[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙන් විහාර අතර සුවිශේෂී බුද්ධදාස ලෙන වෑඋඩ බුජස්ලෙන රාජ මහා විහාරය

ලෙන් විහාර අතර සුවිශේෂී බුද්ධදාස ලෙන වෑඋඩ බුජස්ලෙන රාජ මහා විහාරය

අනුරාධපුර යුගයේ රජකම් කළ බුද්ධදාස මහ රජතුමා දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රවීණයෙකි. බුජස්ලෙන රාජ මහා විහාරය ගොඩ නංවන ලද්දේ එතුමා විසිනි. බුජස්ලෙන රාජ මහා විහාරය පිහිටා තිබෙන්නේ කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවරට දිවෙන මාර්ගයේ වෑඋඩ ග්‍රාමයේ ප්‍රධාන මාර්ගයෙන් දකුණු දෙස පිහිටි ගිරි ලෙනක් ආශ්‍රිතව ය.

පැරැණි කෝරළ සහ පත්තු බෙදීම් අනුව නම් සත් කෝරළයේ වෑඋඩවිල්ලි හත්පත්තු සීමාවට අයත් මාවතගම මැතිවරණ කොට්ඨාසයේ වෑඋඩ ගණේගොඩ ග්‍රාමයේ ය.

මහනුවර යුගයේ සකස් කළ විහාර අස්න, නම් පොත ලෙසින් හැඳින්වේ. එහි අසූ එක් වන විහාරය වශයෙන් බුජස්ලෙන විහාරය සටහන් වී තිබේ. බුජස්ලෙන, යාන්ලෙන, ජයකඩුලෙන, සැගෑලෙන, කුඹුරුලෙන හා රිදීලෙන යන සත්කෝරළබද ලෙන්විහාර හයක් ද මෙම නම් පොතේ අන්තර්ගත වී තිබේ.

දැදුරු ඔයෙහි අතු ගංගාවක් වූ දික් ඔය නිම්නයෙහි පිහිටි මේ ප්‍රදේශය ආශ්‍රිතව බුද්ධදාස රජතුමා විසින් වැවක් තනවනු ලැබ ඇත. වැවට ඉහළින් යන අරුත දෙමින් වැව උඩ යන්න වෑඋඩ වූ බව පිළිගැනීමයි.

මේ වන විට බොහෝ සෙයින් ගොඩ වී ඇති එම වැව ඉංග්‍රීසි යුගයේ දී චකෝරා වැව ලෙස හඳුන්වා තිබේ.


විහාරාධිපති මහාචාර්ය වෑගම පියරතන නාහිමි

බුද්ධදාස රජතුමා විසින් කරවන ලද ලෙන් විහාරය යන අරුත දෙමින් බුද්ධදාස ලෙන, බුදදස් ලෙන, බුජස්ලෙන වශයෙන් විහාරස්ථානයේ නාමය පරිණාමය වී යැයි විද්වත් මතයයි.

වර්ෂ 1862-1877 වකවානුවේ මල්වතු පාර්ශ්වයේ මහා නායක පදවිය හෙබ වූ මැදගම දේවමිත්ත මහ නාහිමියන් නිකුත් කළ සන්නසකට අනුව මෙම විහාරස්ථානය බුද්ධදාස රජතුමා විසින් කරවා ගම්බිම් පූජා කරනු ලැබූ බව සඳහන් කොට තිබේ. බුජස්ලෙන රාජ මහා විහාරය බුවනෙකබාහු නම් රාජ යුගයක දී ඉඩකඩම් පූජා සිදු කරන ලදැයි රාජ්‍ය ලේඛනාගාරයේ ඇති සන්නසක ලියවී ඇත.

විහාර භූමියෙහි පහත මාලයෙහි පැරණි ධර්ම ශාලාව, සංඝාවාසය වැනි ගොඩනැඟිලි පිහිටා තිබේ. පියගැට පනස් දෙකකින් සමන්විත ය. ශෛලමය පියගැටපෙළකින් නැඟ ඉහළට ගමන් කිරීමේ දී කටාරම් කොටන ලද ලෙන් විහාරය වෙත පිවිසීමට හැකි ය. ලෙන් විහාරය පිටුපසින් පියගැට පෙළකි. එහි ගමන් කිරීමේ දී අනුරාධපුර යුගයේ රෝපිත බෝධීන් වහන්සේ හමු වෙයි.

මහනුවර යුගයේ ප්‍රතිසංස්කරණය කරවා ඇතැයි සැලකිය හැකි ලෙන් විහාරයේ හිඳී පිළිම සහ හිටිපිළිම බුද්ධ ප්‍රතිමා වහන්සේ හත් නමක් නිර්මාණය කොට ඇත. බිත්ති සහ ලෙන් පියස්සෙහි චිත්‍ර අඳවා ඇත. ලෙන් විහාරයට පිටතින් ලෙන තුළම කුඩා බුබ්බුලාකාර ස්තූපයක් දක්නට ලැබේ.

වර්ෂ 1870 නොවැම්බර් 4 වැනි දින ඉංග්‍රීසි ආණ්ඩුවේ ආඥා පනත මගින් ස්ථිර කළ වෑඋඩ කෝරළේ ප්‍රවේණි පංගු සහ කළ යුතු වැඩවල ලේඛන පොතට අනුව ගනේගොඩ ඉඩම් ප්‍රවේණි නිලකරුවන් විසින් ශාසනාභිවෘද්ධිය පිණිස පුරාණයේ පටන් සිදු කළ යුතු කාර්යභාරය දක්වා තිබේ.

එක් කදකට කැවුම් සියයක්, කසපැන් තුනක්, බුලත් හතළිහක් බැගින් කත් හයක් අවුරුද්දට දෙවරක් මහනුවර මල්වතු මහා විහාරයේ මහා නාහිමියන් බැහැදැක පිළිගැන්වීම කළ යුතු ය. ඒ ප්‍රවේණි නිලකරුවන් අතරින් කෙනකු විදානේ තනතුරට පත් වී ඔහු විසින් මසකට වරක් බුජස්ලෙන විහාරයේ මලුව සුද්ධ කොට ඇමදවීමටත් නියම කරවා තිබේ.

කාර්තික මංගල්‍යය දා දළදා මැදුරේ දී නම් පොතේ අනුපිළිවෙළට විහාරස්ථාන වෙත තෙල් බෙදා දීම සිදු වේ. නම්පොතේ සඳහන් විහාරස්ථානයක් වන බැවින් එම ප්‍රතිලාභ ලැබීමට බුජස්ලෙන ද සුදුසුකම් ලබයි. තෙල් රැගෙන විත් පහන් දොළහක් පත්තු කළ යුතු ය.

මේ අතර තවත් ප්‍රවේණි නිලකරුවන් පිරිසක් වෙත පොහෝ දිනවල සහ පින්කම් දිනවල දවුලක් හා තම්මැට්ටමක් ගෙන දෙදෙනකු විහාරයේ හේවිසි ශබ්ද පූජා පැවැත්වීමට නියම කර ඇත. මල්වතු විහාරයේ මහා නාහිමිපාණන් වහන්සේ සත්කෝරළයට වැඩම වන විට දී දවුල් දෙකක් සහ තම්මැට්ටම් දෙකක් ගත් සිව් දෙනකු වෑඋඩ කටඉමට පැමිණීමටත්, එතැන් සිට කොස්පොතු ඔය දක්වා ශබ්ද පූජා සහිතව මහ නාහිමිපාණන් වහන්සේ වැඩම කරවීමටත් නියම කරවා ඇත.

උඩුරාවණ පියරතන, වැලිකන්දේ සරණංකර මාහිමිවරුන්ට පසු අලුදෙණියේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ දීර්ඝ කාලයක් මෙහි විහාරාධිපති පදවිය හෙබවූහ. වර්තමානයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය, සත්කෝරළ මහ දිසාවේ ද්විතීය සංඝනායක, සම්මානිත මහාචාර්ය වෑගම පියරතන නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]