[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

අවුකන බුදුපිළිම වහන්සේ

සිව්දිග රජරටින් විහිදෙන දහම් සුවේ
සව්සත දුකට සැනසුම ගෙන ඒවි භවේ
අව්වැසි සුළං සම ලෙස හිමි දකින ලොවේ
අවුකන බුදු පිළිමෙ දුටු සිත් නිවේ නිවේ

මෙත් කරුණා ගුණය ඉතිරෙන දෙනෙත තුළින්
තිත් ඝණදුර දුරු වේ බුදු රැස් කිරණින්
උතුම් නිවන පතමින් පුද දෙමින මලින්
සිත් ලෙස වඳිමි අවුකන බුදු හිමි සැදැහෙන්

රතු සුදු නෙළුම් මල් වැව් දිය මත පිපිලා
සතුටින් නෙළා දෝතින් පූජා කරලා
සිතු ලෙස භව ගමන නවතා පරදාලා
මතු සංසාරෙ යමි නිවනට සැනසීලා


කූරගල පුද බිම

දහසක් කරදර උවදුරු මැද්දේ
අප නාහිමි පෙරමුණ ගත්තේ
විරු දරුවන්ගේ කැප වීම මත්තේ
සැදුණා කූරගල අරගල මැද්දේ

කුරගල ද වඳින්නට යා යුතුය

පුණ්‍ය භූමි ලංකා දෙරණේ සදහම් රැස් විහිදේ
විරු දරුවන්ගේ කැපවීමයි වෙහෙසුණු ජනතාවයි
ලබන වෙසක් සඳ පායනවා කුරගලට
සාධු....සාධු.........වෙසක් සඳ පායනවා කුරගලට


ඒ මඟ සැහැල්ලුයි සරලයි හරි එළියයි

දෙදහස් විසි දෙකට පැවිදිව අට වසරයි
ඒ මඟ සැහැල්ලුයි සරලයි හරි එළියයි
ධර්මය තුළ සිටින හැම විට සිත නිසලයි
ලෝ සතුනට ද කළ හැකි සේවය අමිලයි

විනය අභිධර්ම සූත්‍ර ත්‍රිපිටකය
අටුවාවෙත් තිබෙන ධර්මය නිර්මල ය
මැනවින් හැඳින කරනා දම් දේශනය
පින් වැඩෙනවා මයි එය නිවනට මඟ ය

පෝය දාට පන්සල හරි පින් පාටයි
දසත පුරා පැතිරෙන්නෙත් සිල් සුවඳයි
සසර නවතන්න සැමගෙම එක පැතුමයි
එය ඉටු කර දෙන්න දැන් මගෙ හිත හයියයි


බුදු හිමියනි !

මෙත් සිසිල පැතිරුණා
එදා ලුම්බිණි බිමේ
සත් පියුම් පිබිදුණා – ලෝකයට දී සුවේ
ඒත් මං මුළා වී – අපි තවම ඝණදුරේ

දම් සුවඳ පැතිරුණා
බුද්ධගයා පින් බිමේ
බුදු රැසින් බැබළුණා – ලෝකයට දී සුවේ
ඒත් මං මුළාවී – අපි තවම ඝණදුරේ

දහම් හඬ නැවතුණා
එදා කුසිනා පුරේ
නිවන් පුර යන අයුරු - ලෝකයට දී සුවේ
ඒත් මං මුළාවී – අපි තවම ඝණඳුරේ

පෙර නිමිති සතරෙනා
දැනෙන අට ලෝ දමේ
පස් පවින් වැළකිලා – ලෝකයට දී සුවේ
සරණ වෙමු අපි සැමට – එළිය දැක සැනසුමේ


අවසන් කුංචනාදය

උතුම් දළදා කරඬුව උර මත දරා
සැදැහැයෙන් නැඟූ සාධු නඳ
ඉවසා
සංසුන්ව පියමං කළ ගිජිඳුනි
සිව්පා දවා
නෙත නිදි වරා
සෙංකඩගල නුවරට පිවිස
මාළිගා දොර අසල
වැඳ වැටුණු රුව දිටිමි
ඔබේ අවසන් කුංචනාදය
ඇසේ දෙසවන් පුරා

දෙවි පුතකු වී සැනසෙන්න
පෙරූ පින් මහිමයෙන්
නැදුන්ගමුවේ
ඇත් රජුනි


සිතක මහිම

දස මසක් මව් කුස තුළ වැතිරී
මෙලොවට එයි හඬාගෙන සෝ දුක් ඉතිරී
ඇස කන නාස යන ඉඳුරන් සොඳිනී
ලෝකය දකින හැටි වෙන කවුරුත් නොදනී

බුදු හිමි දෙසූ දම් පද මිහිරියාව
අට ලෝ දහම උරුමයි නිති නියාම
ජීවන ගමන පැද යන විට ඉඳුරාම
සිතක මහිම දැක ගත හැකි කල් තියාම


සිතිවිලි

මියැදෙන බව
දැන දැනත්
කුමට සොයනවද
අබ මිටක්
නොඑනු ඇත
ඔහු යළිත්
නොවෙන් දුවේ
පටාචාරාවක්
මෙත් සිතින්
ගත කළොත්
විය හැකිය නුඹට
සුජාතාවක්........


පෙර පිනකට

ගෞතම මුනිදුන් දෙසූ ඒ දහම අහන්නට
තවමත් පමා නැත පින් ඇත අප හට
නොපමාව වටහාගෙන එය අප අද හෙට
ජීවිතය සරිකර යමු සැවොම පෙරට

පෙර මුතුන් මිත්තන් කළා වූ ආමිස පූජා දැක
පහන් සිතිවිලි උපදවාගෙන නොපමාව
ප්‍රතිපත්ති පූජා පුරමු සිහියෙන් පින් බිමක
පෙර පිනකටමයි අප ඉපදුනේ බණ ඇසෙනා තැනක


ජීවිතය

දහඩිය වගුරවමින් කෙනෙකුන් ජීවත් වෙන කලට
ඒ ගැන අහිතකින් හොඳ නැහැ බලන්න ට
දියුණුවේ ජය මාවත උත්සාහය බව පසක් කොට
ජීවත් විය යුතු ය අප උත්තම මිනිසුන් ලෙසට

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]