[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන ලෙසබෝධි පූජාවක් පවත්වන්නේ මෙලෙසයි

පින් වැඩෙන ලෙස බෝධි පූජාවක් පවත්වන්නේ මෙලෙසයි

පුරාණ අටුවාචාරීන් වහන්සේ බෝධිය යනු කවරේදැයි විස්තර කරමින්

“බෝධි උච්චති චතුසු මග්ගේ ඤාණං” චතුරාර්ය සත්‍ය අවබෝධය බෝධිය ලෙසින් දැක්වූහ. එහෙයින් බෝධිය යනු චතුරාර්ය සත්‍යයට නමකි. එනිසාම බෝධි පූජාව බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඥානයට, සර්වඥතා ඥානයට පූජෝපහාරයකි.

සම්පූර්ණ අවබෝධයට, දැනීමට ද බෝධිය යැයි කියති. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ බුදු වීමට පෙර බෝධිය හැඳින්වූයේ “අස්වත්ත හෙවත් ඇසතු” රුක නමිනි. බුදුපියාණෝ චතුරාර්ය සත්‍ය අවබෝධය, සර්වඥතා ඥානය, සම්පූර්ණ අවබෝධය, දැනීම ඇසතු රුක මුල ලබා ගත් බැවින් ඉන්පසු ඇසතු රුක බෝධිය විය. ජය ශ්‍රී මහා බෝධිය අප සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපන්දා ම ජනිත වූ සහජාත වස්තූන්ගෙන් එකකි.

බෝධි පූජාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. පළමුවෙන් ම බෝධියට පූජා දැක්වූවෝ බුදුරජාණන් වහන්සේ ම ය. බුද්ධත්වය ලබා සත්සති ගත කරද්දී එහි දෙවැනි සතියේ දී උන්වහන්සේ සාමාන්‍ය තැනැත්තකුට කළ නොහැකි පූජාවකින් පුරා සතියක් එනම් දින හතක් බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් අනිමිස ලෝචනයෙන් බෝධිය පිදූ සේක.

උතුම් චතුස් සත්‍යාවබෝධයට උපකාර කළා වූ බෝධියට පූජා පැවැත්වීමෙන් උන්වහන්සේ කෘතගුණ සැලකීමේ, කළගුණ සැලකීමේ උතුම් ගුණය ද ලොවට ම ආදර්ශයෙන් පෙන්වූහ.

බුදුන් වහන්සේ වැඩ විසූ සමයේ දිනෙක අග්‍ර උපස්ථායක අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරදුන් බැහැදැක කියා සිටියේ බොහෝ දිනවල සැදැහැති උවැසි උවැසිහු ගන්ධ පුෂ්ප මාලා දීන් රැගෙන බුදුරදුන් දැක වැඳ පින්සිදුකර ගැනීමට පැමිණෙති. එසේ පැමිණි කල්හි බුදුරදුන් ධර්ම චාරිකාවෙහි වැඩම කර ඇතොත් ඔවුන්ගේ පැතුම් ඉටු නොවෙති. ඒ නිසා සැදැහැති අප කෙරේ අනුකම්පා කොට බුදුරදුන් විහාරයේ නොමැති විට වන්දනා කිරීමට පූජා පැවැත්වීමට සුදුසු වස්තුවක් ලබා දෙන ලෙසට අයැද සිටි කල බුදුපියාණෝ එම ඉල්ලීම ඉවසා ගයාවේ බෝසතුන් බුදු වූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කොට පුද පූජා පවත්වන ලෙසට ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට උපදෙස් දෙනු ලැබූහ.

සෘද්ධිමතුන් අතර අගතැන්පත් අග්‍ර ශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ බෝසතුන් බුදු වී වදාළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බෝධි ඵලයක් සෘද්ධි බලයෙන් පාත්‍රයකට ගත්විට ඉන් බෝ අංකුරයක් මතුවිය. ආනන්ද හිමිගේ මුල්වීමෙන් එම බෝධි ශාඛාව ජේතවනාරාමයේ රෝපණය කෙරිණි. එහෙයින් එය ආනන්ද බෝධිය නම් වූ අතර බෝධි පූජාව සඳහා ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් යොදා ගත් පළමු අවස්ථාව විය.

කැළඹුණු සිතට - විසිරුණු මනසට බෝ සෙවණ ඖෂධයකි. සිත එකඟ කොට පවත්වා ගැනීමට ද මහත් රුකුලකි. නූතන විද්‍යාව මඟින් ද මේ බව පිළිගෙන තහවුරු කර ඇත. බෝ මුල ඝෘණ අයන සාන්ද්‍රණය වැඩි බැවින් සිත එකලස් කර ගැනීමට බෝ මුල සුදුසු තැනක් ය යන්න විද්‍යාඥයින්ගේ මතයයි. එසේම බෝධි වෘක්ෂයෙන් මීටර විස්සක් පමණ දුරට මුදාහැරෙන කිරණ ධාරාව ද මිනිස් ගත සිත පෙළෙන බොහෝ රෝග ගණනාවකට මනා ප්‍රතිකර්මයකියි ඔවුහු පවසති. එනිසා මිනිසාගේ කායික මානසික නිරෝගීතාවට ද බෝධි පූජා ඉවහල් වන බව සිහි කළ යුතු මනා ය.

පෙර කී පරිදිම නිවැරැදි බෝධි පූජාව වූ කලි උතුම් සර්වඥතා ඥානයට කරන මහඟු පූජාවක් බැවින් බෝමැඩ දී බුදු පියාණන් වහන්සේ අවබෝධ කළ උතුම් බුද්ධ ඥානයන් සිහිපත් කර පුද පූජාවන් කළ යුතු ය. නිවැරැදි පිළිවෙත වන්නේ එයයි.

බෝධි පූජාවට පළමුව සූදානම් වන සැදැහැතියා පූජාවට පළමුව ඒ සඳහා මැනවින් සූදානම් විය යුතු ය. ගත සේ ම සිත පිරිසුදු කර ගත යුතු ය. පූජාවට අවශ්‍ය කළමනා එක්රැස් කොට සකසාගෙන පන්සල වෙත යා යුතු ය. තෙල් මල් සුවඳ සේ ම පිරිසුදුවට පෙරා ගත්, පුරවාගත් පැන් කළයක් සුදු පිරුවටයකින් වසාගෙන යන්නේ නම් මැනවි. මල් මාලාවක්, පරිසරය අපිරිසුදු නොවන ලෙස සැකසූ කොඩි කිහිපයක් ද රැගෙන යා හැකි අතර ඒවා කුඩා බෞද්ධ කොඩි නම් වඩා යහපති.

බෝධි පූජාවට පළමුව බෝ මලුව ඇමද පිරිසුදු කොට පරමල් ඉවතලා මල් අසුන ශුද්ධ පවිත්‍ර කර අවට සුවඳ දුම් අල්වා පිරිසුදු කළ යුතු ය. බෝකොටුව ද යෝග්‍ය පරිදි මසකට වරක්වත් පන්සලේ නායක හිමියන්ගේ අනුශාසනා පරිදි සුදුවැලි අතුරන්නේ නම් වඩාත් සුදුසු ය. විවිධ රසායන ද්‍රව්‍ය මුසු සුවඳ ගැල්වූ දේ එක් නොකර පිරිසුදු ජලයෙන්ම බෝධියට පැන් වැඩිය යුතු ය. පහත සඳහන් කවිය කියමින් බෝධිය නාවන්න.

අනුත්තර පුරිසාදි ගුණයෙන්
පුද ලැබූ දෙව් බඹ විසින්
සුගත් මුනි සිරිපා කමල් යුග
අනඳ හිමි නැහැ වූ ලෙසින්
දොහොත් මුදුනේ තබා වඳිමින්
සුවඳ පැන් ඉස සිසිලසින්
අපිත් නාවමු අපේ සිරි මහ
බෝ රජාණන් සන්තොසින්

බෝධි පූජා පිණිස පැමිණ බෝධියේ පැවැත්මට හානිකර වූ කිසිවක් නොකිරීමට අප වග බලා ගත යුතු වෙමු. බෝධියට හානි වන සේ පහන් නොදැල්විය යුතු ය. බෝධි පූජාව අවසන් වූ පසුව ගිලන්පස භාජන ආදිය පිරිසුදු කොට තැන්පත් කර යාමට අමතක නොකළ යුතු ය.

බෝධිය ඇමැද සුවඳ දුම් අල්වා පසුව නව අරහාදී බුදු ගුණ සිහිකොට පිදීමට මල් වට්ටි 9ක් සකසා ගත යුතු ය. පූජාවට අෂ්ඨ පාන ද චතුමධුරද එක් කරගත හැකි ය. ගිලන්පස සඳහා තේ, කොත්තමල්ලි හෝ නිවසේ සැකසූ ඖෂධීය පානයක් යෝග්‍යයි.

අෂ්ඨ පාන සඳහා යොදා ගන්නේ පහත සඳහන් ද්‍රව්‍යයන් ය.

1. අමු මිදි යුෂ (මුද්දිකපාන)

2. මී පැණි (මධුපාන)

3. ඕලු ඇට (සාලුකපාන)

4. ඇටි කෙසෙල් (වෝචපාන)

5. මස් කෙසෙල් (මෝචපාන)

6. අඹ යුෂ (අම්බපාන)

7. ජම්බු (ජම්බපාන)

8. උගුරැස්ස (ඵාරුසක පාන)

මී පැණි හැර අනෙකුත් සියලු දෑ මිරිකා වතුර සමඟ මී පැණි ද එක් කොට පිළිගන්වන්න.

චතු මධුර සෑදීමට ගන්නා දේ

එළඟිතෙල්, වෙඬරු, (බටර්)

මී පැණි

වියළි මිදි

උක් හකුරු හෝ කිතුල් හකුරු මෙම සියලුම දෑ මිශ්‍රකර ගැනීමෙන් චතුමධුර සෑදේ.

සුවඳ ධූපය සෑදීමට ගන්නා දේ

ගුඟුල් / සුවඳ කොට්ටන්

විෂ්ණු ක්‍රාන්ති / සැවැන්දරා

නෙළුම් රේණු, මානෙල් රේණු

යන ඖෂධ වර්ග යොදා සුවඳ ධූපය සකසා ගත හැකි ය.

බෝධි පූජාවේ දී මුලින්ම බෝමලුව ඇමද බෝපත් අහුලා මලුව පිරිසුදු කොට අනතුරුව මල් පහන්, සුවඳ දුම්, ගිලන්පස, චතු මධුර ආදිය පුදා පූජාව පැවැත්විය යුතු ය. බෝධියට පූජා පැවැත්වීමේ දී නිසි පරිදි ඒ ඒ පූජාවන්ට නියමිත ගාථා කිව යුතු ය.

පළමුව පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කොට අනතුරුව වන්දනා ගාථා කියා චුද්දස මහා බුදුගුණ ඥාණ වන්දනාව කොට පූජා ද්‍රව්‍යයන් පූජා කරන්න.

මෙහිදී කිරි ආහාර බෝධීන් වහන්සේට පූජා කරන්නේ උදේ කාලයේ දී බෝධි පූජා පවත්වන්නේ නම් පමණක් බව මතකයේ තබා ගන්න. ඉන් පසුව බෝධි පූජා කවි හා නවග්‍රහ ශාන්තිය කියන්න. පසුව පින් අනුමෝදන් කිරීමට පෙර හෝ පින් අනුමෝදන් කිරීමෙන් පසුව කල් වේලා ඇති පරිදි පිරිත් සජ්ඣායනා කළ හැකි ය.

වේලාව ඇත්නම් තුන් සූත්‍රය ද නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයවත් කිව යුතු ය. කරණීය මෙත්ත සූත්‍රය තේරුම් ගෙන තේරුම ද මෙනෙහි කරමින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම වැදගත් වෙයි.

තුනුරුවන් ක්ෂමා කොට ප්‍රාර්ථනා ගාථාව ද කියා පසුව සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ට ද, මිය පරලොව ගිය අප ඥාති සමූහයාට ද පින් පෙත් අනුමෝදන් කළ යුතු ය. අනතුරුව කල් වේලා ඇතිනම් මෛත්‍රී භාවනාව ද කරන්න.

පැරණි පුස්කොළ පොත්වල ද සඳහන් වූ ඉතා වටිනා ගාථා රත්නයක් වන පහත සඳහන් ගාථාව 07 වරක් හෝ 21 වරක් එහි තේරුම ද මෙනෙහි කරමින් සත්‍ය ක්‍රියා කිරීම වඩාත් ප්‍රතිඵලදායක ය. එය බොදු පිළිවෙතයි.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං

බෝධි මූලයේ දී මුනීන්ද්‍රයාණන් වහන්සේ ජය ලැබූ සේක. පවිටු මාරයාට පරාජයම අත්විය. මෙය දැක දේව සමූහයා සාධුකාර දුන්හ. මේ සත්‍යානු භාවයෙන් මට ජයක්ම වේවා.

ඉහතින් දැක් වූ කරුණු හොඳින් සිතින් දරා කවි ගාථා භාවිත කරමින් පින් වැඩෙන පරිදි නිවැරදි අයුරින් බෝධි පූජා පැවැත්වීමට සියලු බෞද්ධයෝ වෙර වඩත්වා.


බෝධි වන්දනා ගාථා

යස්ස මූලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා - වන්දේතං බෝධි පාදපං

බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයෙක්හි වැඩ හිඳ සියලු කෙලෙස් සතුරන් නැසූ සේක් ද සර්වඥ භාවයට පැමිණි සේක් ද, ඒ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ මම වඳිමි.

ඉමේ ඒතේ මහා බෝධි - ලෝක නාථේන පූජිතා
අහම්පිතේ නමස්සාමි - බෝධි රාජා නමත්ථුතේ

භාග්‍යවතුන් වහන්සේ විසිනුදු අනිමිස ලෝචන පූජාවෙන් පුදන ලද ඒ බෝධීන් වහන්සේ මම වඳිමි. බෝධි රාජයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා.

ඉන්දනීල වණ්න පත්ත සේත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාභි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ සංනිභං
තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා

ඉඳුනිල් මැණිකක වර්ණයෙන් යුත් පත්‍ර ඇත්තා වු ශ්වේත (සුදු) වර්ණයෙන් යුත් කඳකින් දිලෙන්නා වූ ශාස්තෘන් වහන්සේගේ නේත්‍ර නමැති නෙළුම් මලින් පුද ලද, අග්‍ර වූ බෝධිය නම් වූ සිත්කළු වූ දිව්‍ය වෘක්ෂයක් හා සමාන වූ ඒ මහා බෝධිය පාමුල සියලු කල්හි නමස්කාර කරමි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරමු.

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
සුභමේඝ වනම්භර මේඝ නිභං - ජය බෝධි මහං පණමාමි වරං

අනුරාධපුරයෙහි මහා මේඝ වනෝද්‍යානයෙහි පිහිටුවන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව මම වඳිමි.

බෝධීන් වහන්සේට පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමේ ගාථා

මල් පුදමු

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - පුප්ඵෙනේතෙන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධිරාජයාණන් වහන්සේ මේ මලින් සාදරයෙන් පුදමි.

පහන් පිදීම

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - දීපේනේතේන සාදරං

අර්ථය - ධර්ම රාජයාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කළා වූ බෝධිරාජයාණන් වහන්සේට මේ පහන් සාදරයෙන් පුදමි.

සුවඳ දුම් පුදමු

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - ධූපේනේතෙන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධිරාජයාණන් වහන්සේට මේ ධූපය සාදරයෙන් පුදමි.

පැන් පුදමු

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - උදකේනේතේන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධිරාජයාණන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි.

බෙහෙත් පූජා කරමු

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - බේසජ්ඣෙනේතෙන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධිරාජයාණන් වහන්සේට මේ ඖෂධයන් සාදරයෙන් පුදමි.

චතුමධුර පූජාව

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - චතුමධුරේනේතෙන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කරන ලද්දා වූ බෝධිරාජයාණන් වහන්සේට මේ චතුමධුර සාදරයෙන් පුදමි.

අෂ්ඨපාන පූජා කරමු

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - අට්ඨපානේතේන සාදරං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ අෂ්ඨපාන සාදරයෙන් පුදමි.

කොඩි පූජා කරමු

සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධිරාජානං - ධජේ නේතේන සාදරං

ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධිරාජයාණන් වහන්සේට මේ කොඩිවැල් සාදරයෙන් පුදමි.

දෙවියන්ට පින්දෙමු

මේ අයුරින් බෝධි පූජාව පවත්වා ලබා ගන්නා වූ පින් බලය පළමු කොට බෝධීන් වහන්සේට අධිගෘහිත කළු බණ්ඩාර දේවාතාවුන් වහන්සේ ප්‍රධාන පළාත් භාර දෙවියෝ ද සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා’යි දෙවියන්ට පින් අනුමෝදන් කොට අපගේ සියලු අපල උපද්‍රව දුක් කම්කටොළු දුරු වේවායි ප්‍රාර්ථනා කරන්න.

එත්තාවතාච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

එත්තාවතාච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

එත්තාවතාච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

අප විසින් රැස් කරන ලද පුණ්‍ය සමුදාය සියලු සැප සාධනය පිණිස සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා.

ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සාසනං

ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු දේසනං

ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු මං පරං

අහසෙහි ද පොළවෙහි ද වූ මහා සෘධි බලැති දිව්‍ය නාගයෝ මේ පින් අනුමෝදන්ව චිරාත් කාලයක් සාසනය රකිත්වා. චිරාත් කාලයක් දේශය රකිත්වා. චිරාත් කාලයක් අපව රකිත්වා.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]