සුත්තනිපාතයේ පුරාණය
ගෞරව ශාස්ත්‍රවේදී
බෝගහවැව ආනන්ද විපුලසිරි හිමි
සුත්තනිපාතය ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයක් වශයෙන් අප කවුරුත් දන්නා කරුණකි. ඒ අනුව
ත්‍රිවිධ බුද්ධ වචනයට අනුව සූත්‍ර පිටකාගත ඛුද්දක නිකායට සුත්තනිපාතය අයත් වේ. එහි
අන්තර්ගත පොත් පහළොවෙන් පස්වැනි ග්‍රන්ථය වශයෙන් සුත්තනිපාතය සලකනු ලබයි. මෙය
ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු නිපාතයක් වශයෙන් ගොඩනැඟී ශත වර්ෂ ගණනාවක් සංවර්ධනය
වීමෙන් පසු වත්මන් ස්වරූපයෙන් අද අප අතට පත්ව ඇත.
මෙම නිපාතයේ දක්නට ලැබෙන බොහෝ සූත්‍ර ත්‍රිපිටකය තුළ ඇති අනෙකුත් ග්‍රන්ථවල ද
අන්තර්ගත වේ. ඒ අනුව මංගල සූත්‍රය, රතන සූත්‍රය හා මෙත්ත සූත්‍රය ඛුද්දකපාඨයේ ද,
ඛග්ගවිසාණ සූත්‍රය අපදානපාළියේ ද, කසීභාරද්වාජ, ආලවක, සුචිලෝම සහ සුභාසිත යන සූත්‍ර
සංයුත්ත නිකායේ ද සේල සහ වාසෙට්ඨ සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ ද සංග්‍රහ වී ඇත.
(සංයුත්ත නිකාය, සංඥාපනය. පි.1) මේ කරුණු මඟින් හෙළිවන කාරණා දෙකක් ඇත. එනම්,
සුත්තනිපාතය නිර්මාණය වීමේ දී මෙහි අති සූත්‍ර පුරාණයේ සිට ස්වාධීනව පැවතගෙන ඇවිත්
වෙනම ම නිකායක් වශයෙන් ගොඩනැඟුණු බව ය.
දෙවන මතය වන්නේ අනෙකුත් සූත්‍ර ග්‍රන්ථවල ඇති සූත්‍ර ද එක්කර වෙනම නිපාතයක් වශයෙන්
මෙය නිර්මාණය කළ බව ය. කෙසේ වුව ද මෙහි ඇති බොහෝ සූත්‍ර මුලින් ම ත්‍රිපිටකය තුළට
ප්‍රවේශය ලැබුවේ මෙම නිපාතයෙන් නොවන බව කිව හැකි ය. නමුත් මෙහි ඇති අට්ඨක වග්ගයේ හා
පරායන වග්ගයේ ඇති සූත්‍ර ත්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවේ.
මෙම සූත්‍ර බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී ද ඇගයීමට ලක්ව ඇත. සෝණ වැනි
බ්‍රාහ්මණයන් විසින් අට්ඨක වග්ගය ගායනා කරන විට බුදුරජාණන් වහන්සේ එය අසා සිට ඔවුන්
ප්‍රශංසාවට ලක්කර ඇත.
එසේ ම මෙහි එන බොහෝ සූත්‍ර ධර්මයන් තුළ බුදුදහමේ හරය කියැවෙන බවට පුරාණ තෙරවරුන්ගේ
ඇගයීමට ද පාත්‍රව ඇත. තවද මෙහි එන සමහර ධර්ම කොටස් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ
දී ම සකස්කර, උන්වහන්සේගේ ම අනුමැතිය ඇතිව ශ්‍රාවකයන් විසින් විශේෂයෙන් ඉගෙන
පවත්වාගෙන පැමිණි බව ද සඳහන් වේ.
මේ අනුව සුත්තනිපාතයේ දක්නට ලැබෙන සූත්‍ර ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමය
දක්වා ඈතට දිව යයි.
මෙම නිපාතයට ලියන ලද අටුවා වන්නේ පරමත්ථජෝතිකාව වේ. එහි මෙම නිපාතයට අන්තර්ගත කරන
ලද සූත්‍ර දක්වා ඇත.
ඒ අනුව සංගීතිකාරක තෙරවරු සුත්තනිපාතයට අන්තර්ගත කළ ධර්ම කොටස් මෙසේ පෙන්වා දිය
හැකි ය. “සුත්තනිපාතයේ ධනිය සූත්‍රයේ දහතුන්වැනි ගාථාව ද, ආමගන්ධ සූත්‍රයේ අවසාන
ගාථා පද දෙක ද, ධම්මික සූත්‍රයේ විසිහය වැනි ගාථාවේ අවසාන පද දෙක ද, නාලක සූත්‍රයේ
ප්‍රස්තාවනා ගාථා ද, පාරායන වග්ගයේ වත්ථු ගාථා ද සුත්තනිපාතයට ඇතුළත් කරන ලද්දේ
සංගීතිකාරක තෙරවරුන් විසින් ය.”
(සුත්තනිපාත අට්ඨකථා. 01. 292 පිට) මේ අනුව සංගීතිකාරක තෙරවරු බොහෝ ධර්ම කොටස් පසු
කාලීනව මෙම නිපාතයට අන්තර්ගත කර ඇත. වංගීස සූත්‍රයේ දක්නට ලැබෙන “ඉති භගවා” සහ
“මුනි බ්‍රාහ්මණො” (සුත්තනිපාත අට්ඨකතාව 351 පිට) යන පාඨ ඇතුළත් කර ඇත්තේ ද
සංගීතිකාරක තෙරවරුන් විසින් ය.
එසේම “කෝකාලික සූත්‍රයේ දැන් දක්නට ලැබෙන අවසාන ගාථා දෙක මුල් කාලීන සූත්‍රයේ දක්නට
නොලැබේ. එය පසුකාලීනව සංගීතිකාරක තෙරවරු එයට ඇතුළත් කර ඇත. “සුත්තනිපාත අට්ඨකතාව.
477 පිට.) මේ අනුව පසු කාලීනව තෙරවරු මෙම නිපාතයට ධර්ම කොටස් එක්කර ඇත. එහිදී බුද්ධ
දර්ශනයට හානි නොවන ආකාරයෙන් ධර්ම කරුණු එක් කිරීමට එකල මහ තෙරවරු කටයුතු කර ඇත.
තවත සුත්තනිපාතයේ දක්වා ඇති සූත්‍ර මුලින් ම ස්වාධීනව පැවැති බවට තහවුරු කළ හැකි
සාධක හමු වී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය තුළට එක් වීමෙන් එහි ස්වාධීනත්වය ගිලිහි ගොස්
ඇත. ඒ අනුව මුලින්ම ස්වාධීනව පැවැති බවට අට්ඨක වග්ගය හා පරායන වග්ගය පෙන්වා දිය
හැකි ය.
“අට්ඨක වග්ගය සංයුත්ත නිකායේ ද, විනය මහා වග්ගයේ ද, උදාන පාලියේ (සංයුත්ත නිකාය.
03, 12 පිට) ද දැකගත හැකි ය. “පාරායන වග්ගය සංයුත්ත නිකායේ ද, අංගුත්තර නිකායේ
(සංයුත්ත නිකාය 02 49 පිට ) ද දැකගත හැකි ය.
සුත්තනිපාතයේ කාල නිර්ණය පිළිබඳ තොරතුරු සෙවීමේ දී සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රමුඛ කාර්ය
භාරයක් ඉටු කරනු ලබයි. එහි දී මෙම නිපාතයට අයත් වග්ගයන් සහ සූත්‍ර සඳහා ලියන්නට වූ
අටුවා ග්‍රන්ථ විශේෂ වේ. එනම්, මහානිද්දේසය සහ චූල නිද්දේස යයි.
මහානිද්දේසය අට්ඨක වග්ගය සඳහා ලියන ලද අටුවා වේ. චූල නිද්දේසය පාරායන වග්ගයට හා
ඛග්ගවිසාණ සූත්‍රයට ලියන ලද අටුවාව වශයෙන් සැලකෙයි. නමුත් මෙම අටුවා දෙකෙහි ම
සුත්තනිපාතය වශයෙන් නම කිසිම ස්ථානයක සඳහන් නොවේ.
එමඟින් කියැවෙන්නේ සුත්තනිපාතය වශයෙන් නිපාතයක් නිර්මාණය වීමට පෙර මෙම අටුවා
ග්‍රන්ථ සම්පාදනය කර ඇති බවත්, එහි එන සූත්‍රයන් ස්වාධීනව පැවැති බවත් ය.
පසුකාලීනව ස්වාධීනව පැවැති ඉහත සඳහන් සූත්‍ර හා සුත්තනිපාතයේ අනිකුත් සූත්‍ර ඒකරාශි
කර වෙනම ම නිපාතයක් වශයෙන් මෙම නිපාතය ගොඩනඟා ඇත. එය සුත්තනිපාතය වශයෙන් අද අපි
සලකනු ලබයි. ඒ අනුව මෙම නිපාතය සඳහා ලියන්නට යෙදුණු සම්පූර්ණ අටුවාව වන්නේ
පරමත්ථජෝතිකාව වේ.
ඒ අනුව නොයෙක් ස්ථානයන්ගෙන් ගන්නා ලද සූත්‍ර ධර්මයන් ඒකරාශි කර සුත්තනිපාතය
නිර්මාණය කර ඇත.
එසේම ඉහත දක්වන ලද සූත්‍ර හැර සුත්තනිපාතයේ සෙසු සූත්‍ර ධර්මයන් ද ඉපැරැණි බව බොහෝ
සාධක මඟින් විෂද වේ. මෙහි එන “පබ්බජ්ජා, පධාන, නාලක, සභිය යන සූත්‍ර මහාවස්තුවේ හා
ලලිතවිස්තරයේ දක්නට ලැබේ.
(“සුත්තනිපාත අධ්‍යයනය. 38 පිට.) එසේම මෙම නිපාතයේ දැක්වෙන “ප්‍රධාන සූත්‍රය
අභිධර්ම පිටකයට අයත් කථා වත්ථුවේ දක්නට ලැබේ.” (එම) නමුත් මෙම කිසිම ස්ථානයක දී මෙම
සූත්‍ර ගත්තේ සුත්තනිපාතයෙන් වන බව සඳහන් කර නැත.
ඒ අනුව අපට අවබෝධ කර ගත හැකි කාරණය වන්නේ සුත්තනිපාතය නිර්මාණයකර ඇත්තේ පසුකාලීනව
හා පැරැණි සූත්‍රයන් ඒ සඳහා ඒකරාශි කරගෙන බව ය.
සුත්තනිපාතය යන ග්‍රන්ථය මුලින් ම අසන්නට ලැබෙන්නේ ද ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ දී
ය. එනම් පාලි මිලින්දපඤ්හ ග්‍රන්ථයෙන් ය.
එසේම සුත්තනිපාතය යන නාමය මහා නිද්දේසයේ සහ චුලනිද්දේසයේ ද සඳහන් නොවේ. එයින් ද අපට
පෙනී යන්නේ සුත්තනිපාතයේ එන වග්ගයන් සඳහා ලියන ලද අටුවා ග්‍රන්ථවලට වඩා සුත්තනිපාතය
අලුත් බව ය.
මෙම අටුවා ග්‍රන්ථ ද ලියැවීමෙන් පසුව සුත්තනිපාතය ලියවී ඇත. එසේම සුත්තනිපාතය ගැන
ශාසනවංශ ප්‍රදීපයේ මෙසේ දක්වා ඇත.
“ඒ ඒ තැනින් සූත්‍රයන් උදුරා සුදුසු තන්හි යොදා ගනිමින් සංගෘහිත වූ ග්‍රන්ථය
සුත්තනිපාතය නමි. නොයෙක් කරුණු නිමිති කොට, නොයෙක් තැන්වල දී දෙසූ සූත්‍රයන්ගේ
සංකලනයක් එහි දක්නට ලැබේ.
ඛග්ගවිසාණ සූත්‍රය කියවා බැලීමෙන් මේ බව තේරුම්ගත හැකි ය. උරගවග්ගය, චූල වග්ගය,
මහාවග්ගය, අට්ඨක වග්ගය, පාරායණ වග්ගය වශයෙන් වග්ග පහකි. සූත්‍ර සැත්තෑවෙකි.”
(ශාසනවංශ ප්‍රදීපය. 15 පිට) වශයෙන් දක්වා ඇත.
මෙම කරුණු මඟින් ද තවදුරටත් අපට පෙනී යන්නේ සුත්තනිපාතය යනු පැරැණි සූත්‍ර එකතු කර
සංගෘහිත ග්‍රන්ථයක් බව ය.
තවදුරටත් සුත්තනිපාතයේ කාල පරාසය ගැන විමසීමේ දී ඔලිවර් අබේනායක මහතා මෙසේ කරුණු
දක්වා ඇත. “සමස්ත සුත්තනිපාතය ග්‍රන්ථයක් වශයෙන් පැරැණි ග්‍රන්ථ ගොඩට වැටෙන්නේ නැති
වුව ද එහි අන්තර්ගතය මුල් නිකාය ග්‍රන්ථ සතරට සමාන ය.
එම නිසා එය මුල් බුදුසමය නියෝජනය කිරීමේ සුදුසුකම ලබා ඇත.” (සුත්තනිපාත අධ්‍යයනය.
39 පිට)
මේ කරුණ මගින් ද පෙනී යන්නේ සුත්තනිපාතය පසු කාලීනව නිර්මාණය වුව ද එහි දක්නට ඇති
සූත්‍ර ඉතා පැරැණි බව ය.
ඒ අනුව අපට සුත්තනිපාතය යනුවෙන් දැකගත හැකි වන්නේ ඉතා පැරැණි සූත්‍ර අඩංගු,
බුදුදහමේ මූලික ඉගැන්වීම් පෙන්වා දෙන, පසු කාලීනව නිර්මාණය වූ ග්‍රන්ථයක් වශයෙනි.
|