මැණිකක් සේ සිත රකින්න
මේ ලෝකය නිතර ම කැළඹෙමින් තිබෙනවා කියලයි අපට බැලූ බැල්මට ම සිතෙන්නේ. ඒ නිසාම බොහෝ
පිරිසක් මේ කැළඹෙන ලෝකය නිවැරැදි කරන්න කියලා සිතාගෙන ලෝකය හා ගැටෙන්නට යනවා.
“කැළඹෙන්නේ ලෝකය නොවෙයි තමන්ගේ ම සිත” කියලා බොහෝ අය දන්නේ නෑ. සිත රැකගැනීම
පැත්තකින් තියලා ලෝකය හදන්න යන්නේ.
කෙනෙක් බාහිර ලෝකය කැළඹෙනකොට තමන්ගේ සිත කැළඹෙන්නට නොදී සිත ආරක්ෂා කර ගන්නවා නම්
බුදුදහම එයයි අනුමත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන වැඩපිළිවෙළ නිතරම යොමු
වී තිබෙන්නේ තමන්ගේ අභ්‍යන්තරය සාදා ගැනීමට මිසක් ලෝකය සාදා ගැනීමට නෙමෙයි.
දැන් මෙහෙම හිතන්න. තරුණ ගැහැනු ළමයෙක් වැඩිපුර කෙටි ඇඳුමක් ඇඳගෙන පාරේ යනවා. මේක
දකිනවා හිත සංවර කරගෙන නැති තරුණ පිරිමි ළමයෙක්. දැන් මොකද වෙන්නේ. ඔහුගේ සිත
රාගයෙන් යට වෙනවා. ඊට පස්සේ කරන කියන දේ ඔහු වත් දන්නේ නෑ.
ඒවාගේම එය දකිනවා සිත සංවර නොකරපු වැඩිහිටි ආච්චි අම්මා කෙනෙක්. දැන් මොකද වෙන්නේ.
ද්වේශය ඇතිවෙනවා. හිත ඇතුළෙන් පුපුර පුපුර “දැන් කාලේ හැදෙන අයගේ හැටි. ඒකට අපේ
කාලේ නම් බලන්න එපැයි සංවරකම.......” කියලා බනින්න පටන් ගන්නවා. බැන්නේ නැතත් හිත
ඇතුළෙන් පුපුර පුපුර තමයි ඉන්නේ. ගෙදර ගිහිල්ලත් කියනවා ඔය විස්තරේ.
දැක්කද තමන්ගේ ප්‍රශ්නය තියාගෙන බාහිර අරමුණු සමඟ ගැටෙන හැටි. තමන්ගේ සිත සංවර කර
ගෙන හිටියා නම් මේ කිසිදෙයක් නෑ. එතකොට තේරෙනවා දැක්කොත් දැක්කා විතරයි කියලා.
සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සොරෙක් තවත් සොරකුට කරන හානියට වඩා, වෛරී පුද්ගලයෙක්
තවත් වෛරී පුද්ගලයකුට කරන හානියට වඩා, සංවර කර ගත්තේ නැති සිත විසින් කරන හානිය මහා
භයානකයි කියලා. මොකද සොරෙක් තවත් සොරකුට කරන්න පුළුවන් ලොකුම හානිය මොකක්ද? ජීවිතය
නැති කිරීමනේ. කොහොම හිටියත් අප කවදා හරි මැරෙනවා. එහෙත් සිත රැක ගත්තේ නැතිනම් මේ
ජීවිතයත් විනාශ වෙලා, මරණින් මත්තේ කෙළින් ම දුගතියේ.
අංගුත්තර නිකායේ, තික නිපාතයේ, සම්බෝධි වග්ගයේ “චිත්තරක්ඛණ සූත්‍රය” කියලා
සූත්‍රයක් තිබෙනවා.
දවසක් අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට ඇවිල්ලා භාග්‍යවතුන්
වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වෙලා ආගිය තොරතුරු එහෙම කතා කරන්න
ගත්තා. මේ ආගිය තොරතුරු කතා කිරීම ලස්සන දහම් සාකච්ඡාවක් කරමින් භාග්‍යවතුන් වහන්සේ
අනාථපිණ්ඩික සිටුතුමාට වදාරනවා.
“චිත්තේ ගහපති, අරක්ඛිතේ කායකම්මම්පි අරක්ඛිතං හෝති. වචීකම්මම්පි අරක්ඛිතං හෝති.
මනෝකම්මම්පි අරක්ඛිතං හෝති”
පින්වත් ගෘහපතිය, අපේ මේ සිත රැක ගත්තේ නැතිවුණා ම සිත මුල් වෙලා කයින් කරන
ක්‍රියාවනුත් අසංවර වෙනවා. වචනයෙන් කරන ක්‍රියාවනුත් අසංවර වෙනවා. මනසින් කරන
ක්‍රියාවනුත් අසංවර වෙනවා” කියලා.
කුමකින් ද සිත ආරක්ෂා කර ගන්න ඕනෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බාහිර තිබෙන
උපක්ලේෂ (කෙලෙස්) ආශ්‍රවයන්වලින් තමයි ප්‍රභාස්වර අපේ සිත විනාශ වෙන්නේ කියලා.
හිතන්න, කෙලෙස්වලින් තෙත් වුණ කායික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුණ වාචසික
ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුණ මානසික ක්‍රියා ඇති කෙනකුගේ කායික, වාචසික
ක්‍රියා කොයි වගේ වෙයි ද කියලා. අනිවාර්යයෙන් ම ඔහුගේ කායික ක්‍රියාවත්
අපිරිසුදුයි. වාචසික ක්‍රියාවත් අපිරිසුදුයි. මානසික ක්‍රියාවත් අපිරිසුදුයි.
තථාගතයාණන් වහන්සේ දේශනා කරනවා “කෙනකුට අපිරිසුදු කායික ක්‍රියාවන් තියනවා නම්,
අපිරිසුදු වාචසික ක්‍රියාවන් තියනවා නම්, අපිරිසුදු මානසික ක්‍රියාවන් තියනවා නම්
ඔහුගේ මරණය සුන්දර එකක් නම් වෙන්නේ නෑ” කියලා.
භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව ලස්සන උදාහරණයකින් අනේපිඬු සිටුතුමාට පැහැදිලි කරලා
දෙනවා.
ඒක හරියට මේ වගේ දෙයක් කැණිමඬලක් තියෙන ගෙයක් වැරැදි විදිහට සෙවිලි කළොත්, එහි
මුදුන ආරක්ෂා වෙන්නේ නෑ. මුදුන් යටලී ආරක්ෂා වෙන්නෙත් නෑ. බිත්ති ආරක්ෂා වෙන්නෙත්
නෑ. එතකොට මුදුනත් වැස්සට තෙමෙනවා. මුදුන් යටලීත් වැස්සට තෙමෙනවා. බිත්තිත් වැස්සට
තෙමෙනවා. එහෙම වැස්සට තෙමුණා ම මොකද වෙන්නේ මුදුනත් දිරලා යනවා. මුදුන් යටලීත්
දිරලා යනවා. බිත්තිත් දිරලා යනවා.
පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහමයි මේ සිත රැක ගත්තේ නැතිනම්. ඔහුගේ කායික
ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා, වාචසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා,
මානසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා. ඒ නිසාම ඔහුගේ කායික ක්‍රියා, වාචසික
ක්‍රියා, මානසික ක්‍රියා අපිරිසුදු වෙනවා. ඉතින් ඔහුගේ මරණය සුන්දර එකක් නම් වන්නේ
නෑ කියලා.
මරණය සුන්දර එකක් වෙන්නේ නෑ කිවුවේ මොකක්ද? අපිරිසුදු සිතින් කර්ම රැස් කර ගත් කෙනා
මරණින් පස්සේ සතර අපායට යාම ම තමයි. දැන් සතර අපායට යෑම මැරෙන විදියෙන් කියන්න
පුළුවන් ද? එහෙම කියන්න බෑ. කෙනෙක් බටර් පාන් කාලා හාන්සි පුටුවට වෙලා කකුල් දෙකත්
පද්ද පද්ද ඉන්න වේලාවක පණ ටික ගියොත් දකින කට්ටිය නම් කියනවා තමයි “බලන්න අක්කේ
වාසනාවන්ත මරණයක්, අයියා සුගතියට ම යි යන්න ඇත්තේ” “බලන්නකෝ නිදි වගේ ඉන්නේ, කොච්චර
පින්වන්ත ද” කියලා. එහෙත් හොඳට මතක තියාගන්න. මැරෙන විදියෙන් යන තැන කියන්න අපට
පුළුවන් කමක් නෑ කියලා. ඉන්න ටිකේ ප්‍රසන්න සිතින් කරපු කියපු හිතපු දේ අනුව තමයි
යන තැන තීරණය වෙන්නේ.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට දේශනා කරනවා “පින්වත් ගෘහපතිය, සිත
රැක ගත් විට කයින් කරන ක්‍රියාවන් ද රැකෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන් ද රැකෙනවා.
මනසින් කරන ක්‍රියාවන් ද රැකෙනවා. ඒ විදිහට රකින ලද කායික ක්‍රියාවන් තිබෙන, රකින
ලද වාචසික ක්‍රියාවන් තිබෙන, රකින ලද මානසික ක්‍රියාවන් තිබෙන ඔහුගේ කායික ක්‍රියා,
වාචසික ක්‍රියා, මානසික ක්‍රියා කෙලෙස්වලින් නම් තෙත් වෙන්නේ නෑ කියලා.
ඒ විදියට කෙලෙස්වලින් තෙත් වුණේ නැති ඔහුගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික
ක්‍රියා අපිරිසුදු නෑ කියනවා. ඉතින් අපිරිසුදු නොවූ කායික ක්‍රියා තියන, වාචසික
ක්‍රියා, මානසික ක්‍රියා තියන ඔහුගේ මරණය සුන්දර එකක් වෙනවා. කියලා දේශනා කරන්නට
යෙදෙනවා.
නැවතත් තථාගතයාණන් වහන්සේ ඒ කාරණාව පෙර උදාහරණයෙන් ම සිටුතුමාට මේ ආකාරයට පැහැදිලි
කරනවා.
“පින්වත් ගෘහපතිය, ඒක හරියට මේ වගේ දෙයක්. කැණිමඬලක් තියෙන ගෙයක් නිවැරැදි ව සෙවිලි
කළොත් එහි මුදුන තෙමෙන්නෙත් නෑ. මුදුන් යටලී තෙමෙන්නෙත් නෑ. බිත්ති තෙමෙන්නෙත් නෑ.
එහෙම වුණා ම මොකද වෙන්නේ මුදුනත් ආරක්ෂා වෙනවා. මුදුන් යටලීත් ආරක්ෂා වෙනවා,
බිත්තිත් ආරක්ෂා වෙනවා” කියලා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා “පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහම යි. සිත රැක
ගත්තොත් කයින් කරන ක්‍රියාවන් ද රැකෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන් ද රැකෙනවා. මනසින්
කරන ක්‍රියාවන් ද රැකෙනවා. ඉතින් කෙලෙස්වලින් තෙත් නොවුණ කායික ක්‍රියා තියෙන,
වාචසික ක්‍රියා තියෙන, මානසික ක්‍රියා තියෙන ඔහුගේ කායික ක්‍රියාවත් අපිරිසුදු නෑ.
වාචසික ක්‍රියාවත් අපිරිසුදු නෑ. මානසික ක්‍රියාවත් අපිරිසුදු නෑ. ඉතින් අපිරිසුදු
නොවූ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා තියෙන ඔහුගේ මරණය සුන්දර එකක්
වෙනවා කියලා.
- අචින්ත සමරකෝන් |