නීරෝගි වන්න ලේ ධාතුව
පිරිසුදු කර ගන්න
බෝපැත්ත, ගැටහැත්ත
ශ්‍රී සෝමානන්ද ඉංගී්රසි මාධ්‍ය මූලික පිරිවෙනේ
රාස්සගල චන්දකිත්ති හිමි
"කවුරුන් හෝ තමන්ට ක්‍රෝධ කරයි නම්, ඔහුට ද ක්‍රෝධ කිරීමෙන් තම සිත අපිරිසුදුවන
ක්ලේෂයක් ඇති වන බව නිරන්තරයෙන් සිහි තබාගෙන සිටී නම් එම අක්‍රෝධී සිත ලේ ධාතුව
පිරිසුදු කරවයි."
යො වෙ උප්පතිතං කෝධං
රථං භන්තං ව ධාරයෙ,
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො
කෙනෙක් සැණින් උපන්නා වූ කෝපය, ඉතා වේගයෙන් නොනිසි සේ දුවන රියක ගමන් වේගය වළකන්නට
සමත් රියදුරකු මෙන් මැඩ පවත්වා ගනී ද ඔහුට මම උතුම් රියදුරා යැයි කියමි. අන් ජනයා
රැහැන් අල්ලා ගන්නෝ නම් වෙත්. ඔවුහු නියම රියදුරෝ නොවෙත්. ධම්මපදය කෝධ වග්ගය
අලවි නුවර අග්ගාලව නම් වූ වෙහෙරක තනියම වෙසෙන තෙර නමක් උන් වහන්සේ ම තම සෙනසුන
තනාගනු සඳහා මනාව වැඩුණු ගසක් දැක එයින් ලී දඬු සපයා ගැනීමේ අරමුණින් එය කපන්නට
විය. ඒ වෘක්ෂය විමානය කර ගත් දෙව්දුව ඉන් මහත් සංවේගයට පත්ව උන්වහන්සේගෙන් ගස නොකපන
ලෙස ඇයැද සිටියා ය.
දෙතුන් වරක් ආයාචනා කළත් තෙරණුවෝ ගස කැපීම නොනවත්වාම කරගෙන ගියහ. දෙව්දුව කියන්නී
හිමියනි, මේ ගස කපා දැමුවොත් මට සේ ම මඟේ මේ බිළිඳාටත් යන්නට අන් තැනක් නොමැති
බැවින් ගස නොකපන ලෙස සිය බිළිඳා ද පෙන්වමින් බැගෑපත් වුව ද තෙරණුවෝ නොනවත්වාම ගස
කපන්නට විය. අවසානයේ දී ගස කපන තැන අත්තෙහි දරුවා නිදි කළ ද හිමියන් ගස කැපීම
නැවැත්වූයේ නැත.
ඔසවා ගැසූ පොරෝ පහරක වේගය නවතා ගත නොහී දරුවාගේ අතක් තුවාල විය. එයින් මහත් දුකටත්'
කෝපයටත් පත් දෙව්දුව ඒ හිමිනමට ගසන්නට ඔසවා ගත් අතැතිව ම මෙසේ සිතන්නට විය. මුන්
වහන්සේ සිල්වත් ය. දඬුවම් කොට පව් පුරවා ගැනීම දුකට හේතු වන්නේ ය. එසේ සිතා බලවත්
කෝපය මැඩගෙන බුදුරදුන් වෙත ගොස් හඬමින් එකත්පස්ව වැඳ හොත්තී ය.
දෙව් දුවණියනි, නුඹ හඬන්නේ මන්දැයි විමසද්දී සියලු පුවත් සැළකොට මා තුළ හටගත් දරුණු
කෝපය මැඩගෙන ඔබ වහන්සේ හමුවට ආවෙමි'යි කියා සිටියා ය.
හටගත් කෝපය නවතා ගැනීමේ වීර්යය පිළිබඳ දෙව්දුවට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ,
යමෙක් උපන් කෝපය වේගයෙන් දුවන රියක් මෙන් හසුරුවා ගනී ද ඔහු නියම රියදුරෙකි’යි මම
කියමි. අන් රිය එළවන ජනයා තෝන් ලණුව අල්වා ගත්තා පමණක් වන්නේ ය, යයි මේ ගාථා ධර්මය
දේශනා කොට වදාළ සේක.
“කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ
වචනාර්ථයෙන් ම ක්‍රෝධය හෙවත් කිපීමේ ආදීනව කුඩා දරුවන් පවා දනිති. එදිනෙදා අප ගෙවන
ජීවිතයේ දී අප සිත් තුළට කරුණාව මෛත්‍රිය වැනි යහගුණයන් එකතු වීමට ඇති ඉඩ ප්‍රස්ථා
ඉතාම අල්ප වුවත් ක්‍රෝධය, වෛරය වැනි අවගුණයන් එකතු වන්නේ ඉතා පහසුවෙනි.
“අක්කෝධේන ජිනේ කෝධං” - ක්‍රෝධය අක්‍රෝධයෙන් ම දිනිය යුතු ය”
කවුරුන් හෝ තමන්ට ක්‍රෝධ කරයි නම් ඔහුට පෙරලා ක්‍රෝධ කිරීමෙන් තම සිත අපිරිසුදුවන
ක්ලේෂයක් ඇති වන බව නිරන්තරයෙන් සිහි තබාගෙන සිටී නම් එම අක්‍රෝධී සිත ලේ ධාතුව
පිරිසුදු කරවයි. නීරෝගී සුවය වඩවයි. ගිහි ජීවිතය ප්‍රභාවත් කරවයි. එවන් ප්‍රභාවත්
සිතැත්තා පිනට දහමට ම නැඹුරු වෙයි.
නිතර කිපෙන බේබදු පියෙක් වේ නම් ඔහු ගෙට ගොඩවන විට අහිංසක දරුවන් හැංගෙන්නට තැන්
සොයයි. බිරිඳ ගින්නෙන් දැවෙයි. වළං පිඟන් පොළොවේ ගැසීමෙන් ආරම්භ කරන කිපීම තම
අඹුදරුවන් විනාශකර දමා තමන් ද ඒ විනාශයේ ම ගොදුරක් වන තරමට ම ක්‍රෝධය නැමැති ක්ලේෂය
බලවත් ය.
නිතර කිපෙන පුද්ගලයා අසූචි තැවරුණු සොහොන් පෙනෙල්ලකට සමාන බව බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළහ.
සොහොන් පෙනෙල්ලක් යනු මළ මිනිසුන් දවන අමු සොහොනක ශේෂ වූ ගින්දර සහිත දර කැබැල්ලකි.
එය මිනිසුන් පිළිකෙව් කරති. එහිම අසූචි ද තැවැරුණු කළ මොන තරම් නම් එය සමාජයට
පිළිකුල් වේ ද?, ඒ තරමට ම කිපෙන සුළු පුද්ගලයා ද මිනිසුන්ට අප්‍රසන්න ම වන බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
මේසා අනර්ථකාරි ක්‍රෝධය නැමැති කෙලෙස්මල තත්වාකාරයෙන් හඳුනාගත් බොදු උවසු උවැසියන්
කෝප නොගෙන ඒ අවස්ථාව උපේක්ෂාවෙන් විඳ දරා ගනී. එසේත් නැතිනම් මඟහැර යයි. සමාජයට
පි‍්‍රය වෙයි. පවුල් සංස්ථාව සතුටින් පිරී යයි. නිවසට එන තාත්තා පිළිගැනීමට දරුවන්
සේ ම බිරිඳ ද මඟ බලා හඳී. නොකිපෙන සියල්ලෝ ම අන්‍යොන්‍ය ආදරය නොමඳව ලබයි. අඹුදරුවන්
මැනැවින් පෝෂණය කරයි. ලෞකික සතුටින් පිරුණු පිරිසුදු සිත ඉබේම ආගමට දහමට නැඹුරු
වෙයි. දෙලොවම දිනයි.
ක්‍රෝධය ජය ගැනීමට ඇති හොඳම අවිය ඉවසීමයි. නැතිනම් ඒ අවස්ථාව මඟහැර යාමයි. එය
තමන්ගේ අභිමානයට කැළලක් වන බව සිතන්නෝ ප්‍රඥාවෙන් තොර අඥානයෝ ය.
දිනක් බුදුරදුන් වඩින මඟ පල් හොරුන් රැක සිටින බව උන් වහන්සේට දැන ගන්නට ලැබුණු පසු
උන්වහන්සේ එය මඟහැර වෙනත් මඟකින් පිඬු පිණිස වැඩියේ ඒ අවස්ථාව මඟහැර යාම තුළින්
සිදුවිය හැකිව තිබූ විනාශය වළක්වා ගනිමිනි.
බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරවයි. ක්‍රෝධයෙන් උමතු වූ මිනිසා ආනන්තරිය පාපකර්ම
පවා සිදුකොටගෙන කල්පයක් කල් නිරයේ පැසෙයි. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර
ගැනීම එතරම් ම අපහසු ය.
මහා අනර්ථකාරි වූ ක්‍රෝධය, නිවසට ඇතුලු වූ සර්පයකු ලෙස ද, කුසට ඇතුලු වූ වසක් සේ ද
සලකා දුරු කිරීමට උත්සාහ කළ යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සේක. |