[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුව කළ නොහැකි වණ දද කුෂ්ඨ රෝග අනුන්ට ඊර්ෂ්‍යා කිරීමේ විපාක ද?

සුව කළ නොහැකි වණ දද කුෂ්ඨ රෝග අනුන්ට ඊර්ෂ්‍යා කිරීමේ විපාක ද?

ඒ, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙකි. එහිදී මත්තා නම් වූ ප්‍රේතියක් මුල්කරගෙන

මේ කතා වස්තුව දේශනා කොට වදාළ සේක.

සැවැත්නුවර සැදැහැති පුරුෂයෙක් විසුවේ ය. ඔහු මත්තා නම් වූ ස්ත්‍රියක් විවාහ කර ගත්තේ ය. ඇය ශ්‍රද්ධාව නැත්තීය. පින් දහම් කිරීමට අකැමැති ය. දන් දීම ප්‍රතික්ෂේප කරන්නීය.නපුරු ගති ගුණම ඇත්තීය.

එමෙන් ම දරුවන් ද නොලද්දී ය. දරුවන් නොවුයේ නම් සිය පරපුර නැසේ යැයි ඇයගේ සැමියා බිය විය. එහෙයින් ඔහු වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ ගිවිස ගත්තේ ය.

ඇගේ නම තිස්සා ය. ඇය ගුණ යහපත් ය. ටික කලකින් දරුවකු වැදුවා ය. තිස්ස, ගැබ් ගැනීම, දරුවකු ප්‍රසූත කිරීම හා දරු සුරතල් බැලීම මත්තා නොරිස්සුවා ය. ඇයට ඊර්ෂ්‍යා කළා ය.

එහෙත් තිස්සා කාරුණිකය. දානයෙහි ලැදි ය. දිනක් ඇය තම නිවසට භික්ෂූන් වහන්සේ අට නමක් වැඩම කරවූහ. සපිරි කර සඟ ගත දක්ෂිණාවක් ද පිරි නැමීය. මත්තා එයට ද වැඩි කැමැත්තක් නොදැක්වීය.

ස්වාමිපුරුෂයා සමඟ සමීපව තිස්සා නිතරම සතුටු සාමීචියේ යෙදී සිටිනු දැකීම නොරිස්සූ මත්තා තිස්සා නම් වූ ස්ත්‍රිය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් ම පසුවිය. ගෙමිදුල අතුගාන ඇය කුණු රොඩු ගෙන තිස්සාගේ සිරුර මත දැමීය. ඇයගේ ඇඳුම් සොරකම් කළා ය. සුවඳ විලවුන් ආදිය වැසිකිළිවලට දැමී ය. නිදන ඇඳ මත කහඹිලියා දැමීය. මෙබඳු පාපී ක්‍රියාවන් ම නිතර නිතර සිදු කළා ය.

මෙසේ පව්කම් කොට මිය පරලොව ගොස් ප්‍රේත ලෝකයේ ඉපිද අනන්තවත් දුක් වින්දා ය. නිර්වස්ත්‍ර වූ මත්තා ප්‍රේතියගේ ශරීරය දුර්වර්ණ විය. සම්, මස්, ලේ, වියළී ගොස් ය. ඉල ඇට මතු වී පෙනේ. කෘශ වූ ශරීරයකි. ශරීරයෙන් අසූචි දුගඳ හමා ගියේ ය. සා පිපාසාවෙන් පෙළෙන්නීය. පෙර භවයේ සිදුකළ අකුසල කර්මයක් ඇයට එලෙස ම විපාක දී ඇත.

තිස්සා සවස් කාලයෙහි ස්නානය කරමින් සිටින අවස්ථාවක මත්තා ප්‍රේතිය තිස්සාට පෙනෙන සේ සිටියා ය.

එවිට තිස්සා ශරීරය දුර්වර්ණ වූ, නිර්වස්ත්‍ර වූ, දුකට පත් වූ ඔබ කවුරුදැයි ඇසුවා ය. එවිට මත්තා ප්‍රේතිය මෙසේ පිළිතුරු දුන්නා ය.

මීට පෙර භවයේ මම මත්තා නම් වීමි. තී තිස්සා නම් විය. අප දෙදෙනාට ම එකම පුරුෂයෙක් ම වූයේ ය. මම බොහෝ පව්කම් කොට මිය ගොස් ප්‍රේත ලෝකයෙහි ඉපදුණෙමි. අනන්ත දුක් විඳිමි'යි කීවා ය.

තිස්සා මත්තා ප්‍රේතියගෙන් ප්‍රශ්න කරන්නට විය.

එම්බා ප්‍රේත ස්ත්‍රිය, තී නග්නව සිටින්නී කුමන කර්මයක් කළෙහිදැයි ඇසී ය.

එවිට මත්තා ප්‍රේත ස්ත්‍රිය, පෙර භවයේ ඔබගේ ඇඳුම් සොරකම් කළා. ඒ සොරකම නිසා මම අද නිර්වස්ත්‍ර වීමි'යි කීවා ය. තිස්සා ප්‍රේත ස්ත්‍රියගෙන් තවත් ප්‍රශ්නයක් ඇසී ය.

ඔබගේ ශරීරයෙන් මහත් වූ දුර්ගන්ධයක් පැතිරේ. ඒ කිනම් පාප කර්මයක් නිසාද? එවිට පෙර භවයේ දී ඔබගේ සුවඳ විලවුන් මා විසින් වැසිකිළිවලට දමනු ලැබුවා. ඒ පාප කර්මය නිසා මගේ ශරීරයෙන් අශූචි දුගඳ හමනවා යැයි ප්‍රේත ස්ත්‍රිය පැවසුවා ය.

තිස්සා නැවත මෙසේ ඇසීය.

ඔබගේ ශරීරය වන කුෂ්ඨ, දද සහිතව සැරව ගලන බවක් ද පෙනේ. එසේ වීමට ඔබ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කළා ද?

පෙර භවයේ ඔබ නිදන යහනේ කහඹිලියා දැමුවේ. ඒ අකුසල කර්මය නිසා මෙසේ මගේ ශරීරය වන, දද, කුෂ්ඨවලින් පීඩා විඳිනවා'යි ඇය කීවා ය.

ප්‍රේත ස්ත්‍රිය ගැන අනුකම්පා කොට ඇයට වස්ත්‍ර දීමට සූදානම් වූවත් ඒවා තමන්ට නොලැබෙන බවත්, භික්ෂු සංඝයා වහන්සේට දන් දී වස්ත්‍ර පූජා කර ඒ පින් අනුමෝදන් කිරීමෙන් තමන්ට බොහෝ සම්පත් ලැබෙන බවත් ප්‍රේත ආත්ම භාවයෙන් මිදීමට හැකි බවත් කියා සිටියා ය.

ඒ අනුව තිස්සා තම ස්වාමියාට සියලු විස්තර කියා මහා සංඝරත්නය තම නිවසට වැඩම කරවා දන් දී පිරිකර ද පූජා කොට මත්තා ප්‍රේත ස්ත්‍රියට පින් පමුණුවන ලදී. පින් අනුමෝදන් වූ මත්තා ප්‍රේත ස්ත්‍රිය දිව බොජුන් ලැබ දිව්‍ය වස්ත්‍ර ලබා ප්‍රේත අත් බවින් මිදුණා ය.

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]