[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය

ශ්‍රී ලාංකික සම්බුද්ධ ශාසන වංශ කතාවේ ශ්‍රේෂ්ටතම නාමය මිහිඳු මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ සකල ජම්බුද්වීපයට අධිපති වූ ධර්මාශෝක මහ නිරිඳුන්ගේ අතිජාත පුත්‍ර රත්නය සේ ම මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ වෙතින් ශාසනික දායාදය ලබා ගත් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකි.

ධර්මාශෝක රාජ්‍ය සමය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි නවමු පරිච්ඡේදයක ආරම්භය විය. ධර්මාශෝක මහා නිරිඳුන්ගේ දායකත්වයත්, මොග්ගලීපුත්ත මහා රහතන් වහන්සේගේ මූලිකත්වයත් ඇතිව දහසක් මහා රහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැළලුප් නුවර අශෝකරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පවත්වා සසුන සුරක්ෂිත කිරීම උදෙසා පියවර රාශියක් ගත් අතර, ඉන් ප්‍රමුඛතම කාර්යයක් වූයේ නවරට ධර්ම ප්‍රචාරයයි.

මෙම නවරට ධර්ම ප්‍රචාරයේ දී තම්බපන්නි දේශය හෙවත් වත්මන් ශ්‍රී ලංකාවට ධර්මදූතයන් වශයෙන් වැඩම කළ කණ්ඩායමේ මූලිකත්වය දරන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන මහා රහත් ස්ථවිරයන් වහන්සේලා හා සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත් ඊට අන්තර්ගත වූහ.

සමහර මූලාශ්‍රවලට අනුව භණ්ඩුක මෙම ගමනට එක් වන්නේ වෙදිසගිරියේ දී ය. සුමන සාමණේරයන් වහන්සේ ධර්මාශෝක මහා නිරිඳුන්ගේ දියණිය වූ සංඝමිත්තාවන්ගේ පුත්‍රයායි. භණ්ඩුක උපාසක මිහිඳු මාහිමියන්ගේ මෑණියන් වූ වේදිස දේවියගේ නැඟෙණියගේ දුවගේ පුත්‍රයායි. මේ අනුව රාජකීය පවුලට අයත් වූ කිහිප දෙනකු ගේ ම දායකත්වය මෙම ධර්මදූත ගමනට ලැබීම සුවිශේෂ ය.

ධර්ම ප්‍රචාරයට ලංකාව බලා වැඩමවීමට පෙර තොරතුරු බැලීමේ දී නිරීක්ෂණය වූවේ එවකට ලංකාවේ රජ කළ මුටසීව රජු වයෝවෘද්ධත්වයෙන් පසුවන හෙයින් ඔහුගේ රාජ්‍ය දායකත්වය ධර්මප්‍රචාරය සඳහා යොදාගත නොහැකි බවයි. එබැවින් ඔහුගේ පුත් තිස්ස කුමරු රාජ්‍යත්වයට පත්වන තුරු ධර්මදූත ගමන කල් දැමීමට තීරණය කළ මිහිඳු මාහිමියෝ අවශේෂ ධර්මදූතයන් සමඟ ස්වකීය මෑණියන්ගේ ගම් ප්‍රදේශය වන වෙදිසගිරියට වැඩම කළහ.

ඒ අශෝක රජුගේ අභිශේකයෙන් දාහත්වැනි වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ය. එහි වැඩම කිරීම හේතු දෙකක් ඇතිව සිදු වූවකි. ඉන් පළමුවැන්න ඥාතීන් දැකීම ය. වෙනත් රාජ්‍යයකට වැඩම කළායින් පසු නැවත මවුබිමට පැමිණීම හා ඥාතීන් දැකීම සිදුවීමටත්, නොවීමටත් හැකියාව ඇති හෙයින් ඥාතීන් දැකීම ඒ අවස්ථාවේ කළ යුතු කාර්යයක් හැටියට උන්වහන්සේ සැලකූහ. එය සුමන සාමණේරයන් වහන්සේට මෙන් ම භණ්ඩුකට ද සිය ඥාතීන් දැක කල්ගත කිරීමට අවස්ථාවක් විය.

අනෙක තිස්ස කුමරු රජවීම හා ධර්මාශෝක මහා රජුගෙන් ලංකා රාජ්‍යයට දහම් පඬුරු පිළිගන්වා අනතුරුව තිස්ස රජුගේ දෙවැනි අභිශේකය සිදු වන තෙක් රැඳී සිටීම අනෙක් හේතුව විය. මේ අනුව පෙනීයන්නේ මිහිඳු මාහිමියන් වහන්සේ ස්වකීය ධර්මදූත කාර්යය වඩාත් ඵලදායි අන්දමින් සිදු කිරීමට ගත් උත්සාහයයි.

මේ අතර මුටසීව රජු මිය යෑමෙන් තිස්ස කුමරු ලංකා රාජ්‍යත්වයට පත්විය. ඒ අශෝක රජුගේ අභිෂේකයෙන් දාහත්වැනි වර්ෂයේ දෙසැම්බරයේ දී ය. එනම් මිහිඳු මාහිමියන් වෙදිසගිරියට වැඩමවා මසකිනි.

තිස්ස රජු ස්වකීය නොදුටු මිත්‍ර ධර්මාශෝක මහා රජුට තමන් ලංකා රාජ්‍යත්වයට පත් වූ බව දන්වා තුටු පඬුරු හා හසුන්පත් සහිතව අරිට්ඨ ඇමති ප්‍රමුඛ දූතයන් යැවූ අතර, ඉන් පී‍්‍රතියට පත් අශෝක රජු ද පැමිණි දූතයන්ට විවිධ වරප්‍රසාද ලබා දී තිස්ස රජුට දෙවැනි අභිෂේකය සඳහා අවශ්‍ය භාණ්ඩ සමඟ තුටු පඬුරු ද සමඟ තමන් බුද්ධ, ධම්ම, සංඝ තෙරුවන් සරණ ගිය උපාසකත්වයට පත් වූ බවත්, ඔබතුමන් ද තෙරුවන් සරණ යන ලෙසත් සඳහන් කරමින් හසුන් පත් ද එවීය.

අසෝක මහා රජු එවූ තුටු පඬුරු හා දෙවන අභිෂේකයට අවශ්‍ය භාණ්ඩ ද සතුටින් භාර ගත් තිස්ස රජු දෙවැනි වරටත් අභිෂේක කරමින් දේවානම්පියතිස්ස රජු බවට පත්විය.

මෙලෙස මාස පහක පමණ කාලයක් සිය ධර්මදූත සේවාවට සුදුසු කාලය එළඹෙන තෙක් බලා සිටි මිහිඳු මාහිමියන් වහන්සේ සිය කාර්යභාරය ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇති හෙයින් ඒ සඳහා සූදානම් වන්නට විය. ඒ අනුව පොසොන් පුර පසළොස්වක පොහොය දින ඉහත නම් දැක්වූ ධර්මදූතයන් වහන්සේලා සමඟ උන්වහන්සේ ලංකාවට වැඩම කළහ.

උන්වහන්සේලා ලංකාගමනය ආරම්භ කළේ වෙදිසගිරියෙන් බවත්, උන්වහන්සේලාගේ ගමනාන්තය වූයේ මිස්සක පර්වතය හෙවත් මිහින්තලය බවත් අවිවාදිත ය.

එහෙත් උන්වහන්සේලා වැඩම කළේ කෙසේද යන්න පිළිබඳ ඒකමතිකත්වයක් නැත. මිහින්තලයේ දී මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ හමු වූ දේවානම්පියතිස්ස රජු අසන ලද ඔබවහන්සේලා වැඩම කළේ කෙසේ ද යන ප්‍රශ්නයට මිහිඳු මාහිමියන්ගේ පිළිතුර වූවේ න ථලෙන න වාරිතා’ යන්නයි. එනම් ගොඩබිමිනුත්, මුහුදිනුත්, නොවන බවයි.

මේ පිළිබඳ විවිධ මත පවතී. මිහිඳු මාහිමියන්ගේ පිළිතුරට අනුව එය මතුපිටින් බලා උන්වහන්සේ අහසින් වැඩිය බව රජතුමා කල්පනා කිරීමෙන් එය සම්ප්‍රදාය බවට පත් වී එම මතය පිළිගැනීම වී ඇතැයි යන්න එක මතයකි.

අනෙක් අතට උන්වහන්සේ ඍජුව ම වැඩිය ආකාරය නොපවසා එසේ ප්‍රකාශ කිරීමෙන් එහි ගූඨ අර්ථයක් පවතින බවට ද මතයක් පවතී. බෞද්ධ තර්ක ක්‍රමය උපයෝගී කර ගෙන එම ප්‍රකාශය කරන්නට ඇතැයි එම මතයයි.

එනම් මුහුදිනුත්, ගොඩබිමිනුත් යන මාර්ග දෙකින් ම වැඩම කළ බව ද යන්න විමසිය යුතු වෙයි. එහි දී වෙදිසගිරියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති මාර්ග මොනවාදැයි විමසීම වැදගත් වෙයි. ඒ සඳහා මාර්ග දෙකක් භාවිත වී ඇත. ඉන් එකක් වන්නේ වේදිසගිරියේ සිට ගොඩබිමින් බටහිර වෙරළේ සුප්පාරක, භාරකච්ච වැනි තොටුපලකට පැමිණ එතැන් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමයි.

අනෙක වෙදිසගිරියේ සිට දකුණු ඉන්දියාව හරහා පැවති මාර්ගයයි. ආර්යයන් දකුණු ඉන්දියාවට පැමිණි නර්මදා ගං ඉවුරේ පිහිටි මාහිස්මති හෝ මාන්ධාත නම් ස්ථානයට අවුත් එතැන් සිට වින්ධ්‍යා කඳුකරය තරණය කොට විදර්භ පතිට්ඨාන සහ අස්මක දේශය පසු කොට රායිවුර් සහ චිතල්දාග් දිස්ති‍්‍රක්ක හරහා දකුණු ඉන්දියාවේ කෙළවර දක්වා පැමිණ, එතැන් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමයි.

මින් පළමු මාර්ගයේ වැඩි දුරක් මුහුදින් ගමන් කරන හෙයින් එය මුහුදු මාර්ගය ලෙසත්, දෙවැන්න වැඩි දුරක් ගොඩබිමින් ගමන් කරන හෙයින් එය ගොඩබිම් මාර්ගය ලෙසත් සැලකේ. අනෙක මිහිඳු මාහිමියන් ඉහත කළ ප්‍රකාශයෙන් ඍජුව ම මුහුදු මාර්ගය හෝ ගොඩබිම් මාර්ගය යන එක මඟකින් නොවැඩි බවත්, ඉහත මාර්ග දෙකෙන් කවරකින් පැමිණියත් මුහුදින් හා ගොඩබිමින් යන මාර්ග දෙකෙන් ම පැමිණිය යුතු හෙයින් තර්කානුකූල අදහසකින් කළ ප්‍රකාශයක් බවත් සඳහන් කළ හැකි ය.

එසේම දකුණු ඉන්දියාවේ මලකුට ප්‍රදේශය මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් පූජනීයත්වයට පත්වූ බවට විශ්වාසයක් ප්‍රචළිතව පැවතීමත්, හියුංසාත් පවසන ආකාරයට මලකුට නම් කඳුකර ප්‍රදේශයේ පිහිටි නගරයකට නැඟෙනහිරින් මිහිඳු මාහිමියන් සංගාරාමයක් කරවන ලදී. යන වාර්තාවත් මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලා ස්වභාවික මාර්ග ඔස්සේ වැඩම කරන්නට ඇතැයි යන මතයට අනුබල දෙයි.

එමෙන්ම උන්වහන්සේ අහසට පැන නැඟී මිස්සක පව්වට වැඩම කළහ යන ඓතිහාසික පුවත ද මෙහිලා සිහිපත් කළ යුතු ය.

මේ ආකාරයට උන්වහන්සේ ලංකාට වැඩම කළ ආකාරය පිළිබඳ විවිධ මත පැවතුණත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හත්වැනි වර්ෂයේ දී උන්වහන්සේගේ ලංකාගමනය සිදු වූ බව පිළිගැනීම වී පවතී. එය සැබෑ ලෙස ම සිදු වූ ඓතිහාසික සිද්ධියක් බව ලේඛනගත තොරතුරුවලින් මෙන්ම මිහින්තලේ හා අම්පාර රජගල සෙල්ලිපි ඇසුරෙන් ද සනාත වී පවතී. උන්වහන්සේ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේගේ ලංකාගමනය ශ්‍රී ලංකාව තුළ නව ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික දේශපාලනික හා සමාජයීය සුවිශිෂ්ට පරිවර්තනයක ආරම්භය සනිටුහන් කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]