[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝ දහම වටහා ගන්නවා නම් ජීවිතයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන්

ලෝ දහම වටහා ගන්නවා නම් ජීවිතයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන්

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පරිජිණ්ණමිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ මරණං තංහි ජීවිතං

සුපින්වතුනි, අද වෙසක් මස පුර අටවක පෝදා ය. අද දම් දෙසුමේ තේමාව ජීවිතයක මහිමය හෙවත් නිත්‍ය ස්වභාවය වටහා ගැනීමයි. ඉහත සඳහන් කළ ගාථාව ජීවිතයක ඇති නියම තතු මැනවින් පෙන්වා දෙයි. මේ ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ සඳහන් ය. එම ගාථාව පාදක කරගෙන අද දම් දෙසුමට තේමාව සකස්කර ගත්තෙමු. මේ ගාථාවේ තේරුම කෙරෙහි මොහොතක් අවධානය යොමුකර බලමු.

අප සරසන, ආවඩන ශරීරය ගැන මෙබඳු දෙසුමක් ඒ තුළ වෙයි.

මේ රූපය දිරායන්නේ ය. මේ ශරීරය සියලු රෝගාබාධයන්ට කැදැල්ලක් බඳු ය. මේ ශරීරය වහා බිඳෙන සුළු ය. මෙහි නව දොරකින් කුණු වැගිරෙන්නේ ය. අවසැන ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය.

පසුගිය කාලය පුරා ඇතැම් විට අදත් අප කොරෝනා වසංගතය නිසා ජීවිතය යදිමින් මරණයට බියෙන් කල් අරින්නෙමු. තදාසන්න ඉන්දියාව තුළින් පැරැණි විශාලා මහනුවර අත් දුටුවෙමු. ලෙඩවන අයුරු, විලාප දෙන අයුරු දුටුවෙමු. රතන සූත්‍රයේ පහස නැවතත් වින්දෙමු. මෙබඳු පසුබිමක් තුළ ඉහත තේමාව තෝරා ගත්තෙමු. තරමක් නීරස කථාවක් වුවත් අප දත යුතු යම් දෙයක් ඒ තුළ ඇත.

ඉහත ගාථාවට පාදක වූ කථාව කෙටියෙන් වුව විමසා බැලිය යුතු ය. එය ජීවිතයේ නියම තතු තේරුම් ගැනීමට ඔබට මඟ පාදනු ඇත.

පින්වතුනි, සැවැත්නුවර මෙහෙණින් වහන්සේ වැඩ වාසය කරන එක්තරා ආරාමයක් තිබුණා. එහි උත්තරා නම් මෙහෙණින් වහන්සේ නමක් වැඩ වාසය කළා. එම මෙහෙණින් වහන්සේ වයසින් අවුරුදු එකසිය විස්සක් පමණ මහලු යි. එහෙත් මේ මෑණියෝ කළ යුතු වත්පිළිවෙත් ඉතා හොඳීන් සිදු කළා. ඒ පිළිබඳ කිසිදු අලස කමක් නෑ. තමන්ගේ සිරුර බෙහෙවින් බලයෙන් හීන වුවත්, පිඬුසිඟා වැඩීමෙහි පුරුද්ද අත් හැරියේ නෑ.

උත්තරා මෙහෙණිය තුළ අමුතු සිරිතක් තිබුණා. එනම් තමන් පිඬුසිඟා ලබා ගත් අහර අනෙකුත් වහන්දෑට දන්දීමත්, ඉතිරි යම් දෙයක් ඇත්නම් ඒ තුළින් යැපීමත්. එය දිනපතා කෙරෙන සිරිතක්.

අනෙක් අතට පිඬුසිඟා ලබා ගත් අහර වහන්දෑට පිළිගන්වා ඒ මෙහෙණි නොවළඳා සිටි වාර ගණන බොහෝ යි. අනන්ත යි.

උත්තරා මෙහෙණ දවසක පිඬු පිණිස වැඩියා. අතරමඟ ඇතුළු නුවර වීදියේ දී හමුවූ වහන්දෑට තමන් ලබා ගත් පිඬු සියල්ල පිළිගන්වා වේලාව බලා නැවත පිඬු පිණිස වැඩම වීමට කල් නැති බව දැන කිසිදු ආහාරයක් නොවළඳා වාසය කළා.

දෙවන දවසත්, තෙවන දවසත් පිඬුසිඟා වඩිද්දී අතර මඟ හමුවූ වහන්දෑට දන් පිළිගන්වා නැවත පිඬු පිණිස වැඩමවීමට අවේලාව බැවින් නොවළඳා කුසගින්නේ ම වාසය කළා. මෙසේ තුන් දවසක් පිටපිටම අහර නොවැළඳීම නිසා දිරා ගිය සිරුර බලයෙන් බෙහෙවින් හීන වී ගියා. උත්තරා මෙහෙණිය සුපුරුදු ලීලාවෙන් සිවුවන දිනත් පිඬු සොයා වැඩියා. අතරමඟ නොසිතූ දෙයක් සිදුවුණා.

උන්වහන්සේ වඩින මඟ බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. එසේ වඩින විට මාර්ගයේ පටු තැනක දී බුදුරදුන්ට මාර්ගය දීමට යාමේ දි මෙහෙණියගේ පය පැකිළ බිම වැටුණා. බුදුරදුන් ඒ දැක එතැනට වැඩම කොට, ඉතා වයස් ගත හෙයින් දිරීමට හා දුබල බවට පත් ඒ උත්තරා මෙහෙණියට උවටැන් කරවූවා. අනතුරුව ඉහත සඳහන් ගාථාව දේශනා කොට ඈ සෝවාන් ඵලයෙහි පිහිටුවා වදාළා.

පින්වතුනි. අපගේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්තරා මෙහෙණියගේ කථාව නිසා උපන් ගාථාව ඉතා වැදගත් වේ.

උත්තරා නම් මහලු මෙහෙණිය අරභයා වදාළ මේ ගාථාව තුළ ජීවිතය කියා දෙන පාඩම් කිහිපයක් ඇත.

එනම්, මේ රූපය දිරායාම. නේකවිධ ලෙඩ රෝග හට ගැනීම, වහා ක්ෂය වීම, බිඳීයාම, නව දොරකින් කුණු වැගිරීම හා එහි කෙළවර මරණය ඇති බව ය.

එනමුත් අරුමය අප මේ බැව් තේරුම් නොගැනීම ය. අද ලෝකය වෙළාගෙන ඇති වසංගතය දෙස බලන්න. අතීතයේ අප අසා තිබුණු තුන්බිය අපට අද ඇස් මානයේ විද්‍යමාන වේ. බුද්ධ දේශනාවට අනුව ජීවිතයේ යථා ස්වභාවය අද පෙනෙන්නට තිබේ. පසක් කරගත යුතු ලෝ දහම එය ම නොවේද?

ඉහත ගාථාවේ පැනෙන පරිදි අපගේ ශරීරයට වැළඳෙන රෝගාබාධ රාශියකි. බුදුන් වහන්සේ වදාරන පරිදි අපගේ මේ සිරුර නේකවිධ රෝගවලට කැදැල්ලකි. නවාතැන් පලකි. රෝග නමැති කුරුල්ලන් පියාඹා ඇවිත් අපගේ ශරීරය නමැති කූඩුවෙහි වසති. නවාතැන් ගනිති. එවිට අපට බොහෝ කරදර පැමිණේ.

ලෝකය වෙළාගත් කොරෝනා වසංගතය ද එවැන්නකි. එපමණක් ද නොව දරුණු නිධන්ගත රෝගාබාධ අප ශරීරයේ නවාතැන් ගනී. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතතිය වැනි රෝගාබාධවලින් බොහෝ අය අද පිීඩා විඳීති. එබැවින් මේ මෙහොතේ ජීවිතයේ ඇති තතු තේරුම් ගැනීම තරම් තවත් වටිනා දෙයක් නැති තරම් ය.

සියලු ලෝ සත දුකින් මිදී සුවපත් වේවා.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]