[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමානාත්මතාවට මුල් තැන දුන් බෞද්ධ ආරාමික අධ්‍යාපනය

සමානාත්මතාවට මුල් තැන දුන් බෞද්ධ ආරාමික අධ්‍යාපනය

බෞද්ධ ආරාමික අධ්‍යාපන ක්‍රමය මනුෂ්‍ය දුර්වලකම් පිළිගත් බව ද, ගුරුවරයා වැරැදි මඟකට යොමු වුවහොත් ශිෂ්‍යයන් ඥානාන්‍විත ව ක්‍රියා කොට ගුරුවරයා ආරක්‍ෂා කර ගත යුතු යැයි ද පිළිගෙන තිබිණි. එපමණක් නොව ගුරුවරයාගේ චරිතය විනය නීතිරීතිවලට අනුව හැඩගස්වා ගැනීමට ද ශිෂ්‍යයා සහය විය යුතු යැයි සැලකිණි.

ආරාම මුල් කර ගත් අධ්‍යාපන ක්‍රමය බුදුදහම මානව ශිෂ්ටාචාරයට උරුම කොට දෙන අගනා දායදයකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සම්ප්‍රදාය පුද්ගලයා තුළ මෙන්ම තමා ජීවත් වන ලෝකය පිළිබඳ පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන ඉගැන්වීමකි. පස්වග මහණුන්ගෙන් ආරම්භ වූ මෙම අධ්‍යාපන ක්‍රමවේදය ඉන්දියාවේ විවිධ භික්‍ෂු ආරාමවල ව්‍යාප්ත වී දියුණු විය.

ලක්දිව ආරාමික අධ්‍යාපනය ආරම්භ වූයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ය. දෙවනපෑතිස් සමයේ දී විශාල පිරිසක් බුදුසමය වැළඳ බුදුසසුනේ පැවිදි වූහ.

මෙම පිරිස ධර්මදූතයන් වහන්සේ යටතේ පුළුල් ව බෞද්ධ දර්ශනය ද, භාෂා ද උගත්තෝ ය. මෙම ලාංකේය භික්‍ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවේ පළමු ආරාම ශිෂ්‍ය පරපුර ලෙස සැලකිය හැකි ය.

මේ සමඟ ම මහා විහාරය, චේතියගිරිය, ථූපාරාමය, ඉසුරුමුණිය, දඹකොළ වෙහෙර, තිස්සමහාරාමය වැනි ආරාම දිවයින පුරා ස්ථාපනය විණි. එකී සෑම ආරාමයක් ම ආගමික ස්ථානයක් මෙන් ම පාසලක් ද විය. මෙම ආයතන අතර මහා විහාරය ථෙරවාදීන්ගේ ප්‍රධාන ගුරුකුලය වූ අතර, පසු කාලයේ දී ලෝකයේ මහත් කීර්තියට පත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් එනම් විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු වූයේ ය. ආරාම අධ්‍යාපනයෙහි සාර්ථක ගුරු-ගෝල සම්බන්ධතාවක් තිබූ බව පැහැදිලි වන අතර, ශිෂ්‍යයා දැනුමින් පමණක් නොව කුසලතා ආකල්පවලින් සන්නද්ධ කරවීමට මෙම අධ්‍යාපන ක්‍රමය බෙහෙවින් බලපෑවේ ය.

දැනුම ලබාදීම ආරාමික අධ්‍යාපනයේ මූලික අරමුණක් වේ. ග්‍රන්‍ථධුරී භික්‍ෂුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් ආරාමවල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වූහ. පසු කාලයේ දී ආරාමික අධ්‍යාපන විෂයමාලාවට වෙනත් බොහෝ විෂයයන් ද ඇතුළත් වීමත් සමඟ ම බුද්ධවචනය ගැන පමණක් නොව භාෂා ශාස්ත්‍ර, දර්ශන හා ශිල්ප කර්මාන්ත පිළිබඳ දැනුම ලබාදීම ද ආරාමික අධ්‍යාපනයේ මූලික අරමුණක් විය.

ආකල්ප සංවර්ධනය හා සදාචාර සම්පන්න පුද්ගලයකු බිහි කිරීම ගුරුවරු තමන්ගේ ප්‍රධාන යුතුකම ලෙස සැලකීය. කුසලතා වර්ධනය ද ආරාමික අධ්‍යාපනයේ අරමුණකි. ආරාමයක ඉගෙන ගන්නා ශිෂ්‍යයකු විසින් හුරු පුරුදු විය යුතු ඇමදීම, ගෙත්තම් පන්නම් කිරීම, පිළිසකර කිරීම වැනි කටයුතු හා දිනපතා ඉටු කළ කුදු මහත් කාර්යයන් හේතුවෙන් ඔහුගේ අධ්‍යාපනය පොතට පමණක් සීමා නො වූ අතර, හසුරු කුසලතා ද වර්ධනය විය.

මුල සිටම ආරමවල ඉගැන්වූ වැදගත්ම ප්‍රධාන විෂයය වූයේ පර්යාප්තිය යි. අරාමවල අධ්‍යාපනය ලැබූ ගිහි පැවිදි සියල්ලෝ ම පර්යාප්තිය හදාළෝ ය. එකල අරාමවල බුද්ධධර්මය විෂයය කිහිපයකට බෙදා උගන්වන ලදී. දීඝනිකාය, මජ්ඣමනිකාය, විනය, අභිධර්මය වැනි ත්‍රිපිටකයේ කොටස් ද ඉගැන්වූහ. ඉතිහාසය ආරාමවල උගන්වන ලද ඉතා ම ජනප්‍රිය විෂයය වූ අතර, ඊට අමතර ව කියවීම, ලිවීම, ගණිතය වැනි විෂයයන් ද උගන්වා තිබේ. වෛද්‍ය විද්‍යාව හා නක්‍ෂත්‍රය ද උගන්වා ඇති බවට සාධක ලැබේ.

පැරැණි ශ්‍රී ලංකාවේ ආරාමික අධ්‍යාපන ක්‍රමයෙහි ගුරුවරයකු වශයෙන් පිළිගත්තේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලූ අයකු පමණි. දැනුම, සදාචාර සම්පන්න බව හා වයසත් සමඟ ලබන පළපුරුද්ද ගුරුවරයකුගේ මූලික සුදුසුකම් ලෙස සැලකූහ.

ඒ අනුව ගුරුවරයකු විය හැකි වූයේ ව්‍යක්ත ප්‍රතිබල බහුශ්‍රැතයකුට පමණි. ආරාමවල ගුරුවරු උපජ්ඣාය හා ආචරිය යන නම්වලින් හඳුන්වා තිබේ.

ගුරුවරයා ශිෂ්‍යයාට උද්දේසයෙන් හා අනුශාසනාවෙන් සංග්‍රහ කළ යුතු විය. විශේෂයෙන් බෞද්ධ ආරාමවල ගුරුවරුන් ශිෂ්‍යයන්ට ධර්ම ශාස්ත්‍රය උගන්වන ලද්දේ කිසිදු ලාභ අපේක්‍ෂාවක් නොමැති ව නිස්සරණාධ්‍යාශයෙනි. එසේ ම ආරාමික ගුරුවරු හුදෙක් වැටුපක් සඳහා ඉගැන්වීම් නො කළත් පසු කාලයේ දී වැටුප් ලබා දීමේ ක්‍රමයක් සංවිධානය වී තිබූ බව හඳුනා ගත හැකි විය.

ආරාමික ගුරුවරුන් ඉගැන්වීම සඳහා ශිෂ්‍යයකු භාර ගැනීමේ දී ඔහුගේ අභියෝගතාව පිළිබඳ මූලිකව ම පරීක්‍ෂා කර බැලූහ. ඔහු සතුව එම දැනුම පැවතී නම් ආරාමික අධ්‍යාපනය සඳහා ඔහු තෝරා ගත්තේ ය. ආරාමික අධ්‍යාපන ක්‍රමය අනුව ගුරුවරයා ශිෂ්‍යයාගේ භාරකරු විය. ඉගෙනීමේ යෙදෙන අතර, ශිෂ්‍යයෝ ආරාමවල වෙනත් කුදු මහත් කටයුතුවල නිරත වූහ. අලුයම පිබිදීම, ආරාමය ඇමදීම, පිරිසුදු කිරීම හා ජලය සැපයීම, ගුරුවරයාට උවටැන් කිරීම ශිෂ්‍යයා විසින් කළ යුතු ය.

පන්ති පැවැත්වීම අද මෙන් එදා දැනුම ලබා දීමේ ප්‍රධාන මාර්ගය විය. ශිෂ්‍යයන් කිහිපදෙනකු සහභාගී වූ පන්ති මෙන් ම ශිෂ්‍යයන් සිය ගණනක් සහභාගි වූ පන්ති ද පවත්වා තිබේ. ශිෂ්‍යයා අධ්‍යාපනය ලබා දෙන කාල සීමාව තුළ ගුරුවරයා සමඟ නේවාසිකව වාසය කළේ ය. ආරාමික දින චර්යාව අනුව වෙනත් වැඩ කටයුතු සඳහා මෙන්ම ඉගෙනීම සඳහා ද කාලපරිච්ඡේද වෙන් කර තිබිණි. ශිෂ්‍යයන් දැනුම ලබාදුන් මාර්ග ලෙස ධර්ම දේශනා, සාකච්ඡා, සම්මේලන, වාදවිවාද, චේතියචාරිකා දැක්විය හැකි ය. විනය අධ්‍යයනය කිරීම අනිවාර්ය වී තිබූ බව සමන්තපාසාදිකාව, විනය කර්ම, විනයවිභංග ආදී ග්‍රන්‍ථවල සඳහන් වේ. එකී මූලාශ්‍රය අධ්‍යයනය කිරීමෙන් ශිෂ්‍යයන්ගේ විනය පරිපුර්ණත්‍වයට පත් විය.

පැරැණි බෞද්ධ ආරාමික අධ්‍යාපනයේ සුවිශේෂී ලක්‍ෂණ

ස්ත්‍රී පුරුෂ හෝ කුලභේදය, දුප්පත් පොහොසත් භේදය අධ්‍යාපනයට බාධා නො වීම නිසා සමානාත්මතාව පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වීම.

වයස්ගත වීමෙන් පසුව ද ඇතැම් පුද්ගලයන් ආරාමවලට ඇතුළත් ව ඉගැන්වීම් කටයුතුවල නිරතවීම.

බුදුදහමෙන් ගුරුමුෂ්ටිය රැක ගැනීම අනුමත නො කළ හෙයින් ආරාම අධ්‍යාපන ක්‍රමයේ ද එකී ලක්‍ෂණය ගැබ් වී පැවතීම.

ශිෂ්‍ය ජීවිතය බ්‍රහ්මචාරී ව ගත කළ යුතු වූ අතර, පෞද්ගලික බැ¼දීම් ඇති කර ගෙන ඉගෙනීම අඩාල කර ගැනීමෙන් ශිෂ්‍යයා වළක්වා ගැනීම සඳහා ගුරුවරු උනන්දු වීම.

ශිෂ්‍යයා විසින් ගුරුවරයාට මඟ පෙන්වීම පැරැණි ආරාමික අධ්‍යාපන ක්‍රමයෙහි සිදු විය. බෞද්ධ ආරාමික අධ්‍යාපන ක්‍රමය මනුෂ්‍ය දුර්වලකම් පිළිගත් බව ද, ගුරුවරයා වැරැදි මඟකට යොමු වුවහොත් ශිෂ්‍යයන් ඥානාන්‍විත ව ක්‍රියා කොට ගුරුවරයා ආරක්‍ෂා කර ගත යුතු යැයි ද පිළිගෙන තිබිණි. එපමණක් නොව ගුරුවරයාගේ චරිතය විනය නීතිරීතිවලට අනුව හැඩගස්වා ගැනීමට ද ශිෂ්‍යයා සහය විය යුතු යැයි සැලකිණි.

පැරැණි ලංකාවේ ආරාමික අධ්‍යාපනික වශයෙන් වෙනත් රටවල අධ්‍යාපනික ආයතන සමඟ සබඳතා පැවැත් වූ බවට සාධක ලැබේ. විදේශිකයන් ශ්‍රී ලංකාවේ ආරාමවලට පැමිණ ඉගෙනීම හා ඉගැන්වීම කළ අතර, ලාංකිකයන් ද විදේශවලට ගොස් අධ්‍යාපනික කටයුතුවල නිරත වී තිබේ. මෙවැනි විදේශීය සබඳතා ශී‍්‍ර ලංකාවේ ආරාමික අධ්‍යාපනය දියුණු වීමට ද එහි යම් යම් වෙනස්කම් ඇති වීමට ද හේතුවිය. ගුරු-ගෝල සබඳතාව වර්ධනය කළා වූ ඵලදායීතාවකින් යුත් අධ්‍යාපන ක්‍රමයක් ලෙස ද මෙය හඳුනා ගත හැකි ය. එම නිසාවෙන් වර්තමාන ජන සමාජයෙන් තුරුන් ව යමින් තිබෙන්නා වූ පැරැණි ලංකාවේ ආරාම මුල් කොටගත් බෞද්ධ අධ්‍යාපනයේ සාධනීය ලක්‍ෂණයන් නූතන අධ්‍යාපන ක්‍රමයට උකහා ගැනීම වැදගත් වනු ඇත.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]