[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයට ය: ඒ ලෝ දහමට පිටු පෑ නොහැකි ය

අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයට ය: ඒ ලෝ දහමට පිටු පෑ නොහැකි ය

කිසිවකුගෙන් හිංසාවක් පීඩාවක් නැතිව ජිවත් වන්නට අපි සියලු දෙනා කැමැත්තෙමු. එහෙත් අනුන්ට හිංසා පීඩා නොකර ජීවත් වන්නට බොහෝ විට නොසිතමු. ලෝ දහමට අනුව අස්වනු ලැබෙන්නේ වපුරන දෙයට අනුව ය. එසේ නම් දුක් පීඩා නැතිව නිදහසේ ජීවත් වන්නට අවැසි ද, අප ද අනුන්ගේ එම අයිතිය සුරක්ෂිත කළ යුතු ය. එවිටය, අපගේ ද ඒ අපේක්ෂාවන් සඵල වනුයේ.

බෞද්ධ සිරිත් විරිත් සැකසී ඇත්තේ යහපත් සුරක්ෂිත සමාජයක පැවැත්ම උදෙසා ය. සමස්ත බෞද්ධ සමාජය ම අන්‍යයන් කෙරෙහි දක්වනුයේ කාරුණික සුහදත්වයකි. එම සුහදශීලි බව වැඩි දියුණු කරනුයේ චාරිත්‍ර හා වාරිත්‍ර තුළිනි. චාරිත්‍ර නම් කළ යුතු දෙයයි. වාරිත්‍ර නම් වැළැකිය යුතු දෙයයි.

මේ බෞද්ධ සිරිත් - විරිත් අතර මහණ බමුණන්ට උපස්ථාන කිරීම, පිදිය යුත්තන් පිදීම, ගුරු ගෞරවය රැකීම, මවුපියන්ට සැලකීම, අඹුදරුවන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, ආගන්තුක සත්කාරය මෙන් ම මියගිය ඥාතීන්ට පරලොවින් සංග්‍රහකිරීම. ඒ වගේ ම කරුණාව, දයාව, අනුකම්පාව, ඉවසීම මෙන් ම අනෙකාට ඊර්ෂ්‍යා නොකිරීම ආදී උතුම් ගුණාංග රැසක් ම ඇතුළත් වේ.

මංගල සූත්‍රය, පරාභව, වසල, ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද සූත්‍රවල මෙන් ම සතර සංග්‍රහ වස්තු, සේඛියා ධර්ම, දසරාජ ධර්මයන්තුළ ද, ගිහි සමාජය උදෙසා අවශ්‍ය බොදු සිරිත් - විරිත් රාශියක් පෙන්වා දී තිබේ.

සමාජයේ යහපත් හැඩ ගැස්මක් උදෙසා පෙන්වා දී තිබෙන එබඳු චාරිත්‍ර - වාරිත්‍ර ඉටුකිරීමෙන් පුද්ගල ජීවිතයේ දියුණුව සැලසෙන බව ද සමාජය සුරක්ෂිත වන ආකාරය ද, චාරිත්‍ර - වාරිත්‍ර මඟ හැරීමෙන් සමාජය අනාරක්ෂිත වන ආකාරය ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

බෞද්ධයන් වන අප විසින් වෙසෙසින් හදාළ යුතු සංකල්පයකි, බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සිඟාලෝවාද සූත්‍රයේ “සදිසා“ සංකල්පය. පෘතග්ජන පුද්ගලයා මුහුණ දෙන විවිධ තත්වයන් හා එම තත්වයන්හි දී තමන්ගේ වගකීම හා අයිතිය පිළිබඳ හැඟීමක් එමඟින් ඇති කරවයි.

තම මවුපියන්ට කළ යුතු යුතුකම් ඇත. එම යුතුකම් එක් අතකට මවුපිය බලාපොරොත්තු හෙවත් අයිතීන් ය. ශිෂ්‍යයන් තම ගුරුවරයාට කළ යුතු යුතුකම් හා ගුරුවරයා විසින් තම සිසුන්ට කළ යුතු යුතුකම් විස්තර වේ. ඒවගේ ම ස්වාමි සේවක සබන්ධතාව, ස්වාමි - භාර්යා සම්බන්ධතාව, මිත්‍ර සම්න්ධතාව, ආගමික සම්බන්ධතාව ලෙසින් ජීවිතයේ ඉතා ම අවශ්‍ය සමාජ සුරක්ෂිතභාවය පිණිස පවත්නා සම්බන්ධතා බුදු දහම තුළ වර්ග කොට දක්වා තිබේ.

එම සම්බන්ධතා යහපත් අන්දමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික හැඩගැස්මත් පැහැදිලි ව පෙන්වා දී තිබේ. සමාජ සම්බන්ධතාවයෙන් තොර සමාජ සුරක්ෂිතතාවක් නොමැත. එම සමාජ සම්බන්ධතා මනා හැඩගැස්මක් ඇතිව පවත්වාගෙන යෑමට උත්සාහවත් වීම අනුව සමාජ සුරක්ෂිතතාවය ද ඇතිවේ.

බෞද්ධයාගේ ජීවිතය චාම් ය. සරල ය. එසේ වුව සමාජ සාමාජිකයෙක් වශයෙන් සමාජය තුළ ජීවිත පැවැත්වීමට ධනය අත්‍යවශ්‍ය අංගයක් වේ. මල නොතලා - නොපෙලා රොන් ගන්නා බඹරකු සේ, පොළවටත් නොදැනෙන්නට එහෙත් ශක්තිමත් වූ තුඹසක් බඳීන වේයන් මෙන් ධාර්මික වූත් ශක්තිමත් වූත්, ජීවිත ගත කළ යුතු ය.

තමන් උපයන ධනය සමාජයේ අන්‍යයන් නොතළා, නොපෙළා ධාර්මිකව ලබන ධනයක් ම විය යුතු ය. ඒ වගේ ම තමන් උපයා ගත් ධනය කොටස් සතරකට බෙදා ප්‍රයෝජනයට ගන්නා ලෙස ද දහමේ මනා ලෙස පෙන්වා දී ඇත. ඒ මෙලෙස ය.

කොටස් දෙකක් තමන් විසින් සිදු කරන කර්මාන්ත, ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම උදෙසා ය. කොටසක් තමාගේ පරිභෝජනය සඳහා ය. හතරවැනි කොටස තමන්ට පැමිණෙන විපතක දී ගැනීමට තැන්පත් කොට තැබීමට ය.

මේ ආකාරයෙන් ධනය ලබන ආකාරයත් පරිභෝජනය කරන ආකාරයත්, ධනය විනාශ වන ආකාරයත් ධර්මයේ පෙන්වා දී ඇත. බොදු සිරිත් - විරිත් අනුව ධාර්මිකව තමන් ලද ධනය තුළින් ශක්තිමත්වූත්, සුරක්ෂිතවූත් ආර්ථිකයක් ගොඬනගා ගත හැකි ආකාරය මනා ව බුදු දහමේ පෙන්වා දී තිබේ.

යමෙක් විසින් සිදුකළ යුතු යුතුකම් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම් රට වෙනුවෙන් තමන් අතින් විය යුතු සේවයයි. ඒ රට වෙනුවෙන් යම් යුතුකමක් කළ හැකි නම්, තම ශක්ති ප්‍රමාණයෙන් එය කළ යුතුයි. රටේ ජීවත් වන සෑම පුරවැසියකුගේ ම යුතුකම ද වන්නේ එයයි. තමාගේ යුතුකම පළමුව සිදු කිරීම, කිසිවිටකත් අන්‍යයන්ගේ දොස් දැකීමට වඩා උචිත ය.

දෙවනුව ආගන්තුක සත්කාරයයි. එනම් ආගන්තුකයන් කෙරෙහි සිදු කළ යුතු යුතුකම් ය. මෙය අගනා බොදු සිරිතකි. තුන්වනුව ඥාතීන් වෙනුවෙන් විය යුතු යුතුකම් ය.

හතරවනු ව මියගිය ඥාතීන්ට සිදු කළ යුතු යුතුකම් හා ආගම දහම වෙනුවෙන් කළ යුතු යුතුකම් හඳුන්වා දී ඇත. ඒ වගේ ම දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව ය නම් වූ සතර සංග්‍රහ වස්තු සුරක්ෂිත සමාජයකට වැදගත් වන අර්ථවත් බොදු සිරිත්ය.

දානය නම් පරිත්‍යාගයයි. විපතක දී, ආපදාවක දී ජාතිය, ආගම, කුලය නොබලා එකිනෙකාට උපකාර කර ගැනීම බොදු සිරිතකි. භෞතික වශයෙන් වූ ආහාර - පාන, ඇඳුම් - පැළඳුම් ආදිය පමණක් ම නොව දයාව -කරුණාව, අනුකම්පාව, මෙත් සිත පැතිරවීම ද උතුම් වූ දානයකි. සියලු සත්වයාට ම මෙත්සිත පැතිරවීමට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ තමන්ට තමන් උපමාවට ගෙන සියලු සත්වයන් කෙරෙහි ම ඒ අයුරින් ම සිතීමට දේශනා කොට තිබේ.

පෘතග්ජන සමාජය තුළ බොහෝ ගැටලු, ප්‍රශ්න, ආරවුල් හටගන්නේ අයහපත් වචනය නිසා ය. බොහෝ පුද්ගලයාට මනාප වචන භාවිතය බොදු සිරිතයි.

ප්‍රිය වචනය සේ ම ක්‍රියාවෙන් ද අර්ථචර්යාව පෙන්විය යුතු ය. කිසිදු භේදයකින් තොරව සමාජයේ සැමට එක සේ සැලකීම සමානාත්මතාව ලෙස දක්වා ඇත. මේ ආකාර වූ සියලු බොදු චාරිත්‍ර වාරිත්‍ර රැකීම යහපත් සමාජ සුරක්ෂිතතාවකට මහත් සේ ඉවහල් වේ.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]