[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දායාදයෙන් ලක්දිව ඒකාලෝක වූ වගයි

සදහම් දායාදයෙන් ලක්දිව ඒකාලෝක වූ වගයි

ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පුත්‍ර මහින්ද කුමාරයාගේත්, රාජ දියණිය වන සංඝමිත්තා කුමරියගේත් නිවන් අවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් අඳුරු ගුහාවක දිලෙන පහන් එළියක් සෙයින් දැක වදාළ අප මොග්ගලිපුත්ත තිස්ස මුනිදුන් ඔවුන් විසින් අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය බබළන බව ද නුවණින් දුටු සේක. නිරිඳුන් ඇමතූ මහතෙරුන් වහන්සේ මෙලෙසින් වදාළහ.

“මහරජුනි, ඔබ ඉතා ත්‍යාගවන්තයෙක් වුණත් බුද්ධ ශාසනයෙහි දායාද ලැබූවෙක් නොවේ. ඔබ සිව්පසය පුදන දායකයෙක් පමණි. මහරජුනි යමෙක් තමන්ගේ පුත්‍රයකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරවනවා නම් ශාසන දායාදය ලැබූවෙක් වන්නේ ඔහු ය.”

බබළන නුවණින් යුතුව තෙරුන් වහන්සේ වදාළ මේ වදන් පෙළ.... මතු දිනෙක ලංකා ධරණිතලයේ සම්බුද්ධ ශාසනය බබළවන මූල බීජය විය.

පිය සෙනෙහස හදේ දරාගත් ධර්මාශෝක නිරිඳුන් විසින් ශාසන දායාදය පතා බුද්ධි බලයෙනුත් - රූප බලයෙනුත් බබළන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත්, සංඝමිත්තා නැමැති රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කරවීය. පිය රජුගේ මනදොළ සපුරා දුන් මිහිඳු කුමරු ඒ වන විට විසිවැනි වියේ පසු වූ අතර සංඝමිත්තා රාජ දියණිය දහඅට වැනි වියේ පසු වූවා ය.

අපගේ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මිහිඳු කුමරුගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර, මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා පැවිදි කරවූ සේක. උපසම්පදාවේ දී කර්ම වාක්‍ය පැවසුවේ මජ්ඣත්තික තෙරුන් වහන්සේ විසිනි. පැවිදි වූ දිනම උපසම්පදාව ලද මිහිඳු හිමියන් උපසම්පදා මාලකයේ දී ම සතර පටිසම්භිදා සහිතව උතුම් අරහත් ඵලයට පත් වී වදාළහ.

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත දී සිය උපාධ්‍යායන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ වෙතින් තුන්පිටකය ම මැනවින් ඉගෙන, ශ්‍රී සම්බුද්ධ ශාසන ගගන තලය ශෝභමාන කළ හිරුමඬල සේ මිහිඳු මහ රහතන් වහන්සේ සුපතළ ව ගිය සේක.

සුගත තථාගත ශාසනය බබුළුවා ලූ අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තුන්වැනි ධර්ම සංගායනාව සමාප්ත කොට මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල නැමති රහතන් වහන්සේට “ඔබ වහන්සේ ඉතා රම්‍ය වූ ලංකාදීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවව්” යි පැවසූ සේක.

උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාදීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තුවෙන් වැඩ සිටි සේක. එවකට ලක්දිව රජ කළ මුටසිව රජු ඉතා මහලු බැවින් ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරු රජ බවට පත් වූ පසු ලංකාදීපයට වැඩම කිරීමට අදිටන් කර ගත් අප මහරහතන් වහන්සේ ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහි වන කාලය අතරතුර තමන් වහන්සේගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස දක්ෂිණා ගිරි ජනපදයට වැඩිසේක.

සුදුසු කල් දන්නා අපගේ මිහිදු මහ රහතන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කොට වදාළ සේක.

“මාගේ පිය රජුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දෙවැනි අභිෂේකෝත්සවය දේවානම්පියතිස්ස මහ රජු අනුභව කරත්වා!

පියරජු විසින් යවනු ලබන දූතයන්ගෙන් තුනුරුවන් ගුණ අසා දැන ගනිත්වා!

ඒ දෙවැනි පෑතිස් රජු ලබන පොසොන් පොහෝ දිනයේ දී මිස්සක නැමැති පර්වතයට නඟීවා! ඒ දවසෙ ම අපි උත්තම ලංකාදීපයට යන්නෙමු.”

උතුම් පොසොන් පොහෝ දිනය උදා විය. ඒ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස්හය වැනි වර්ෂය යි. ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු, ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිදු මහ රහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවේ යහපත උදෙසා ගුවන් ගැබෙන් වැඩම කොට වදාළ සේක. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේත්, සුමන සාමණේර රහතන් වහන්සේත්, භණ්ඩුක නැමැති අනාගාමී උපාසකතුමා සමඟින් රම්‍ය වූ මිස්සක පර්වතයේ ඉතා සිත්කලු වූ උතුම් අම්බස්තල ගල්කුල මත වැඩ සිටියහ.

හතළිස් දහසක් පිරිස පිරිවරා ගත් අපගේ දේවානම්පියතිස්ස රජු පොසොන් පුන් පොහෝ දිනයේ ම මුව දඩයම පිණිස මිස්සක පර්වතය දෙසට දිවයන්නට විය.

ගෝන මුව වෙස් ගත් පර්වතවාසී දේවතාවකුගේ මෙහෙයවීමෙන් දේවානම්පියතිස්ස රජු දහම් දායාදය දරා වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ අබියසට ම පැමිණියේ ය. දුටු දසුනෙන් රජු තැති ගත් බව දැනගත් රහතන් වහන්සේ “මහ රජුනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි ආවෙමු.” යි වදාළහ.

මහා නුවණැති තෙරුන් වහන්සේ අඹ පැනය විමසා රජු නුවණැතියකු බව වටහාගෙන අප මුනි රජුන් වදාළ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය මුල් කොට රජුට දහම් දෙසූ සේක. පුණ්‍ය ඍද්ධි ඇති අප මහ රජ්ජුරුවන් වහන්සේ, සතළිස් දහසක් වූ පිරිවර මිනිසුන් සමගින් තෙරුවන් සරණෙහි පිහිටියාහු ය. දහම් මෙහෙවරෙහි බර දරා ගත් අප මහරහතන් වහන්සේ පසුදින රාජ මාලිගයට වැඩම කොට පේත වත්ථු, විමාන වත්ථු ඇසුරෙන් දහම් දෙසද්දී අනුලා දේවිය ප්‍රධාන පරිවාර ස්ත්‍රීන් සෝතාපන්න ඵලයට පත් වූහ.

එදින රැස්වූ නුවර වැසියන්ට දේවදූත සූත්‍රය මුල් කොට දහම් දෙසද්දී ඔවුන් අතරින් දහසක් දෙනා දහම් ඇස උපදවා ගත්තාහු ය.

ෂඩ්අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ම ධර්මය වදාළ සේක.

සුළු කලක දී ම ලංකාදීපය ද, දඹදිව් තලය සේ කසාවතින් බැබළී ගියේ ය. මගඵලලාභී උතුමන්ගේ ගුණ තේජසින් ලක් දිවයින ශෝභමාන විය. සුදුවත් දරන ගිහි උපාසක උපාසිකාවන්ගෙන් ගැවැසී ගත්තක් විය. අනුකම්පා ඇති ලංකාදීපප්ප්‍රසාදක මහ රහතන් වහන්සේ අතීත බුද්ධශාසන ලක්දිව පිහිටි ආකාරයත්, ගෞතම සම්බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙහි වැඩම කොට බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් කළ පූජනීය ස්ථානත්, දඹදිව මුදුන් මල්කඩ බඳු වූ ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේ වඩා හිඳුවමින් ඉදිවන ස්වර්ණමාලී මහා සෑරජුන් පිහිටන ස්ථානයත් ඇතුළු සියලු තොරතුරු මැනවින් පෙන්වා දුන් සේක.

තථාගතයන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේත්, බොහෝ සර්වඥ ධාතූන් වහන්සේත් ලබාදී මේ ලංකාදීපය දිවමන් මුනි රජුන් වැඩ සිටින සුගන්ධ කුටියක් බවට පත් කරවූ සේක.

රන්කොත්වලින් පැන නඟින රන් රැසින් අහස්කුස බබළවන, කිරි සුදෙන් බබළන සෑ රජාණන් වහන්සේගෙන් ශෝභමාන පින්බිමක් බවට හෙළදිව පත් කරවූ සේක.

අපට ශාස්තෘන් වහන්සේ නමක් බඳු වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මහරහතන් වහන්සේ බිහි කොට, ඒ උතුමන් මුව මුව අමා දම් පද රැඳවූ සේක. ඒ දහම් සරින් දෙව් මිනිස් ලොව ඒක නින්නාද කරවූ සේක. සිල් රකින, ගුණ පුරන, දන් පුදන උවසු උවැසියන් බිහි කළ සේක. ලක්වැසි දනන් හට ධර්ම විනය මැනවින් පහදා දුන් සේක.

උත්තම ශ්‍රී මහා බෝධි දක්ඛිණ ශාඛාව ලංකා දීපයට වැඩම කරවා දුන් සේක. සිරිමා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලක්වැසි දනන් හට සලසා දුන් සේක. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ලංකාදීපයට වැඩම කරවා ලක්වැසි කතුන්ට ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාවට මං විවර කර දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් සම්බුද්ධ ශාසනය මෙහි පිහිටුවා ඉතා යහපත් ලෙස ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම් ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. ලංකාවට මහත් පිහිටක් ලබා දුන්හ. මහා සංඝ පිරිවරකින් යුක්ත වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව සත්වගට සෙත සදමින් නිවන් පුරට මං දෙසූ සේක.

තිස් දෙහැවිරිදි වියේ දී ලංකාදීපයට වැඩම කොට වදාළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අසූ වෙනි වියතෙක් කෙදිනකවත් නැවත දඹදිව් තලයට නොවැඩි සේක. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට සෙත සලසමින් මෙහි ම වැඩහුන් සේක. උපසම්පදාවෙන් සැට වසරක් ගත වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා සෑ ගිරි විහාරයෙහි වැඩ වාසය කළහ. ලොව එළිය කළ හිරු මඬල බැස යන සෙයින් වප් මස පුර අටවක දිනෙහි අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]