[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පොහෝ දින අරුත වටහා ගනිම

පොසොන් පොහෝ දින අරුත වටහා ගනිමු

පුද්ගලයා තුළ ඇති සාරධර්ම පිරිහීම මූලිකව ම හඳුනාගත හැක්කේ ප්‍රතිපත්ති ගරුක නොවීම ලෙස ය. පන්සිල් නොරැකීම හා රටේ නීතියට ගරු නොකිරීමත්, සදාචාරයට පටහැනිව වැඩකිරීමත් ඒ තුළ දැකිය හැක.

සංස්කෘතිය හා සදාචාරය පිරිහුණු තැනක භෞතික සංවර්ධනයට ද පැවැත්මක් නැත. භෞතික දේ සතුටින් අත්විඳීය හැක්කේ ද සමාජයේ ඇති හර පද්ධතියේ පැවැත්ම මත ය. සිරිත් විරිත්, නැතිවිට අප විඳීන්නේ සංතාපය යි. ලබන්නේ පරිහාණිය යි.

මහින්දාගමනයෙන් ලද දැනුමෙන් හා ශික්ෂණයෙන් අප ලැබූවේ සන්තෘෂ්ඨියෙන් යුතු සමාජයක පැවැත්ම ය. එනිසාම අතීත චාරිත්‍ර වාරිත්‍ර විමසා බලන්නට මෙවර පොසොන් සමය සුදුසුම අවස්ථාවකි.

මහින්දාගමනයට පෙර ලෝකධර්මතාව මත හෝ සදාචාරය මත අපේ සමාජයට ගුණ ධර්මපිළිබඳ අවබෝධයක් තිබුණත්, වඩා විධිමත් සමාජ සැකැස්මක් ගොඩනැඟෙන්නේ බුදු සමය මෙරට ස්ථාපිත වීමත් සමඟ ය.

රාජකීයයන් බුද්ධාගම වැළඳගැනීමත්, බුදු දහම රට පුරා ව්‍යාප්තවීමත් සමඟ මෙරට සමාජය භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස බවට පත්වීමෙන් පසු පන්සිල්, දසසිල් ආදී වශයෙන් ගුණධර්ම පුරුදුවීමත්, බුද්ධ දේශනාවල පෙන්වාදෙන යුතුකම් වගකීම් ආදිය වටහා ගැනීමත් නිසා ලාංකීය සමාජයේ නව සිරිත් විරිත් පද්ධතියක් ගොඩ නැඟිණි.

සිඟාලෝවද සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ අන්‍යොන්‍ය ගරුත්වය, ගෘහ ආර්ථිකය මනාව සංවිධානය කර ගැනීම ආදී දර්ශනයන් ය. සදිසා නමින් සමාජය කොටස් හයකට බෙදා දැක්වෙන ඒ ඒ සමාජ කීඩායම් අතර අන්‍යොන්‍ය ව පැවැතිය යුතු සාරධර්ම පැහැදිලි කර ඇත.

නැඟෙනහිර දිසාව-මවුපියන්, දකුණු දිසාව-ගුරුවරුන්, බටහිර දිසාව- පුත්‍ර දාරාවන්,උතුරු දිසාව-හිත මිතුරන්, යට දිසාව-සේවක සේවිකාවන්, උඩදිසාව පැවිදි උතුමන් වශයෙන් වන්දනාව සඳහා යොදාගන්නා ලෙස කර ඇති දෙසුම්වලින් සමාජයට දෙන පණිවුඩය සමාජයේ සහජීවනයටය. අන්‍යයන්ගේ අයිතියට ගරු කිරීම ය. යුතුකම් ඉටුකිරීම ය. ඒ ඒ සමාජ කොටස් අතර විශ්වාසය රැකගැනීමය.

පරාභව සූත්‍රයෙන් පුද්ගලයා පිරිහෙන කරුණු අර්ථවත් කර අති අතර නොකළ යුතු දේ අර්ථවත් කෙරේ.

“ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ
අක්ඛධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති තං
පරාභවතෝ මුඛං”

ස්ත්‍රීන්ට, මත්වතුරට මෙන්ම සූදුවට ලොල් වීම විනාශ මුඛයකි ආදී වශයෙන් පුද්ගලයා විනාශ වන කරුණු රාශියක් පරාභව සූත්‍රයෙන් කියා ඇත. ධම්මපදය, සූත්‍ර දේශනා, බුද්ධ චරිතය, ජාතක කථා සහ බුද්ධ දේශනා ආදිය පුරාම පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අවවාද අනුශාසනා, උපදේශ, උදාහරණ සහ ආදර්ශ පවතී.

අතීත සමාජය මේ දහම් මඟ ඔස්සේ චාරිත්‍රවාරිත්‍ර ගොඩනඟාගෙන තිබුණි. එම චාරිත්‍ර වාරිත්‍ර පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා ද, රජුගේ සිට යාචකයා දක්වා ද බැඳුණු සිරිත් විරිත් විය. අතීත සමාජය මෙන්ම එම සමාජයේ සාමාජිකයා ද සුරක්ෂිත වූයේ මේ ධර්මතාවලට ගරු කිරීම නිසා ය.

පුද්ගලයා තුළ ඇති සාරධර්ම පිරිහීම මූලිකව ම හඳුනාගත හැක්කේ ප්‍රතිපත්ති ගරුක නොවීම ලෙස ය. පන්සිල් නොරැකීම හා රටේ නීතියට ගරු නොකිරීමත්, සදාචාරයට පටහැනිව වැඩකිරීමත් ඒ තුළ දැකිය හැක.

පවුල තුළ මවගේ යුතුකම්, පියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, වැඩහිටියන්ට සැලකීම, එකිනෙකාට ආදර්ශවත්වීම හා එකමුතුකම කොතරම් දුරට පවතී ද යන්න අප විමසා බැලිය යුතු වේ.

මහ රෑ වන තුරු රූපවාහිනී නරඹා නින්දට වැටීමෙන් උදේට පාසල් යන දරුවාට ගෙනයාමට ආහාර පිළියෙල කිරීම මඟහැරෙන මව්වරුන් අප සමාජයේ කොතෙකුත් සිටී. දියණියන් ඉක්මවා අසංවර විලාසිතාවන් වැළඳගත් මව්වරු සිටිති.

යම් වෘත්තියක් තුළ නියැළෙන පුද්ගලයා ඔහුට හිමි වරප්‍රසාද අත්පත් කර ගැනීමට වැර දරූවත් ඔහුගේ යුතුකම් හා වගකීම් කොටස නිසි ලෙස ඉටුකරන්නේ ද? වෛද්‍ය, ගුරු, ඉංජිනේරු, පරිපාලන ආදී ඕනෑම වෘත්තියක් තුළ එම වෘත්තීය භාවය හෝ ආචාරධාර්මික භාවය පවතී ද? මුදල්, අල්ලස හෝ අයථා ඉපයීම් මුල්කරගෙන බලය යොදවන ආකාරය පැහැදිලි වේ.

වැඩි දෙනා කටයුතු කරන්නේ පරිසරය,පොදු දේපළ, සතාසිව්පාවා ගැන හෝ තැකීමෙන් නොවේ. ජල ගැලීම්, වන අලි තර්ජන, වස විෂ භූගතවීමෙන් ඇතිවන ජල දූෂණය, සංඥා කුලුනු හේතුවෙන් අතිවන කම්පන තරංග බලපෑම,වන විනාශය, වායු දූෂණය, සාගර දූෂණය ආදී දහසකුත් විනාශයන් මිහිපිට සිදුවෙමින් පවතී. ඒ සියල්ල සාරධර්ම නොතකා සංවර්ධනය මුවාවෙන් කරන ව්‍යාපාරයන් ය.

ඇතැමුන් ආගම දහම නොසලකා හරී. නැතහොත් වැරැදියට අර්ථ දැක්වීමත්, පහත් කොට සැලකීමත් පෙනේ. උදාහරණයක් ලෙස යමෙක් දරුවා දහම් පාසලට නොයවන්නේ ආගම දහම කෙරේ ඇති භක්තිය හා එහි වටිනාකම නොතැකීම නිසා ය. එවිට නිර්මාණය වන දරුවා දැනුම පමණක් ඇති ආකල්ප හා භක්තිය නොමැති අයෙක් බවට පත්වේ. රටේ සම්ප්‍රදාය මතු පරපුරට සම්ප්‍රේෂණය වීම වළකී. දිනෙන් දින බිහිසුණු සමාජයක් වෙත මඟ පෑදෙයි. අසංවර නොහික්මුණු පුරවැසියන් බිහිවේ.

සදාචාරයට සිදුකරන හානිකිරීම් බරපතළ සමාජ ව්‍යසනයන් ය. පවතින චාරිත්‍ර වාරිත්‍ර ඉටු නොකිරීමත්, විකෘති කිරීමත් දෙකම අනාගතයට ගෙන දෙන්නේ භයානක ප්‍රතිඵලය. අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු නොකරන විට තම ජාතියේ අනන්‍යතා නොදන්නා දරු පිරිසක් අනාගතයට උරුම වේ. දෙමාපියන් නමදින්නේ නැති, වැඩහිටියන්ගේ බසට අකීකරු, හිතුවක්කාර හා වැඩහිටියන්ට සලකන්නේ නැති දරුවන් නිර්මාණය වන්නේ එවිට ය. පෝය දිනයේ ආගම දහම තුළ නොහැසිරීම, අසම්මත විවාහ, අනියම් ලිංගික සබඳතා, පූජ්‍ය පක්ෂය හෙළා දකින ප්‍රකාශ, අසභ්‍ය කලා කෘති තැනීම හා නැරඹීම, පොදු වැඩ මැඟහැරීම, පින් පව් විශ්වාස නොකිරීම, මිථ්‍යාව ප්‍රකට කිරීම සහ අන් අය වෙනුවෙන් වැරැදි තීන්දු ගැනීම සදාචාරයට කරන හානි බව අප දැනසිටීම වටී.

සාදාචාරය එලෙස පිරිහෙන විට අනාථ නිවාස, බන්ධනාගාර, පොලිස් පැමිණිලි, නඩු හබ, හදිසි අනතුරු, එකිනෙකා අතර ගැටුම් වේගයෙන් ඉහළ යනු ඇත. අවසානයේ බිහිවන්නේ මානසිකත්වය බිඳුණු, ඉච්ඡාභංගත්වයට පත් හා රෝගාතුර මිනිස් සමාජයකි.

බුදු දහම හා මිහිඳු සංස්කෘතිය අපට අර්ථවත්කර ඇත්තේ සරල බව ය. එමෙන්ම අන්‍යොන්‍ය ගරුත්වය, සහජීවනය, අනෙකාට ඇති අයිතිය, මානව හිමිකම්, සමගිය, එකමුතුකම, විනය හා නීතිගරුකභාවය ආදියයි. මේ බෞද්ධ සිරිත් විරිත් පුනර්ජීවනය සඳහා පොසොන් පොහොයේ අරුත වටහා ගැනීම අවශ්‍යම දෙයකි.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]