[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ බොදු උරුමය අනාගතයට සුරකිමු

හෙළ බොදු උරුමය අනාගතයට සුරකිමු

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස ලංකාවට හඳුන්වා දෙන ලද සංස්කෘතිය ලොව කිසිදු ආගමක නැති බව සඳහන් කළ හැකි ය.

බෞද්ධ දර්ශනය තුළින් ජන ජීවිතය අර්ථවත් කළේ ය.

භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත්, පුද පූජා ක්‍රම, උත්සව ආදි මෙරට සංස්කෘතියේ සෑම අංගයක් ම පෝෂණය විය. මෙරට ආර්ථිකය ද, දේශපාලනය ද බුදුදහමට අනුව පෙළ ගැසුණු අතර එමඟින් ඉහත කී සංස්කෘතිකාංග පෝෂණය කිරීමට අනුග්‍රහය ලැබුණි.

පොදු ජනතාවගේ ජීවිතය සමඟ එක්වූ සිරිත් විරිත් මෙන්ම බෝධි පූජා, බුද්ධ පූජා, ධාතු පූජා, ස්තූප පූජා ආදී විවිධ උත්සව ද බෞද්ධ සංස්කෘතිය තුළින් ගොඩනැඟුණි. විශේෂයෙන් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කළ හැකි, හැකියාව ඔපවත් කළ හැකි එම බෞද්ධ පුද සිරිත් සහ උත්සව ඔවුන්ට අහිංසක සතුටක් ලැබීමට සහ සාමූහිකත්වය වර්ධනය කර ගැනීමට ද උපකාරි වූ බව පෙනේ.

විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කර ගනිමින් ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සිදුකරන සියලු වැදගත් කාර්යයන් සිදුකළේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමිනි. ගැබිණි මවට අංගුලිමාල පිරිත තුන් වරක් දේශනා කරවීම, මෙලොවට බිහි වූ දරුවා පළමුව දළදා මැදුර, ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හෝ ගමේ විහාරස්ථානයට රැගෙන ගොස් තෙරුවන් සරණ ලබාදීම විශේෂිත ය. උපත විපත සිහිකරමින්, දන් පින්කම් පිරිත් දේශනා කරමින් පින් අනුමෝදනා කිරීම සිදුකරයි.

දිනපතා පන්සිල් සමාදන් වීම, තෙරුවන් නැමදීම, සතර පෝයට අටසිල් සමාදන්වීම, පෝය දින තෙල් මල් රැගෙන විහාරස්ථානයට දරුවන් හා අසල්වාසීන් සමඟ එකට එකතු වී ගොස් බුද්ධ පූජා පැවැත්වීම, ධර්මය ශ්‍රවණය කිරීම, මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම තුළින් ජීවිතයේ අඩුපාඩු සකස් කර ගනිමින් විනය ගරුක පුද්ගලයෙක් වීම, හිරි ඔතප්ප දෙක අවබෝධ කර ගනිමින් පවට බියව, පිනට ලැදිව ක්‍රියා කළහ. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසු පන්සිල් රකින සමාජයක් බිහි විය. පළමුව රටේ පාලකයා වන රජු පන්සිල් පිළිගත් අතර අනතුරුව රටේ ජනතාව පන්සිල් රැකීමට පෙළඹුණහ. මෙහිදී ආදර්ශය ලැබුණේ ඉහළිනි. ජනතාවට යම් ප්‍රතිපත්තියක් ලැබුණේ රාජ රාජ මහාමාත්‍යාදී වැනි ඉහළ පෙළේ පාලකයන් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ ආදර්ශයත් සමඟ ය.

බුදු දහමත් සමඟ අපේ කෘෂිකාර්මික සමාජය තවත් දියුණුවීම නිසා වැව් සාදා ජලය ලබාගෙන කරන ගොවිතැනට භික්ෂූන් වහන්සේ ද එකතු වූහ. මෙහිදි දියුණු වන සමාජයට ඒකාබද්ධව බෞද්ධ භික්ෂුවට කළ හැකි කාර්ය කිහිපයක් විය.

පළමුවෙන් ම උන්වහන්සේ ආගම ධර්මයට අනුව අධ්‍යාපන ක්‍රමයක් සමාජයට ලබා දුන්හ. එමෙන්ම පොතපත ලිවීමේ දී මෙලොවටත්, පරලොවටත් අවශ්‍ය දැනුම ලබා දුන්නේ ද උන්වහන්සේ ම වූ හෙයින් එකී කරුණු මිහිඳු හිමියන්ගෙන් ලැබුණු දායාද ලෙස පෙන්වා දිය හැක.

තවද කෘෂිකාර්මික ජීවිතයේ දී ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා ලැබූ අතර, වැවක් සාදන විට දාගැබක් ද ඉදිවිය. ඊට අදාළ චාරිත්‍ර හා ගුරු හරුකම් උපදෙස් උන්වහන්සේ ලබා දුන්හ. එමෙන්ම ගොවිතැනට අවශ්‍ය නැකැත්, කලට වේලාවට ගොවිතැන් කිරීමේ අගය, බීජ වැපිරීම හා වගා කිරීම්, කල්වේලා නොඉක්මවීම පිළිබඳ ව උන්වහන්සේගේ මඟ පෙන්වීමේ සංස්කෘතික ලක්ෂණයක් විය.

මිහිඳු හිමියන්ගේ සඟ පරපුර ජනතාවගේ ලෙඩ රෝග සහ සෞඛ්‍ය පිළිබඳ උනන්දු වූ අතර ඒ සඳහා මුදල් අය නොකළහ. හුදෙක් ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් සෞඛ්‍ය ගැන ජනතාව උනන්දු කිරීමක් ද, ජනතාව අතර ඇතිවන ආරවුල් විසඳුවේ ද විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ය.

ස්වාමීන් වහන්සේ ඊළඟට පිහිට වූයේ මිනිසුන්ගේ මානසික දුකට ය. විවිධ ප්‍රශ්නවලින් පෙළෙන මිනිසුන්ට උපකාර ලැබුණේ විහාරස්ථානයෙනි. එහෙයින් වර්තමානයේ සිදුවන උපදේශනය (ඛ්ර්‍ණඋව්ඉධ්ඹ්ධ්ව්ට්) එදා සිදුවූයේ පන්සලෙන් ය. ලෙඩක් ,මරණයක්, කම්පනයක් හෝ වෙනත් කරදරයක් සිදුවූ විට ඊට ඉදිරිපත් වූයේ මිහිඳු හිමියන්ගේ මේ නියෝජිත පිරිස ය. ගස්වැල් සතා සිවුපාවාට ඉතා ආදරයෙන් සලකන්නට මිනිසා පුරුදු වූහ. දෙවැනිපෑතිස් රජු මුව දඩයම අත්හැරීමත් සමඟ සතුනට ද හිංසා කිරිම නොකරන්නට මුළු සමාජය ම උනන්දු විය.

අකුරු සාහිත්‍යයක් අපට ලැබුණේ මහින්දාගමනයෙනි. ස්වාමීන් වහන්සේ බුදුදහම මුල්කොට ගෙන පොතපත රචනා කළ නිසා අපේ සාහිත්‍ය අලංකාර විය. අනුරාධපුර යුගයේ සිට ධර්ම ශාස්ත්‍රීය කෘතියද සම්පාදනය වීමෙන් සාහිත්‍යය පෝෂණය විය. සාහිත්‍ය පමණක් නොව ලලිත කලාව, චිත්‍ර කැටයම් බුදු දහමින් පෝෂණය විය. ලෝවාමහාපාය, රුවන්වැලිමහ සෑය, අභයගිරිය බුදුදහම නිසා ලැබුණි. මේ ආලෝකය සිංහලයාට දායාදයක් විය. ලංකාව පුරා වැව් දහස් ගණනක් ගොඩනැඟුණේ ද ඒ අනුව යි.

එහිදී රාජ්‍ය පාලනය බුදුදහමට එකඟව සිදුවිය. මේ අනුව රජු ධාර්මික විය. පංචශීල ප්‍රතිපත්තියට අනුගතව සතර සංග්‍රහ වස්තු, සතර අගති, දසරාජ ධර්ම, දස සක්විතිවත් ආදියේ පිහිටා රජු රාජ්‍ය කරවීය. මෙහිදී දේවානම්පියතිස්ස රජුගේ පටන් සිරිසඟබෝ රාජ්‍ය පාලනය අපට සිහිවේ. මේ බෞද්ධ රාජ්‍යවරුන්ගේ පාලනය යටතේ සියලු සතුන්ට නිදහස ලැබුණි. අවි ආයුධ නිෂ්පාදනයෙන් හා විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් තොරවීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිෂ්පාදනය නොකිරීම , මසට සතුන් නොවිකිණීම යන මේ මූලධර්ම ප්‍රතික්ෂේප කළහ. රජ්‍ය පාලකයින් නිවැරැදි මඟ ගමන් කරවීමට අනුශාසනා කළේ මහා සංඝරත්නය යි.

මහජන බලය රජුට දැනෙන්නට මඟ පෑදුනේ භික්ෂුන් වහන්සේ මඟිනි. එහිදී රජු යහමඟට යැවීමට උපක්‍රම උන්වහන්සේට තිබුණි. ගැමුණු හා තිස්ස සොහොයුරන් සමඟි කරවූ සැටි ප්‍රකට නිදසුන් ය. මහජන බලය එක්තැන් කිරීමට මිහිඳු හිමියන් සමඟ මෙරටට වැඩම කළ සඟරුවන මුල් වූහ. රජවරු රට පාලනය කළද ඔවුනට අවශ්‍ය මහජන බලය ගැනීමට අවස්ථා මතුකර දුන්නේ ද බෞද්ධ භික්ෂූන් වහන්සේ ය.

මිහිඳු හිමියන් නව සමාජයක් ගොඩනැඟීමට අත්තිවාරම් දැමුවේ බුදුදහම පමණක් මෙරටට ගෙන ඒමෙන් නොව ඒ සමඟම විශාල ඥාන සම්භාරයක් හා ශිල්පීය ක්‍රමයක් අපට දායාද කිරීමෙනි. අනුරාධපුර යුගයේ ජීවත් වූ ජනතාව දවසට දෙවතාවක් එකට එකතු වී සිය නිවසේ, පවුලේ සියලු දෙනා සමඟ ආගමික කටයුතුවල නිරත වූහ. සවස් වරුවේ ඔවුන් පිරිත් පොත හා ජාතක පොත වැනි වටිනා ග්‍රන්ථ කියවූහ. එහිදි පියා සමඟ පිරිමි දරුවන් කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු අතර, ගැහුනු දරුවෝ සිය මවට එකතුව ඉවුම් පිහුම් කටයුතු කළහ. මේ තුළින් පවුලේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇතිවිය. එවිට පවුලත්, අවට සමාජයත්, පන්සලත් අතර සම්බන්ධය දැකගත හැකිවිය.

එහෙයින් යුතුකම් හා කළගුණ සලකන සුහදශීලි දුකේදී සැපේදී පිහිට වන පුද්ගල සමාජයක් ඇති වීමට මිහිඳු හිමියන් වැඩම වීම ඉවහල් විය. එමනිසා වර්තමාන සමාජය ද මේ දායාද රැකගෙන ඉදිරියට යා යුතු ය.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]