[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වටිනාකම් අනාගතයට ඉතිරි කරමු

වටිනාකම් අනාගතයට ඉතිරි කරමු

පින්වත් දුවේ පුතේ, පරිසරයේ වටිනාකමත් ඒවා විනාශ වන ආකාරයත් පිළිබඳ අපි බොහෝ කරුණු ගැන දැනුම්වත් ව සිටිමු. අපේ බුදුරජාණන් වහන්සේ ද පරිසරය රැක ගැනීම පිණිස අපට බොහෝ උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේට පරිසරය සම්බන්‍ධව විනය නීති පවා පනවා ඇත.

එක් දිනක් ඡන්න තෙරුන් වහන්සේගේ දායකයෙක් ආරාමයක් ඉදිකර දීමට කැමැති විය. ඒ සඳහා සුදුසු ස්ථානයක් පෙන්වන ලෙස ඡන්න තෙරුන්ට දැන්වීය. උන්වහන්සේ විශාල ගසක් තිබූ තැනක් පෙන්වූහ. එම ගස කපා ඉවත්කොට එතැන තමාට ආවාසය සාදා දෙන ලෙස දායක මහතාට පැවසූහ.

දායක මහතා ද එම ගස ඉවත් කොට එතැන ආරාමයක් ඉදිකළේ ය. මේ පිළිබඳ නොසතුටට පත් මහජනයා භික්‍ෂූන් වහන්සේට දොස් නැඟූහ. භික්‍ෂූන් වහන්සේ මහා වනස්පති පවා විනාශ කොට ආරාම ඉදිකරන බවත් පරිසරය පිළිබඳ කිසිම සංවේදී බවක් නැතිබවත් පැවසූහ.

මේ පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ ආරාම ඉදිකිරීමේ දී පරිසරයට හානි නොවන ලෙස ආරාම ඉදිකළ යුතු බවට විනය ශික්‍ෂාවක් ද පැනවූහ. ඉන්පසු තම අභිමතයට ආරාමයක් ඉදිකළ නොහැකි ය.

භික්‍ෂූන් වහන්සේලා රැස්කොට උන්වහන්සේලාගේ අනුදැනුම ඇතිව ස්ථානයක් තෝරා ගත යුතු ය. එහි දී විශාල ගස් ආදිය නොකැපිය යුතු ය. පරිසරයට හානියක් නොවන ලෙසට විහාරාරාම ඉදිකිරීම් ආදිය සිදුකරන ලෙසට බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දී ඇත.

එසේ ම එදා බුදුන් දවස ජෛන ආගම ප්‍රචළිතව පැවැතිණි. ඔවුහු ගස්කොළවලටත් පණ ඇතිබව විශ්වාස කළහ. ජීවයක් ඇති නිසා එම ගස්කොළන් කැපීම පවා අකුසලයක් ලෙස ඔවූහු සැලකූහ. ඔවුහු කිසිදිනක ගස්වැල් නොකැපූහ. ඒවා ආරක්‍ෂා කළහ. ඒ අනුව මහජනයා ද භික්‍ෂූන් වහන්සේලාගෙන් පරිසරයට හානියක් නොවෙනු ඇතැයි විශ්වාස කළහ.

බුදුරජාණන් වහන්සේ උපසම්පන්න භික්‍ෂුවකට ගසකින් අත්තක් කැපීම නොකළ යුතු බවට දේශනා කළ සේක. එසේ ම තණකොල ඉගිල්ලීම පවා නොකරන ලෙසට අවවාද කළහ. උපසම්පන්න භික්‍ෂූන් වහන්සේ නමක් එසේ කිරීම ඇවතකි. ඇවැතක් යනු වරදකි.

එපමණක් නොව අප පරිසරයේ ඇති ජලය ආරක්‍ෂා කර ගැනීම ද අප සතු යුතුකමකි. එනිසා බුදුරජාණන් වහන්සේ ගංගා, ඇළ, දොළ, ළිං, විල්, වැව්, තටාක, මුහුදු සාගර ආදියේ ජලය අපිරිසුදු නොකර පරිහරණය කළ යුතු බව පෙන්වා දුන් සේක.

ජලයට කෙළ ගැසීම, මළ මුත්‍ර පහ කිරීම, කුණු රොඩුආදීය ජලයට දැමිම, යනාදිය නොකළ යුතු ය. එසේ කිරීම විනය විරෝධී ක්‍රියාවකි. එසේ නොකරන ලෙසට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට විනය නීති රීති පවා පනවා ඇත. උන්වහන්සේ එයින් ජල දූෂණය සිදු නොවන ලෙසට කටයුතු කිරීමට තම ශ්‍රාවකයන්ට පුහුණුව ලබා දී ඇත.

අදත් එවැනි දේ කිරීම භික්‍ෂූන් වහන්සේට පමණක් නොව ගිහියන්ට ද නුදුසුදු දෙයකි. ජල සම්පත රැක ගත යුතු ය.

පරිසරයේ සම්පත් විනාශ වීම, විනාශ කිරීම, එසේ නොමැතිනම් අධිපරිභෝජනය යන්න ගැන කතා කිරීමේ දී කෙනෙක් අප පරිසරය විනාශ කරනවා නොව “අපේ අවශ්‍යතාවයට අප ගහක් කපා ගන්නවා” “අපි හේනක් කොටා ගන්න ඕන නිසා කැලේ ටිකක් කපනවා” “ගෙයක් හදාගන්න ඕන නිසා ගහක් කපා ගත්තාට මොකද?” “අපි ගහක් කපලා විකුණන්නේ කීයක් හරි හොයා ගන්න.” යනාදී ලෙසින් ප්‍රකාශ කරනු ඇසේ.

එසේ අප එකිනෙකා ආත්මාර්ථකාමීව සිතන්න යෑම නිසා ම අද බොහෝ පරිසර පද්ධති විනාශ වී යන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ආශාවන් නිසා අධිපරිභෝජනය ඇති වූ අයුරුත්, රාජ්‍ය මැදිහත් වීමෙන් එය නතර කළ හැකි අයුරුත් අග්ගඤ්ඤ සූත්‍රයේ දී මනාව පැහැදිලි කොට ඇත.

ලෝකයේ මුලින් ම මිනිසුන් ආභස්සර බ්‍රහ්ම ලොකයේ සිට පැමිණ ඇත. එසේ පැමිණි මුල්කාලයේ සත්ත්වයෝ රස පොළව ආහාරයට ගෙන ඇත. එය ප්‍රිය වීමෙන් තෘෂ්ණාව ඇති විය.

තෘෂ්ණාව නිසා රස පොළව අතුරුදහන් වීමෙන් අනතුරුව පප්පටකම් නම් බිම්මල් (හතු) වර්ගයක් ද, ඉන්පසුව බදාලතා නම් වැල් වර්ගයක් ද පහළ විය. පසුව ස්ත්‍රී පුරුෂවශයෙන් බෙදීගිය මිනිස්සු ගෙවල් තනා ගෙන ජිවත් වන්නට වූහ. පසු කාලයේ පොතු නැති හැල් හාල් ආහාරයට ගැනීමට පුරුදු විය.

මෙහි දී මුල් කාලයේ දී තමාට අවශ්‍යවිට කැලයට ගොස් හැල් කපාගෙන ඒම සිරිතක් විය. එහෙත් එක් කම්මැලි මිනිසෙක් හැල් නිතර නිතර කැපීමට යෑමට කම්මැලි නිසා ඵකවර ම ගෙනැවිත් ගොඩ ගසා ගෙන ආහාරයට ගැනීමට පුරුදු විය.

බොහෝ දෙනෙක් මෙය අනුකරණය කිරීමට යෑම නිසා ධාන්‍ය හිඟවන්නට විය. ඵයින් විවිධ අර්බුධ පැන නැඟුණි. තණ්හාව නිසා බොහෝ අය වැඩිපුර හැල් වී ගෙනත් තබා ගත්හ. මේ නිසා සම්පත් හිඟය ඇතිවිය.

සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා හැල් ඉඩම් කොටස්කර බෙදා වෙන්කර ගත්හ. එහෙත් මිනිස්සු තණ්හාව නිසා තමාගේ කොටස ඉතිරි කර ගෙන අනිකාගේ කොටසින් හැල් හොරකම් කිරීමට පටන් ගත්හ. මේ නිසා ලෝකයේ හොරකම ඇති විය. හොරකම් කොට හසුවීම නිසා බොරු කීමට පෙළඹිණ. බොරු කී නිසා දඬුවම ලොව ඇති විය.

දඬුවම් කිරීමට, ඉඩම් බෙදීමට, ප්‍රශ්න විසඳීමට කෙනකු අවශ්‍ය විය. ඒ සඳහා පත් කරගත් තැනැත්තා මහා සම්මත නමි විය. රජතුමා බවට පත් වූයේ ඔහු යි. ඔහුට ජීවත් වීම සඳහා තම තමාගේ කොටස්වලින් ටික ටික රජතුමාට දීමට පුරුදු විය. අද බදු මුදල් ලෙස හැඳීන්වෙන්නේ එසේ දීමට ආරම්භ කළ කොටස යි.

අදත් අප සමාජයේ මීට සමාන ක්‍රියාදාමයක් සිදුවන බව පෙනේ. මිනිසා තණ්හාව නිසා ආත්මාර්ථකාමීව සම්පත් අසීමිත ව භුක්ති විඳීමට යාම නිසා සම්පත් ඌණතාවක් මතුව ඇත.

තිබෙන සම්පත් සියල්ල අප භුක්තිවිඳ අවසන් නොකළ යුතු ය. මන් ද? අනාගතයේ ලොව පහළවන දුවා දරුවන්ටත් සම්පත් ඉතිරි කළ යුතු ය. මිනිසුන් එසේ නොසිතා එක් එක්කෙනාට අවශ්‍ය ලෙස පරිසරය සුරකීමෙන් තොරව කටයුතු කරන්නේ නම් ඔවුන්ට දඩුවම් කිරීමට, ඔවුන්ගෙන් පරිසරය රැක ගැනීමට රාජ්‍ය මැදිහත් වීමේ අවශ්‍යතාව බුදුසමය පෙන්වා දෙයි.

ලොව තුළ සිටින සියලු ම ජීවින්ගේ හා වෘක්ෂලතාවල ආරක්ෂාව සැලසීම රජුගේ පරම යුතුකමක් ලෙස චක්කවත්ති සිහනාද සුත්‍රයේ දී දස සක්විතිවත්හි පෙන්වා දෙයි. ඵසේ ම කුටදත්ත සුත්‍රයේ රාජ්‍ය කටයුතු සැලසුම් කිරීමේ දී ශාඛ පද්ධතිය හා සත්ත්ව පද්ධතිය ආරක්ෂා වන ආකාරයට කළ යුතු බව පෙන්වා දෙයි.

අප සැම දෙනා පෞද්ගලිකව හෝ රාජ්‍ය මැදිහත්වීම මත හෝ පරිසරය සුරකීමට කටයුතු කළ යුතු ය. එය අපගේ වගකීමක් ලෙස සලකා හැම දෙනාම කටයුතු කරමු.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]