දෙව් පදවි ලබන්නට මේ විදියට
පින් දහම් කරන්න
උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ,
මොරටුවේ
ආනන්ද හිමි
ආමිෂ දානයය අභය දානය, ධර්ම දානය යැයි දානය තුන් ආකාර වෙයි. සියලු සත්වයන්ගේ පැවැත්ම
පිණිස අවශ්‍ය වන ආහාරපානාදිය මෙන් ම, වස්ත්‍ර බෙහෙත් යනාදිය කරුණා මෛත්‍රි හදින්
කෙනකුට දීම ආමිෂ දානයයි.
බුදුරදුන්ගෙන් බණ ඇසීමට එදා පැමිණි අසරණ තැනැත්තකු දුටු බුදුරදුහු පළමුව ඔහුට
ආහාරයෙන් සංග්‍රහ කළහ. දෙවැනුව බණ දහමින් සංග්‍රහ කර දහසක් නයින් ප්‍රතිමණ්ඩිත
සෝවාන් ඵලයෙහි පිහිටවූ සේක.
“ජිගච්ඡා පරමා රෝගා” බඩගින්න තරම් රෝගයක් තවත් නැත යන්න මෙහිදී උන්වහන්සේ වදාළහ. ඒ
උතුම් සම්බුදු ආදර්ශය පිළිපැදීමෙන් අපට අපගේ දෙලොව විමුක්ති සාධනයට මං විවර කර ගත
හැකි ය.
නැතිබැරි දුගී මගී යාචකයකුට පමණක් නොව අග හිඟකම් කොතෙක් වුවත් තමාගේ ගෞරවයට
ලජ්ජාවෙන් අපමණ කුසගිනි ඉවසා කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලා වේලක් හැර වේලක් හෝ යමක්
අනුභව කොට දිවි සරිකර ගන්නෝ මේ ලක් ධරණිතලයේ කොතෙක් වෙත්දැයි සිතා එවැන්නන් වෙත
හැකි අයුරින් තමන් සතු දැයින් ස්වල්ප වශයෙන් හෝ දී පිහිට සදයි නම්, එය සැබෑම බුද්ධ
පූජාවකි.
බළලෙකුට ගිරා මයින, ලේනකුට ආහාරයක් දෙයි නම් ඔබ ඒ ගැන එතරම් නොසිතුව ද ඉන්
කුසගින්නෙන් දැවෙන මෙලොව තවත් සත්වයකුගේ වේදනා සුවපත් කරයි.
හෙළ කුලසිරිත් අනුගමනයෙහි මැළිනොවී අපේ මව්වරු බත් පිසීමට හාල් කුල්ලකට ගෙන පොළා
අනතුරුව ඉන් මිටක් මිටි සහල් ලෙසින් එකතු කරන මුට්ටියකට දමති. ඒ දුගියෙක්, යාචකයෙක්
පැමිණිවිට දී පින් සිදු කර ගැනීමට යැ.
ගෙවත්තේ කොනක ගසක ලෑලි කැබැල්ලක්, පොල්කටුවක් සවිකර ඒ පොල්කටුවට අහර ටිකක් දමන්නේ
හද පිරුණු සත්ව කරුණාවෙනි. එදා ගොවියෝ කුරුල්ලන්ට කුරුලු පාළුව වෙන් කළහ. උදෑසන
ගිලන්පස වැළඳීමේ දී සීනි හැන්දක් දෙකක් කුහුඹුවන්ට කෑමට දී වටේට රැස් වී ඉන් සැනහෙන
කුහුඹුවන් දැක සතුටු සිත් ඇති කර ගත් අති ගෞරවාස්වද මඩිහේ මහ නාහිමිපාණෝ දිනපතාම
කුහුඹුවන්ට සීනි දන් දුන් පුවත මම අසා ඇත්තෙමි.
ඔබ නැති බැරි දුගියකුගේ බඩකට පුරවයි නම්, පීඩිතයකුගේ කුසගිනි නිවයි නම් ඉන් ඔවුනගේ
ජීවිතයට ආයුෂය ලැබෙයි. වර්ණය සැපය බලය ගෙන දෙයි. ප්‍රඥාව අවදි කර ගැනීමට ද ආහාරය
ඉවහල්වන අයුරු තථාගත බුදුපියාණෝ දුගී මගියාට පළමුව අහරින් සංග්‍රහකර පසුව දහමින්
සැලකූ ආකාරයෙන් මොනවට පැහැදිලි වෙයි.
දානමාන පින්කම් සිදුකර ගැනීමේ හැකියාව ඇත්තේ වත් පොහොසත්කම් ඇති අයට පමණකැයි
ඇතැම්හු වරදවා සිතති. තුන්වේල අනුභව කර ඉඳුල් පිඟාන සෝදා ඉවතලන ඉඳුල්වතුර මහ පොළොවේ
කුහුඹු පණු සත්වයනට ආහාරයක් වේවා’යි දාන චේතනාව ක්‍රියාවට නැඟිය හැකි වෙයි.
ලොව යම් සත්වයකුට යම් කෙනකුගෙන් හෝ යම් දෙයකින් බියක්, තැති ගැනීමක්, අන්තරාවක්
පැමිණි කල්හි කරුණා ,මෛත්‍රී අදහසින් එම සත්වයාට පිහිට වී බියෙන්, තැති ගැනීමෙන්,
මරණයෙන් බේරා සතාගේ බිය පහකිරීම, අභය දානයයි. කෙනකුට ඇතිවන විශාලම බිය මරණ භයයි.
ජීවිත අන්තරාව පිළිබඳ බිය නැතිකර ජීවිත අවදානමකට ලක්වූවකු ඉන් මුදවා ගැනීම ඉහළම අභය
දානයයි. තිරිසන්ගත සත්වයෝ අන් සැමට වඩා භයින් පීඩිත ය.
මෙබඳු දුකකට පීඩාවකට පත් වූ තිරිසන් සතුනට හිංසා කිරීම තාඩන, පීඩන කිරීම, උන් තව
තවත් දුකට හෙළීමකි. සංසාර ගමනේ දී දැන නොදැන කළ අකුසලයන් හේතුවෙන් තිරිසන් උපතක්
ලැබ එලෙස දුක් විඳින සත්වයනට ඇතැම්හු හිරිහැර කරති. දුක් පීඩා පමුණුවති.
ගිරා, මයින, සැළලිහිණියෝ ආකාසේ සරමින් තුරු මත හිඳිමින් නිදහසේ දිවි ගෙවති. ඇතැම්
කෙනෙක් උන් අල්ලා කූඩුවක හිරකර කෑම ටිකක් දී උන් සනසවන්නට තැත් කරති. සිය
නෑසියන්ගෙන් වෙන් කර, නිදහස අහිමි කර වනයේ තුටින් කල් ගෙවූ සතකු අපේ විනෝදය පිණිස
කූඩුවක ලා හිරකර ගෙන සිටීම මිනිස්කමට, මිනිස් බුද්ධියට නොගැළපෙයි.
පස්ගෝරසය ම දී තම ඇඟපතේ හයි හක්තියෙන් ද මිනිහාට මෙහෙකරන ගවයා මස්කඩයට දැක්කීම
කොතරම් පහත්, බාල අමන ක්‍රියාවක් ද? තමන් මනසින් උසස් යැයි කියා ගන්නා මිනිසා ම
වනයේ ගෝනුන්, මුවන් හා හාවන්, තලගොයින්ගේ දිවි උදුරාගෙන මාංශ රසයට ගිජු වෙමින්, දඩ
මසින් තම කුස පුරවා සැනසෙයි. මෙලෙස හැසිරෙන මිනිසා සැබැවින් ම මනසින් වැඩුණු උසස්
මනසකට හිමිකම් කියන්නෙක් දැයි හොඳින් පිරික්සා තහවුරු කර ගත යුතු ය.
අහසේ සරන ගිරා, මයින, සැලළිහිණියකුට වනයේ වෙසෙන ගෝනකු මුවකු හාවකුට ද අහිංසක
තලගොයෙකුට පමණක් නොව දියඇලක ඉබ්බකුට ද උසස් මනසක් ඇති මිනිහාගෙන් බේරීමක් නම්
නොමැත. මර බියෙන් හදවත ගැහි ගැහි තැතිගත් සිතින් කූඩුවල සිරවූ බෙලිකැපුම් ලබන ඌරන්,
කුකුළන්, එළුවන් ගණන සුළුපටු නොවෙයි. ගව ඝාතකාගාරවල දිනකට සිදුවන ගව සංහාරයන්
කොතෙක් වෙත් ද?
ලොකු සතා, පොඩි සතා ගොදුරු කර ගන්නා කැලෑ ස්වභාවයෙන් ද, කුරිරු ගති ඇති මිනිසාගෙන්
ද බේරී රැකෙන්නට සතා සීපාවාට සිදුව තිබෙයි. හෙළදිවැ ධර්මද්වීපයේ දිනකට සිදුවන සත්ව
සංහාර ගැන සිතා බුදුදහමේ උතුම් සදුපදේශයන්ගෙන් රටේ ජනතාව කොතරම් ඈත්ව ඇත්දැයි විමසා
බැලිය යුතුව ඇත.
සියලු ප්‍රාණීහු තම දිවියට, ප්‍රාණයට පි‍්‍රය වෙති. තමාගේ ජීවිතයට කෙනෙක් යම් සේ
පි‍්‍රය ද, ආදරයෙන් තම පණ රැක ගනී ද එලෙසින් ම අන් සැමගේ ජීවිත ආරක්ෂා කරමින්, යම්
අන්තරාවකින් නැති වන ජීවිත රැක දී ප්‍රාණ බිය දුරු කරයි නම්, ඉන් අභයදාන කුසල කර්මය
සිදු වෙයි.
කෙනකුට හොඳ නරක දැන ශීලයෙහි පිහිටා දානාදී කුසල් වැඩීමට ලෞකික පාරලෞකික උභයාර්ථ
විමුක්තියට, නිවනින් නිවීමට මඟ ධර්ම ශ්‍රවණයයි. බණ දහම් අසා එය හදෙහි දරා ඒ අනුව
පිළිපැදීම නුවණැත්තාගේ පිළිවෙතැයි.
එනිසා සියලු දානයන් අතර අග්‍ර දානය වන ධර්ම දානයෙහි උත්සුක වන්නෝ බුදු බණ දේශනා
කිරීම, දේශනා කරවීම, බණ පොත පත ලිවීම, ලියැවීම, ධර්ම පුස්තක පරිත්‍යාග කිරීම,
බුදුබණ කියාදෙන දේශකයාණන් වහන්සේට ඇප උපස්ථාන කිරීම, පිරිකර, සිව්පසය පිළිගැන්වීම
ඉෂ්ට සිද්ධ කිරීමෙන් ධර්ම දාන කුසලකර්මය පූර්ණය කර ගනිති.
ඉන්ද්‍රත දිව්‍ය පුත්‍රයා තව්තිසා දෙව් ලොව මහේශාක්‍ය දෙවිකෙනෙකි. එබඳු මහේශාක්‍ය
දිව්‍ය ශ්‍රී සම්පත්තියට මඟ පෑදුණේ සිඟා ලත් බත් හැන්දක් ශීලාදි ගුණ මහත්වයෙන් යුතු
තෙර නමකට පිදීමෙනි.
ශීලයෙන්, ගුණයෙන් යුතු උතුමකුට යමක් පිදීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන බැව් ඉන්ද්‍රක
දෙව්පුත් කථා ප්‍රවෘත්තිය අපට කියා දෙයි.
සුදත්ත හෙවත් අනේපිඬුසිටුතුමා සම්බුදු සසුනේ අග්‍ර දායකවරයා ය. සරණ වූවනට ආහාර
පානාදිය දී පිහිට වූ නිසා ම අනේපිඬු අනාථපිණ්ඩික නමින් ප්‍රචළිත විය. දිනපතා මහ සඟ
රුවනට දන්පැන් පිළිගැන්වූ මෙතුමාණෝ දාන ශාලා, සක්මන් මලු, පැන් පහසු ගෙවල්, උපස්ථාන
ශාලා ආදී සියලු විහාරාංගයන්ගෙන් යුතු ජේතවනාරාමය පනස්හතර කෝටියක ධනය වියපැහැදම් කොට
ඉදිකර, සඟ සතු කරවා අනුගාමික පුණ්‍ය නිධානයකට මඟ සලසා ගත්හ.
සම්බුදු සසුනේ අග්‍ර දායිකාව විශාඛා මහෝපාසිකාව තම අගනා මේල පළඳනාව අලෙවිකොට
විසිහත් කෝටියක කහවනු වැයකොට පූර්වාරාමය සසුනට පිදුවා ය,
දිනපතා ම මහ සඟරුවනට දන් පිළිගැන් වූ නියම්ගමේ සුජාතා සිටුදුව බුදුවීමට පළමු
කිරිපිඬු දානයෙන් බුදුරදුන් පුදා මහා පුණ්‍යස්කන්ධයක් අත්පත් කර ගත්තා ය.
බුදුරදුන්ට අවසන් දන පිදුවෝ චුන්ද කර්මාර පුත්‍රයාණෝ ය. එක ලෙස ආනිසංස සහිත මහා
පුණ්‍ය නිධානයක් මේ තුළින් මොවුහු අත්පත් කර ගත්හ.
බුදුපියාණන් වහන්සේට විළඳ මී පැණි පිළිගන්වා පළමු දානය දුන්නෝ තපස්සු භල්ලුක වෙළෙඳ
දෙබෑයෝ ය. කොසොල් මහ රජතුමා, මල්ලිකා දේවිය ද අග්‍රදායක දායිකා අනේපිඬු, විශාඛා
දායක දායිකාවෝ ද අසදෘශ මහ දානයන්ගෙන් බුදුරදුහු පිදූහ. අපමණ කුසල් උත්පාදනය කර
ගත්හ.
නිවසක් ගින්නෙන් දැවෙන විට ඉතිරි වන්නේ ඉන් පිටතට දැමූ දෑ පමණි. එලෙසින් ම අනාගතයට
ඉතිරි වන්නේ ද, මතු ප්‍රයෝජන අත්කර දෙනුයේ ද නිර්ලෝභී ව දෙන දානයයි.
ඇතුළට වැද ගෙය ඇවිළෙන ගින්නේ
පිටතට හළ බඩුමය වැඩ වන්නේ
මෙ සිතට ගෙන ලොබ නොව දන් දෙන්නේ
තමහට එම ව ද මතු පල දෙන්නේ
(ලෝවැඩ සඟරාව විදාගම මහ මෛත්‍රේය තෙර)
සුපුන් සඳෙහි සැමදා නිසලව සුදිලෙන සස ලකුණ නිහඬව කියාපාන අසිරිමත් දානයේ මහිමය සිතට
ගෙන සස ජාතක කතා වස්තුව කියා දෙන දාන කතා පුවත හදෙහි රන් දෙලෝ දියුණුව සිතැත්තෝ ඇති
හැකි හැටියට දන්දීමෙහි යෙදෙත්වා. |