිපත් කරනු ලබනවා. උන්වහන්සේගේ අනුදැනුම, මඟපෙන්වීම, අවවාද අනුශාසනා හා පූර්වාදර්ශ නිසා ශිෂ්‍ය ජීවිතයත්, භික්ෂු ජීවිතයත් අද දක්වාම පූජනීයත්වයෙන් සුරක්ෂිත වුණා.

ඒ වගේම එවකට කීර්තිමත් විද්‍යායතනයක් වුණ බද්දේගම ශ්‍රී ඉන්දසර පිරිවෙනින් ඉතා හොඳින් ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ලැබුවා. විශ්ව විද්‍යාල මහා ඇදුරන්ටත් වඩා භාෂා ඤාණයන්ගෙන් පරිපූර්ණ ගුරු පරපුරක් වූ නිසාම ඔවුන්ගේ ඇසුර හරිම ආශ්වාදනීයයි. ඔවුන්ගේ දැනුම හරිම නවීන වුණා. එවැනි සම්භාව්‍ය වියත් ඇදුරු මඬුල්ලක් වෙතින් ලැබූ දැනුමත් සමඟ මම කොළඹ සරසවියට ඇතුළත් වුණා. මගේ විෂයයට, දැනුමට, හොඳම තෝතැන්නක් වුණ එම සරසවියේ සිටි කීර්තිධර මහ ඇදුරු පරපුරකින් ශිල්ප ඥානය ලබන්න වාසනාවන්ත වුණා. ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගෙන එහිම ආචාර්යවරයකු වෙලා අවසානයේ මහාචාර්යවරයකු වගේම සිංහල අංශයේ අංශ ප්‍රධාන බවට පත්වෙන්නට මට පුළුවන්කම ලැබුණා.

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ජනාදරයට පත් අපේ හාමුදුරුවෝ ව්‍යක්ත ලේඛයකු මෙන්ම ගත් කතුවරයකු වශයෙන් ශාස්ත්‍රීය ලෝකයට ප්‍රදානය කළ සම්භාව්‍ය ග්‍රන්ථ් පිළිබඳ හැඳින්වීමක් කරන්න හාමුදුරුවනේ,

බුද්ධ පුත්‍රයකු හැටියට භික්ෂුවකට පැවරෙන අනිවාර්ය වගකීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊළඟ පරම්පරාව වෙත කියාදීම, ගමේ පන්සලේ හාමුදුරුවො පමණක් නොවෙයි සෑම හාමුදුරුනමක් ම බණ කියන්න ඕනේ. ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක් වැඩ සිටියත් ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේලා හරිම අඩුයි. මට දුප්පත් පුංචි පැල්පතකින් ආරාධනාවක් ලැබුණත්, රජ මැදුරක ආරාධනාවක් ලැබුණත් ධර්මය දේශනා කරනවා. ලෝකයේ කොතැනක සිටියත් බුද්ධ පුත්‍රයකුගේ කාර්යභාරයෙහි අපි නිරත නොවුණහොත්, එම කාර්යය ඉෂ්ට කරන්නේ කවුද? එනිසා භික්ෂුවගේ කාර්ය හැටියට මම අරලියගහ මැදුරේ සිට පුංචි පැල්පත දක්වාම දහම් දෙසීමේ කාර්යයෙහි නියැළෙමින් සිටිනවා. බොහොම නිහතමානීව සත්කාර පිරිකර අපේක්ෂාවෙන් තොරව ඇතැම්විට ගමන් ගාස්තු පවා ලබා නොගෙන, නිස්සරණාධ්‍යාශයෙන් බුද්ධ පුත්‍රයකුගේ කාර්යභාරය ඉටුකරනවා.

ඒ වගේම අපේ රටේ සාහිත්‍ය , කලාව පෝෂණය කළේ විශ්වවිද්‍යාල ඇදුරන් අද විශ්ව විද්‍යාල ඇදුරන් පොත් ලියන ප්‍රමාණය බොහොම අඩුයි. විශ්ව විද්‍යාල ආචාර්යවරයා තමයි සමාජයට මඟ පෙන්වන්නේ. ඔහු තමයි සමාජයේ මතය හදන්නේ. මම පුවත්පත්වලට, සඟරාවලට අප්‍රමාණ ව ලිපි ලියනවා.

මා විසින් දේශනා කළ අපේ රහතන් වහන්සේගේ චරිත කතා දේශනා මාලා “නුවණ පුබුදන දහම් අරුණලු’ යනුවෙන් කෘතියක් වශයෙන් රචනා කළා. බුදුසරණ පුවත්පතට ලියන ලද ලිපිමාලාව“ බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍ය” වශයෙන් වටිනා ග්‍රන්ථ බවට පත්වෙලා තිබෙනවා. තෝරාගත් ජාතක කතා 50ක් අපූර්වට විවරණය කරමින් ‘බෝසත් කතා පෙළ නැවත කියවමු’ යනුවෙන් රචනා කළ ග්‍රන්ථයත්, සම්භාව්‍ය සාහිත්‍යයේ රසමුසුතැන් විචාරයට ලක්කරමින් රචනා කළ “විමසුම්ධාරා ග්‍රන්ථත්, අමාවතුර ග්‍රන්ථය පාඨකයාට පහසුවෙන් කියවා රසවිඳිය හැකි අයුරින් “අමාවතුර ගැටපද අකරාදිය ග්‍රන්ථයත්, ගුත්තිල කාව්‍ය අලුත් සංස්කරණයත්, ගුරුවරයකු නැතිව තනිව රසවිඳිය හැකි හංස සන්දේශ සංස්කරණයත්, පාඨක ලෝකයා වෙත දායාද කර තිබෙනවා. එයට අමතරව සම සංස්කරණත් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

සමාජය පිළිබඳ ප්‍රබුද්ධ ලෙස ක්‍රියාශීලී ඔබ වහන්සේ නූතන සමාජයේ මතුවී ඇති ගැටලුවලට විසඳුම් සෙවීමෙහිලා ධර්මානුකූල යම් ප්‍රවේශයක් පැහැදිලි කරමින් අපේ සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ.

අපි පුංචි කාලේ අපේ ගෙවල් දොරවල්වල බොහොම සුන්දර ආගමික බෞද්ධ සංස්කෘතික වටපිටාවක් ගොඩනඟාගෙන තිබුණා. අපේ අම්මල තමයි එම සංස්කෘතික පරිසරය දරුවන්ට ප්‍රවාහය කළේ. අපි අනිවාර්යයෙන බුදුන් වඳින්න ඕනෙ. මල් කඩන්න ඕනේ. හැන්දෑවට ඔක්කොම එකට එකතු වෙලා පැය භාගයක් බුදුන් වැන්දාට පසුව රාත්‍රී ආහාර ගන්නා තෙක් පොතක් හෝ පත්තරයක් අතට ගත්තා. අපට රූපවාහිනී,ගුවන්විදුලි තිබුණේ නැහැ. හැත්තෑව දශකයෙන් පසුව ඇතිවුණ සමාජ පෙරළිය සමාජය උඩුයටිකුරු වුණා. රූපවාහිනිය, දුරකතනය, පරිගනකය, ගුවන්විදුලිය, ජනජීවිතයට විශාල ලෙස බලපෑම් කරන්න වීමෙන් ගෙදර තිබුණ සංස්කෘතික වටපිටාව සම්පූර්ණයෙන් බිඳ වැටුණා.

මේ සමාජය භෞතික වශයෙන් ඉහළ දියුණුවක් ඇතිවෙලා තිබුණත්, ආධ්‍යාත්මික ශික්ෂණය කාරණා රාශියකින් බිඳවැටිල තිබෙනවා. එක දරුවෙක් බණ ගෙදරකට දාන ගෙදරකට ගෙන එන්නෙ නැහැ. ඔවුන්ට එම සංස්කෘතිය දායාද කරන්න අම්මල තාත්තල හැසිරෙන්නේ නැහැ. සමහර පාසල්වල ගුරුවරු එම ආගමික පරිසරය දරුවන්ට ගොඩ නඟාදෙන්න බොහෝ වෙහෙසුණත්, ගෙදර වටපිටාව තුළ ඒ සඳහා පෙළඹවීමේ තිබෙන මදකම නිසා ආගමෙන් ගොඩනැඟෙන ආධ්‍යාත්මික සුවතාවත්, රසවින්දනයත් බැහැරවීම තුළ යන්ත්‍ර වගේ අසංවේදී මිනිසුන් නිර්මාණය වෙලා තිබෙනවා. බොහෝ සංවේදී ගුණවත් දරුවන් සමාජය තුළ සිටියත්, පොදුවේ සමාජයට අත්වෙලා තිබෙන විනාශය මෙයයි. පෙරදිග රටක් හැටියට අපි ආගමික පසුබිම ශක්තිමක් කරන්න අවශ්‍යයි. එසේ නොවුණහොත් ගොඩනැඟෙන්නේ පෞරුෂය දීනවුණ මිනිස්සු බුද්ධිය තිබුණත්. හදවතක් නැහැ. එනිසා එම ප්‍රවේශය මෙම ප්‍රතිසංස්කරණ තුළ නොගතහොත් අපේ ජාතියටත්, රටටවත් අනාගත යක් නැහැ.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]