[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරණමක ඉරණම ...

කරණමක ඉරණම ...

ජීවිතය වෙනස් වන්නේ නොසිතු නොපැතූ අයුරින් ය. ලෝක ස්වභාවය නම් සිතු දේ නොවීම ය. නොසිතූ දේ සිදුවීම ය. බොහෝ විට මෙය පුද්ගල ජීවිත තුළ ද ක්‍රියාත්මක වෙයි. සුළු දෙයක් නිසා මුළු ජීවිතය ම උඩුයටිකුරු වී යන්නට පුළුවන. ජීවිතය වෙනස්වීම හොඳ සහ නරක අතට සිදුවේ. එහෙත් මේ සියලු වෙනස්වීම් කෙටි කාලීන ය.

කෙනකුට බලාපොරොත්තු නොවූ මොහොතක කෝටි ගණනක ලොතරුයි වාසනාවක් ඇදෙන්නට පුළුවන. වටිනා මැණිකක්, නිධානයක් ලැබෙන්නට පුළුවන. එයින් ද ජීවිතය වෙනස් වෙයි.

එසේ ම නොසිතූ ලෙස ව්‍යාපාර දියුණුව, රැකියා ලැබීම, ජනප්‍රිය භාවය, වරප්‍රසාද ලැබීම, යානවාහන ලැබීම ආදී දෙයින් ජීවිත වෙනස් වී යයි. එසේ ම සුනාමි ගංවතුර,නාය යෑම් වැනි ව්ය සන නිසාත් ව්‍යාපාර කඩා වැටීම ලෙඩ දුක්, මරණ ආදිය නිසාත් ජීවතය සුළු මොහොතකින් වෙනස් විය හැකි ය.

භාග්‍යවතුන් වහන්සේගේ එක බණ පදයක් අසා පුද්ගල ජීවිත මහා වෙනස්වීමකට බඳුන් වූ කතා කොතෙකුත් ඇත. මේ වෙනස්වීම් තුළ තවත් පැතිකඩක් තිබේ.

ඔහු නමින් උග්ගසේන ය. රැකියාව වශයෙන් කළේ සර්කස් කණ්ඩායමක සංදර්ශන දැක්වීම යි. එහෙත් උග්ගසේන කියන්නේ සිටු පුතෙකි. ඔහු සර්කස්කරුවකු බවට පත්වූයේ මෙලෙසිනි.

එය සිදුවූයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී ය.

දිනක් සැමියාත්, බිරිඳත් එක්තරා ගමනක් යමින් සිටියහ. අතරමගදී ඔවුනට පිඩුසිඟා වඩිනා රහතන් වහන්සේ නමක් මුණ ගැසුණි.

දෙදෙනා ම එක් වී දානය පූජා කොට "ස්වාමිනි, ඔබ වහන්සේට පිදූ දානයෙන් මෙලොව දී ම ප්‍රතිඵල ලැබේවා" යි කියා පැතූහ. රහතන් වහන්සේ ද ඔවුන්ගේ ප්‍රාර්ථනාව සඵල වනු දැක මද සිනා පහළ කළ සේක.

එය දුටු ස්ත්‍රිය තම ස්වාමියාට "මේ ආර්යයන් වහන්සේ සිනා වෙන්නේ හරියට සර්කස්කාරයෙක් වගේ නේදැ'යි කීවා ය. ස්වාමියා හිස වනා එය අනුමත කළේ ය. සිදුවූයේ එපමණ ය. ඔවුහු මරණින් මතු දෙවියන් අතර ඉපිද අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුලොව උපත ලැබූහ.

ස්ත්‍රිය එදා රහතන් වහන්සේට කී වචනය හේතුවෙන් උපන්නේ සර්කස් පෙන්වමින් ජීවිකාව ගෙනයන පියකුට දාව ය. ඇගේ ජීවිකාව වූයේ ද සර්කස් පෙන්වී යි. එදා තරුණයා මිය ගොස් උග්ගසේන නමින් සිටු පවුලක උපත ලැබී ය.

එදා රහතන් වහන්සේට බිරිඳ කී වචනය හිස ලා අනුමත කළ නිසා එයට විපාක ලැබීමට සුදුසු පරිසරය ටිකෙන් ටික සැකසුණේ ය.

පෙර කී තරුණිය සිටින සර්කස් කණ්ඩායම ක්‍රමයෙන් රජගහ නුවරටත් පැමිණියේ ය. එදින උග්ගසේන සිටු පුත්‍රයා ද මිතුරන් සමඟ සර්කස් බලන්නට ගියේ ය.

එදා අර තරුණිය විස්මිත ලෙස සර්කස් පෙන්වූවා ය. සසර පුරුද්දත්, බැඳීමත් සමඟ කර්මය එකට එක් වෙමින් උග්ගසේන‌ගේ හිත එම තරුණියට තදින් බැඳී ගියේ ය. ඒ බැඳුණු සිතින් ම ආපසු සිටු මැදුරට ගිය ඔහු ඇය ලැබුණොත් ජීවත් වෙමි. නොලැබුණොත් මියැදෙමි'යි සිතා ආහාරාපාන ද වර්ජනය කොට ඇයම පතා සිටියේ ය. මව්පියන් කොතෙක් කීව ද ඔහුගේ සිත වෙනස් කළ නොහැකි විය.

අවසානයේ ඔහුගේ පියා දියණිය දෙන ලෙස කියා කහවණු දහසක් සමඟින් ඇ‌ගේ පියාට පණිවිඩයක් යැවී ය. ඔහු කියා සිටියේ මුදලට දියණිය නොදෙන බවත්, ඔවුන් සමඟ ආවොත් දියණිය ලබා දෙන බවත් ය. මේ බව ආරංචි වූ උග්ගසේන සියලු සැප සම්පත් අතහැර සර්කස් කණ්ඩායමට ගියේ ය. කර්මය විපාක දෙන අයුරු නම් පුදුම ය.

උග්ගසේනට තරුණිය ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් ඇය පුතකු බිහි කළා ය. ඇය තම දරුවා නළවන්නේ උග්ගසේනට ඇනුම් පද කියමිනි. ඒ උග්ගසේන සර්කස් කණ්ඩායමට ආවතේව කරන නිසා ය. මේ අවලාද අසා සිටින්නට බැරි ව ඔහු අවසානයේ තම මාමණ්ඩිය වෙත ගොස් සර්කස් ඉගෙන ගත්තේ ය. පසුව ඒ සර්කස් කණ්ඩායමේ අති දක්ෂයා බවට පත්විය.

මොවුහු ගම් නියම්ගම් පුරා සැරිසරමින් පෙරළා රජගහනුවරට සේන්දු වූහ. මිනිසුන් රොද බැඳ ගත්තේ ඔවුන්ගේ අපූර්ව සංදර්ශනය නැරඹීමට ය.

එදා ඒ සුන්දර දිනය උදාවිය. මේ එළ‍ඹෙන්නේ තමන්ගේ මුළු ජීවිතය ම පමණක් නො සංසාර චාරිකාව ම වෙනස් කරන දිනය බව උග්ගසේන නොදත්තේ ය. එහෙත් ඒ බව අපගේ මහා කාරුණික තථාගතයන් වහන්සේ දැන සිටියහ.

උන්වහන්සේ උදෑසන ලොව බලන විට දුටුවේ උග්ගසේනට පමණක් නොව ඔහුගේ බිරිඳටත්, සෙසු පිරිසටත් ධර්මාවබෝධයට මඟ විවිර වී ඇති බව යි. සියලු දෙනාටම අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේ සමඟ රජගහ නුවර පිඬු සිඟා වැඩි සේක.

මේ කිසිත් නොදන්නා උග්ගසේන සුපුරුදු පරිදි තම හැකියාව පෙන්වන්නට සැට රියන් උස උණ ගසකට නැඟුණි. මිනිස්සු මහත් සේ ඝෝෂා කරමින් විසිල් ගසන්නට පටන් ගත්හ. ඔල්වරසන් දෙන්නට වූහ.

ගතවූයේ නිමේෂයකි. දැඩි නිහඬ බවක් ඇතිවුණි. සිදුවුයේ කුමක්දැයි බැලූ විට උග්ගසේනට දැක ගන්නට ලැබුණේ සියලු දෙනා ම වෙනතක් බලා සිටින බවයි.

භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කර සිටිති. සියල්ලෝ ම ඒ දෙස දෑස් දල්වා බලා සිටිති. ඒ මොහො‌තේ උග්ගසේන අනේ මගේ ශිල්ප හිස් දෙයක් යැයි සිතුවේ ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැක මහා මුගලන් මහරහතන් වහන්සේ අමතා "මොග්ගල්ලාන සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්න කියා කියන්න" යැයි වදාළ සේක.

මොග්ගල්ලානයන් වහන්සේගේ වචනයෙන් උග්ගසේනට මහත් සතුටක් ඇතිවිය. ජනතාව ඔල්වරසන් දුණි. ප්‍රමෝදයට පත් උග්ගසේන උණ ගස මුදුනේ සිට අහසට පැණ දාහතර වතාවක් කරකැවෙමින් කරණම් ගසා නැවත උණ ගස මත ම තමාගේ දෙපා තැබී ය. ඒ මොහොතේ ම උග්ගසේනගේ ජීවිතය වෙනස් කරන අති උත්තම දහම් පදය ඇසෙන්නට විය.

භාග්‍ය වතුන් වහන්සේ මිහිරි හඬින් මෙසේ වදාළ සේක

අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින් ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයේ අයෙමත් මේ ඉපදෙන, දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.

උග්ගසේන උණ ගස මත සිටිය දී ම සියලු කෙලෙස් නසා මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. කොතරම් අපූර්ව ජීවිත වෙනස් කිරීමක් ද? උන්වහන්සේට නැවත සසර ගමනක් නැත. ජරාවට පත්වීමක් නැත. මරණයක් නැත. මෙයයි සැබෑවට ම ජිවිතය වෙනස් කරන ක්‍රමය. උන්වහන්සේ උණ ගසෙන් බැස භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන් සේක. ඒ මොහොතේ සියලු ගිහි වස්ත්‍රය ඉවත් වී සිවුරු පෙරවී මහ තෙර නමක් මෙන් දිස් විය. උග්ගසේන මහ රහතන් වහන්සේ බවට පත්විය. උග්ගසේන ගේ බිරිඳ ද තෙරණි ආරාමයේ පැවිදි වී අරහත්වයට පත්වූවා ය.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]