[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රහතන් වහන්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ‍ ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරය

රහතන් වහන්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ‍

ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරය

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඇති වූ ශාසනාලෝකය ඌව වෙල්ලස්ස මෙන්ම නැඟෙනහිර පළාත වෙත දල්වාලු කේන්ද්‍රස්ථානය වන පොතුබන්ධන රාජ මහා විහාරය මොණරාගල දිස්ත්‍රික් සීමාවේ මැදගම්පත්තු කෝරළයේ මෙගොඩපත්තුවට අයත්ව, බිබිල මැදගම මහා මාර්ගයේ පොතුබන්ධන ග්‍රාමයේ පිහිටා තිබේ.

සමෘද්ධියෙන් අගතැන්පත් ඉපැරැණි රෝහණ රාජ්‍යයට අයත් සශ්‍රීක බිම් පෙදෙසක් වූ පොතුබන්ධන ග්‍රාමවරය මහින්දාගමනය සිදු වූ මුල් වකවානුවේ දී ම, දේවානම්පියතිස්ස රජතුමා විසින් රහතන් වහන්සේ හැට නමක් වැඩම කොට මෙහි බෝධින් වහන්සේ රෝපණය කරවා සර්වඥ ධාතු නිධන් කොට තිස් එක් රියන් උසැති ස්තූපය ගොඩ නැංවූ බව සඳහන් වෙයි.

කාවන්තිස්ස රජතුමා රහතන් වහන්සේ පන්සිය නමකට වැඩ සිටීමට හැකි අන්දමින් විහාරස්ථානය වැඩිදියුණු කරවා ඇත. පසුකාලීනව රහතන් වහන්සේ මෙහි වැඩ හිඳ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ හෙයින් පොත් බැඳ යන අරුත් දෙමින් පොතුබන්ධන නම් ලැබී යැයි ජනප්‍රවාදයේ කියැවේ. එසේම පදම් කළ මැටියෙන් සකස් කළ පුවරුවල ත්‍රිපිටකය ලියවා ගල් ඔරුවක බහා පොතුබන්ධන දාගැබෙහි තැන්පත් කර වූ බව ද ජනප්‍රවාදයේ සඳහන් පුවතකි.

දුටුගැමුණු රජතුමා ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ දී මෙම ප්‍රදේශය පාලනය කරමින් වෙල් ලක්ෂයක් අස්වද්දා වෙල්ලස්ස නමින් හැඳීන්විය හැකි අන්දමට සමෘද්ධිමත් කළ වකවානුවේ පොතුබන්ධන විහාරය ද සුවිශේෂී දියුණුවක් ලබා තිබුණි. සද්ධාතිස්ස රජතුමා විසින් ගොඩ නංවන ලද දීඝවාපී මහා විහාරය පුද දෙන ලද්දේ පොතුබන්ධන විහාරවාසී මහා සංඝ රත්නය වෙත ය යනු පිළිගැනීමයි.


විහාරාධිපති
මහඔයේ ජිනරතන හිමි

මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලයේ ශාසන පරිහානියක් පැවති, අවධියේ නරේන්ද්‍රසිංහ රජ අණින් විපස්සි හිමියන් ඇසුරෙහි සිටි කොකුන්නෑවේ සිල්වතුන් මහනුවරට කැඳවා පැවිදි කරවා තිබේ. වැලිවිට සරණංකර හිමියන්ගේ සිල්වත් සමාගමට වෙල්ලස්සෙන් එක් වූ පළමුවැන්නා වූයේ කොකුන්නෑවේ සිල්වතුන් වහන්සේ ය. කොකුන්නෑවේ හිමියන් සංඝකීර්ති නාමයෙන් උපසම්පදාව ලබා රජතුමා වෙතින් ඌව වෙල්ලස්ස දෙදිසාවේ සංඝනායක පදවිය ලැබූහ.

රජතුමා විසින් කොකුන්නෑවේ සංඝකීර්ති හිමියන් වෙත පිරිනැමූ ඇත් දළ විජිනිපත, විශාල තඹ සැලි සහ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් පිරිනැමූ විනය කර්ම පොත පොතුබන්ධන විහාරයේ දක්නට ලැබේ.

සංඝකීර්ති හිමියන් විසින් ස්වකීය ශිෂ්‍යවර බණ්ඩිගොඩේ සාමණේර හිමියන් නිග්‍රෝධ නමින් උපසම්පදා කරවූ අතර, තත් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර ඌව වෙල්ලස්ස, බින්තැන්න සහ නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවමින් ශාසනාලෝකය දල්වනු ලැබූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දීඝවාපී විහාරය පුද කරන ලද්දේ බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන්ට ය. බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන්ගේ ශිෂ්‍ය වූ ඌව වෙල්ලස්සේ සංඝනායක පදවිය හෙබ වූ බිබිලේ සුනන්ද හිමි දවස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් පොතුබන්ධන විහාරය, පෞරාණික අන්දමින් ත්‍රිවිධ චෛත්‍යයෙන් සම්පූර්ණව පවතින අන්දම දැක විහාරයේ බුද්ධ පූජාව පැවැත්වීමට සහ භික්ෂූන් වහන්සේගේ ප්‍රත්‍ය පහසුව පිණිස ගොඩ, මඩ, ගෙවතු, ගහකොළ ඇතුළුව පසළොස් අමුණක වපසරියක් පොතුබන්ධන සන්නස මගින් බිබිලේ සුනන්ද නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙත පුද දී තිබේ.

බිබිලේ සුනන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූ ගොඩඉරුවත්තේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය වූ නාපේ රේවත හිමියන් වෙල්ලස්සෙන් ඇති වූ 1818 නිදහස් සටන වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ.

අංගම් සටන් කලාව ප්‍රගුණ කොට සිටි නාපේ රේවත හිමියන් සිංහල තරුණයන්ට සටන් කලාව උගන්වා සටනට යවා ඇත. නාපේ හිමියන් සමඟ සුවිශාල ගිහි පැවිදි පිරිසක් නිදහස් සටන වෙනුවෙන් සක්‍රීයව සම්බන්ධ වී තිබේ.

ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත ඉංග්‍රීසීන් විසින් පොතුබන්ධන විහාරය වැටලු අවස්ථාවේ සිංහල පිරිස් සටන් කළ ද පරාජයට පත්ව නාපේ හිමියන් අත්අඩංගුවට පත් විය.

බදුල්ලේ විශේෂ අධිකරණයක නඩු අසා යාපනය සිරගෙට යවන ලද අතර පල්ලේගම හිමියන් ලෙස ඉංග්‍රීසීන් සඳහන් කොට තිබුණේ නාපේ හිමියන් බවට හඳුනාගෙන ඇත. එහිදී ද සිංහල පිරිසට උපකාර කිරීම හේතුවෙන් නාපේ හිමියන් වෙඩි තබා ඝාතනය කොට ඇත.

ඉන් පසු නාපේ බුද්ධරක්ඛිත, ටැම්ගොඩවත්තේ බුද්ධරක්ඛිත, කොහුකුඹුරේ සරණංකර, යකුන්නෑවේ පඤ්ඤාසාර, නාහංගොඩ නන්දසාර, කොටගම දේවරක්ඛිත හිමිවරුන් විහාරාධිපති පදවිය හොබවා තිබෙන අතර මල්වතු මහා විහාරයේ විශේෂ කර්මවාගාචාර්ය මහඔයේ ජිනරතන හිමියන් වර්තමානයේ විහාරාධිපති පදවිය හොබවනු ලබයි.

1818 නිදහස් සටන සාහසික ලෙස සංහාරයට පත් කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසීන් විසින් මුළුමනින් ම විනාශ කොට දමා අසංවර්ධිත සිංහලේ යනුවෙන් හඳුන්වා දෙන ලද වෙල්ලස්ස, බින්තැන්න පුරවරයට ම අනන්‍ය වූ සුවදායී දේශගුණයකින් සහ මනස්කාන්ත පරිසරයක පිහිටි පොතුබන්ධන රාජ මහා විහාරය සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]