මිහිඳු මහරහතන් වහන්සේ දුටු
අසිරිමත් දේශය
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
නිර්මල ථෙරවාදී බුදුදහම සුරක්‍ෂිත කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝකය තුළ හිමිවන්නේ
සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් වෙනත් ථේරවාදී රටවල් මෙන්ම මහායානික බෞද්ධ රටවල
සුධීහු ශ්‍රී ලංකාවට මෙම ගෞරවය නොවක්ව පළකරති. මෙයට බලපාන ප්‍රධාන කරුණු රැසකි.
මහින්දාගමනයත් සමඟ ලංකාවේ එතෙක් පැවති සමාජයීය සංස්කෘතිය වටපිටාවට නව්‍ය මුහුණුවරක්
ලැබීමත් එහි හරපද්ධතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමත් ඊට පසුබිම් වන ප්‍රධාන කාරණා වේ.
මෙරටට බුදුදහම රැගෙන ආ මිහිඳු හිමියන් ලක්දිවට පැමිණීමට බලපෑ කරුණ ඊටත් වඩා සැඟවුණු
මහඟු කරුණක් බව මෙහිලා සඳහන් කළ යුතු ය.
සැබැවින්ම මිහිඳු මහරහතන් වහන්සේ තම ධර්මදූත මෙහෙවර වඩාත් ඵලදායක කර ගැනීමට ශ්‍රී
ලංකාව තෝරා ගැනීම බෝසතාණන් වහන්සේ තම උපතට පස්මහ බැලුම් බැලීම හා සමාන කරුණකි.
මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීමට පෙර මෙරට දියුණු සාමාජීය සංස්කෘතික සහ ශිල්ප කලා
ලක්‍ෂණ තිබුණු බවට ඉතිහාසමය සාධක, කතාපුවත්, පුරාවෘත්ත, සෙල්ලිපි සහ නටබුුන් අදටත්
සාක්ෂි දරයි.
ඊට පෙර මෙරට වනචාරී සමාජ සංස්කෘතියක් පැවති බව තහවුරු කිරීමට යමෙක් උත්සාහ දරයි නම්
එය සත්‍යය විනිවිද දැකීමක් නොව හිතළු හෙළි කිරීමකි. ඓතිහාසික තොරතුරු අනුව මිහිඳු
මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියට පෙර පවා මෙරට ජනයා බුදුදහම පිළිබඳ දැඩි
ලැදියාවකින් කටයුතු කළහ.
මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයක දී භද්දකච්චායනා
කුමරියගේ පැමිණීම අතිශය වැදගත් වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමඟ මෙහි පැමිණ ඇත.
භද්දකච්චායනා කුමරිය බුදුරදුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ
දියණියක වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.
ඇය බුදුරදුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත්
සිතිය නොහැක. තවද කිරිමකුල්ගොල්ලේ සෙල්ලිපියක සඳහන් වන පරිදි යක්ෂ ගෝත්‍රික කෙර
නමැත්තා විසින් භික්ෂූන් වහන්සේට ගල්ලෙනක් පිදූ බව සඳහන් වේ, එසේම බුදුන් වහන්සේ
තෙවරක් මෙරටට වැඩම කිරීම අශ්‍රිත කරුණු රාශියක් නිසා මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර
බුදුදහම පිළිබඳ උසස් අවබෝධයක් මෙරට ජනයා තුළ පැවති බවට සාධක හමුවේ.
එසේම තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා ලංකාවේ දාගැබක් කළ බව දහතුන් වැනි සියවසේ රචිත
පූජාවලියේ ස්ථිර කොටම සඳහන් කර ඇත.
ලොව පළමු චෛත්‍ය වන ගිරිහඩු සෑය ඇතුළු දාගැබ් 3 ක් පමණ මහින්දාගමනයට පෙර මෙරට ඉදි
වී තිබුණි. දාගැබක ඇත්තේ පේළි දෙක තුනකින් කියා අවසන් කළ හැකි විද්‍යාවක් නොවේ.
දාගැබකින් කියන දර්ශනය, මනෝවිද්‍යාව, කෘෂිවිද්‍යාව, සමාජ විද්‍යාව වැනි දෑ වෙනම ම
කතා කළ යුතු කාරණා ය. එවකට දාගැබ් නිර්මාණය කිරීමේ ශිල්පය තිබීමම ඒ වන විටත් උගත්
හා බුද්ධිමත් ජනතාවකගේ උරුමය මේ පොළව තුළ ස්ථාපිත ව තිබු බවට සහතික ලෙස සැලකිය හැකි
ය
මිහිඳු මහරහතන් වහන්සේ මෙරට දී මුල්ම වකවානුවේ දී දෙවනපෑතිස් රජතුමා ද ඇසුරු කොට
ගනිමින් දේශනා කරන ලදැයි වාර්තා වන සූත්‍ර දේශනා වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය,
සමචිත්තපරියාය සූත්‍රය, සච්චසංයුත්ත සූත්‍ර, අනමතග්ගිය සූත්‍රය, දේවදූත සූත්‍රය,
ආසිවිසොපම සූත්‍රය, අග්ගික්ඛන්ධොපම සූත්‍රය හා අප්පමාද සූත්‍රය වැනි සියලුම දේශනා
ගැඹුරු දාර්ශනික හර පද්ධතියක් විවරණය කෙරෙන සූත්‍රාන්ත වේ.
මේවා බුදුදහමේ ගැඹුරුම සංකල්ප ප්‍රකට කෙරෙන ඒවා ය. මේවා තේරුම් ගැනීමට තරම් උගත්
සබුද්ධික ජනතාවක් මෙරට වාසය කිරීම මිහිඳු මහරහතන් වහන්සේගේ චිත්ත ප්‍රමෝද්‍යයට හේතු
වූවාට සැක නැත. එහෙයින්ම එතෙක් මෙරට පැවති බෞද්ධ පදනමට නව ජීවයක් දීමටත්, එමඟින්ම
නව සංස්කෘතික ප්‍රබෝධයක් උදෙසා කැපවීමටත් උන්වහන්සේ තුළ හැඟීම පුබුදු කළා විය යුතු
ය.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්මදූත ව්‍යපෘතිය යටතේ විවිධ රටවලට වැඩි භික්ෂූන් අතුරෙන්
දෙනමක් පමණක් යළි දඹදිවට නොපැමිණි බව ඓතිහාසික ව පිළිගෙන ඇත, උන්වහන්සේ දෙනම නම්
මිහිඳු මහරහතන් වහන්සේ සහ යවන දේශයට වැඩි යෝනක ධම්මරක්ඛිත හිමියන් ය.
මිහිඳු මහරහතන් වහන්සේගේ දේහයේ අළු තැන්පත් කොට තැනූ ස්තූපයක් ගැන රජගල සෙල්ලිපියක
සඳහන් වේ.
“මේ දීපයේ ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ මහින්ද තෙරුන්ගේ ස්තූපයයි.” යනුවෙන් එහි
සඳහන් ය. මිහිඳු මහරහතන් වහන්සේ යළි දඹදිවට යාමට නොසිතා මෙරට ම වාසය කොට මෙහි ධර්මය
ස්ථාපනය කිරීමට කැපවීම තම කාර්යභාරය බව සිතූ බව මෙයින් නිගමනය කළ හැකි ය.
ඉහත කරුණු අනුව බුදුරදුන්ගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ අතීත ශ්‍රී ලංකාව උසස් ආර්ථික
හා සංස්කෘතික පසුබිමක් සහිත රමණීය දේශයක් ව පැවති බවත්, එය මිහිඳු මහරහතන් වහන්සේගේ
ධර්මදූත සේවාවට ඉවහල් වන බොහෝ අවශ්‍යතා සාධනය කර ගැනීමට පදනම් වූ බවත් සිතීම සුදුසු
ය.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ චුල්ලකම්මවිභංග සූත්‍ර දේශනාව අසා
හතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ.
මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ නෙත් විවර වීමක් ද මෙදින සිදුවිය. ඒ එදින පැවිදි
කරන ලද භණ්ඩුක සාමණේරයන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැඟිට මුළු
දිවයිනට ම ඇසෙන ධර්ම ශ්‍රවණය සඳහා දේවාරාධනයක් ද කළහ. එසේම උන්වහන්සේ එදින පැමිණි
දෙවියන්ට සමචිත්තපරියාය නම් සූත්‍ර දේශනාව සිදු කළහ. එම සමචිත්තපරියාය සූත්‍ර
දේශනාව ධ්‍යාන, විදර්ශනා, මාර්ග ඵල හා නිර්වාණය ලබා ගන්නා ආකාරය විස්තර කෙරෙන
ගැඹුරු ධර්ම පර්යායකි. සය ආකාරයකින් විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙහි විස්තර වේ.
මෙම සූත්‍ර දේශනාව අවසානයෙහි ධර්මාභිසමය ලද දෙවියන්ගේ සංඛ්‍යාව නියමයක් නැති අතර,
අසංඛ්‍ය වූ නාග සුපර්ණයෝ සරණ ශීලයෙහි පිහිටියහ. මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ මෙම
සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ.
උන්වහන්සේ දිවයිනට පැමිණි දෙවැනි දිනයේ සවස් භාගය වන විට දෙදහස් පන්සියයක් දෙනා
සෝවාන් ඵලයට පත්වූහ. කෙසේ වෙතත් දවස ගෙවී යනු කිසිවකුට නො දැනුණි. තෙරුන් වහන්සේ
දැන් සවස් වී ඇතැයි මිස්සක පර්වතයට වඩිනු පිණිස සූදානම් වූහ.
රජතුමා බුහුමන් සහිතව ඒ අසල තිබූ මහමෙවුනා උයන ආවාසයක් වේවා'යි සඟුනට පූජා කළේ ය.
එහි එදින වැඩ විසූ තෙරුන් වහන්සේ පසුදින රජ මැඳුරෙහි දානය වළඳා නන්දන වනයෙහි දී
අනමතග්ගිය සූත්‍ර දේශනා කළහ. එයින් පැවසෙන්නේ අක් මුල් නැති සංසාරය පිළිබඳව ය.
මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රය, මුලක් අගක් නො දත හැක්කේ යැයි තථාගතයන් වහන්සේ
විසින් දේශනා කළ කරුණ මෙහි නොයෙක් ආකාරයෙන් විස්තර වේ. මෙසේ දින හතක් කළ
අනුශාසනාවන් ශ්‍රී ලාංකික ප්‍රබුද්ධ ජනයාගේ මනස ධර්මාස්වාදයෙන් කුළුගැන්වීමට මිහිඳු
මහරහතන් වහන්සේ සමත් වූහ.
ධර්මය පමණක් නොව ඊට අනුරූපී වූ සිරිත් විරිත් ද ධන ධාන්‍යය පමණක් නොව අධ්‍යාපන හා
කලා ශිල්ප ඥානය ද මෙරටට ලබා දීමෙන් උතුම් ථේරවාද ධර්මය සුරක්ෂිත කිරීමට කටයුතු
සම්පාදනය කළහ. මේ නිසා ලෝකයේ විශේෂ අවධානයක් ලංකාව කෙරෙහි ඇතිවිය. |