[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආධ්‍යාත්මික ප්‍රබෝධයකට මඟ හෙළිකළ පින්බිම

ආධ්‍යාත්මික ප්‍රබෝධයකට මඟ හෙළිකළ පින්බිම

ඓතිහාසික මිහින්තලාව අනුරාධපුර නගරයේ සිට ඊසාන දිසාවෙන් කිලෝමීටර 11ක් පමණ දුර ප්‍රමාණයක් ගිය කල මුහුදු මට්ටමින් මීටර් 309.27ක් උසින් යුක්ත වේ. ඓතිහාසික ශේෂ කන්ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති ඉතිහාසයක් පවතින්නා වූ පූජනීය ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ සොළොස්මස්ථානවලින් එකක් සේ සැලකෙන මිස්සකපව්ව පූජනීය ස්ථානයකි. මෙය අක්කර 450ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින බව හඳුනාගත හැකි ය.

වංශකතා සාහිත්‍ය සාධකවලට අනුව මෙම ශුද්ධ භූමියේ සිංහ පොකුණ, නාග පොකුණ, කණ්ඨක චේතිය, මිහිඳු සෑය, අම්බස්තල දාගැබ, ආරාධනා ගල, ඉඳීකටු සෑය, කළුදිය පොකුණ, දාන ශාලාව, මහා සෑය, සන්නිපාත ශාලාව, ඇත් වෙහෙර මෙන්ම ඒ හා තදාසන්නව පිහිටි ආරාමික නටබුන් විශාල ප්‍රමාණයක් ද, සංඝයා වහන්සේ සඳහා දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා කරන ලද ලෙන් 68ක නටඹුන් වර්තමානයේ වුව ද දැකගත හැකිවීම විශේෂයකි.

වර්තමානයේ ද දැකගත හැකි මිහිඳු ගුහාව මිහිඳු හිමියන්ගේ වාසය පිණිස පිළියෙළ කොට පූජාකර ඇති බව ජනවහරේ අතිශය ප්‍රචළිත ය.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කරවීම ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකික ජනයාගේ සිතුම්, පැතුම් සාරධර්ම මෙන්ම අධ්‍යාපනික තත්ත්වය වැඩිදියුණු කිරීමට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් බවට පත්වූ බව පැහැදිලි තත්ත්වයකි.

මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට ආගමනය වූ අවස්ථාවේ දී ලක්දිව රාජ්‍ය පාලකයා ලෙස කටයුතු කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා ය.

ඉන් අනතුරුව සංඝමිත්තා මෙහෙණිය ඇතුළු අවශේෂ පිරිස ලක්දිවට පැමිණීම, අරිට්ඨ කුමරු පැවිදිභාවයට පත්වීමත් සමඟ සංඝමිත්තා මෙහෙණියගේ මෙහෙයවීමෙන් අනුලා දේවිය පැවිදි බවට පත්වීමත් සමඟ මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ වූ අතර, උන්වහන්සේගේ වාසස්ථානය ලෙස මිහින්තලාව පත්වීමෙන් පසුව දේවානම්පියතිස්ස රජු විසින් ලෙන් 68ක් පූජා කළ බව ඓතිහාසික සාධක පෙන්වා දෙයි.

එම අවධියේ දී වාස්තු විද්‍යාත්මක වශයෙන් දියුණුව පැවති තත්ත්වයක් නොවන අතර එම ලෙන් පූජා කරන ලද්දේ උන්වහන්සේගේ දෛනික පාරිභෝජනය පිණිස බව අවබෝධ කොටගත හැක.

හිරු, සඳු, මහා පර්වත, මහා වෘක්ෂ මෙන්ම ගස් ගල් අදහමින් සිටි මිනිසුන් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ සසර කෙටි කර ගැනීමේ අරමුණු ඇතිව පැවිදි භාවයට පත්වන්නට වීම ද අතිශයින් වැදගත් ය.

එම අවධිය වන විට ඉතා දියුණු මට්ටමේ වාස්තු විද්‍යාත්මක ගොඩනැඟීම් නොපැවති අතර, මූලාරම්භක වකවානුවේ ස්වභාවික ගල්ලෙන් පිරිසුදු කර කටාරම් කොටා එමඟින් ඇතුළතට ජලය ගලා ඒම වළක්වා භික්ෂූන් වහන්සේට වාසය සඳහා එම ස්ථාන පූජාකොට ඇති බව සුවිශේෂී කරුණක් සේ සැලකිය හැක.

අම්බස්තලය දාගැබේ සිට නැඟෙනහිර දිශාවට පහළට යන විට දැකගත හැකි පටු මාර්ගයක් ඔස්සේ ශිලාමය පියගැට පෙළක් පවතින අතර එහි මද දුරක් ගියවිට මිහිඳු මාහිමියන් වැඩ විසුවා යැයි සැලකෙන මිහිඳු ගුහාව දර්ශනය වේ.

එය මිහිඳු හිමියන් වැඩ සිටි ලෙන වශයෙන් දැනුදු හඳුන්වා දෙයි. ඒ බව සනාථ වන සාධක ඒ හාත්පස ස්වභාවික මෙන්ම සුන්දර දර්ශනයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වේ.

මෙම පරිසරය සිත් සනහාලන, එමෙන්ම ඉතා සුව ජනක ස්ථානයක් වීම ද, රහතුන් වහන්සේ නමකට සිත එකඟ කොට ගත හැකි ආකාරයේ මනරම් පරිසරයක් පැවතීම ද ඉතා සිත්ගන්නා සුළු ය.

මිහින්තලා කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයේ පවත්නා අනිකුත් ලෙන් අතුරෙන් මනරම් සුවිශේෂී පිහිටීමක් පවතින, ඉහළින් එකට ඒකාබද්ධ ව පවතින ගල් දෙකින් සෙවණ දුන් මෙම ස්ථානය දෙපසින් ම ස්වාභාවික පරිසරය විවෘතව පැවතීමත්, නිරතුරුව හමන සිසිල් සුළං ධාරාවන්ගෙන් යුක්ත වීම ද අතිශය වැදගත් වේ.

මෙම සුවිශේෂී ගල්ලෙන තුළම පවත්නා ස්වභාවික ගලෙහිම මනාව ඔපදැමූ ගල් ආසනයක් ද සකස් කර ඇති අතර, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට භාවනානුයෝගීව වැඩ විසීමට මෙන්ම සයනය කිරීමට ද, එම ස්ථානය මහෝපකාරී වී ඇතැයි ජනප්‍රවාදයේ පවතින්නකි.

ථූපවංශයේ සඳහන් කරන පරිදි බොහෝ දෙනාට අවවාද අනුශාසනා කරමින් මිහින්තලා පරිශ්‍රයේ ම වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් මාසයෙන් පසු එළඹි වස්සමයේ එහි වස් වසන්නට ඇති බවත්, අසූ වසක් ආයූ වළඳා උන්වහන්සේ මිහින්තලා පරිශ්‍රයේ චේතියගිරි පර්වතයේ දී පිරිනිවන් පෑ බව මහාවංශයේ සඳහන් කරයි.

මිහිඳු මහරහතන් වහන්සේ වාසය කළා යැයි සැලකෙන මිහිඳු ගුහාව මෙන්ම උන්වහන්සේට ම වෙන් වූ ලෙනක් ද මෙම ආරාම සංකීර්ණයේ පැවතුණේ යැයි ජනප්‍රවාදයක් පැවතිණ.

ලොව සියලූ බැතිමතුන් මෙම පෞරාණික ඉදිකිරීම් මෙන්ම මිහින්තලා භූමියේ පවත්නා අතිශය වැදගත් සියලූම ස්ථාන නැරඹීමටත් ඒ හරහා සැදැහැවතුන් සිත් සතන් ආලෝක කර ගනිමින් පහන් සිත් පෙරදැරිව අති උතුම් නිර්වාණය ම ප්‍රාර්ථනා කළ යුතු අතිශය වැදගත් සුවිශේෂී ස්ථානයක් ලෙස වැදගත් වන බව පැවසිය හැකි ය.

මහින්දාගමනය ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සමාජ දර්ශනයකට මඟ උදා කළ අති උතුම් ඵෙතිහාසික දිනයක් වශයෙන් ඉතිහාස ගතවෙයි. මහින්දාගමනයේ මූලිකම අරමුණ වූයේ බුදු දහම නම් වූ සත්‍ය දර්ශනය ලාංකිකයන්ට අවබෝධ කරවීම ය.

එම සත්‍ය දර්ශනයේ අග්‍ර ඵලය නිර්වාණබෝධය යි. නිවන කරා ගමන් ගන්නා ප්‍රඥා මාර්ගය මහින්දාගමනයෙන් විවෘත වූ ආකාරය ලක්දිව වංශකථා සාහිත්‍යයේ විවරණය කෙරෙයි.

පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව මෙන් ම බාහිර දියුණුව ද සලසා ගන්නා ආකාරය පිළිබඳ ක්‍රමවේද හඳුන්වා දුන් මහින්දාගමනය මේ රටේ නව චින්තනයක් උදා කළ දිනයක් වශයෙන් ද අගය කළ හැකි ය.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]