[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

විදුලකර අභිමානය සුරකින්නට නව පිරුවන්පති ධුරයට

වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිිමි


ශ්‍රී ලංකාවේ අද්‍යතන අධ්‍යාපනික, ආගමික සහ සාමාජයීය ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් බිහි කළ මතු මත්තෙහි ද එවැන්නවුන් බිහි කිරීමේ පුණ්‍ය සම්පත්‍යයෙන් හෙබි පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්හි අභිනව පරිවේණාධිපති පදවියට කොළඹ, හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන නායක ස්ථවිරයන් වහන්සේ තෝරා පත් කර ගන්නා ලදහ.

වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවැනි දින බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ විසින් පිහිටුවන ලද විද්‍යාලංකාර පිරුවන තදනන්තරව රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමි, වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි, නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි යන සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් සේ ම සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් වූ ශාසන භාරධාරී මහා යතිවරයාණන් වහන්සේලාගේ පරිවේණාධිපතීත්වයෙන් පෙරදිග මහා තක්ෂිලාව යයි විරුදාවලි ලබමින් අග්‍රගණ්‍ය ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යයන විද්‍යාස්ථානයක් වශයෙන් කීර්තියට පත් විය. පාරුපන වාදය, න ණ ල ළ වාදය, බුද්ධ වර්ෂ වාදය වැනි ධර්ම ශාස්ත්‍රීය විවාදයන්ට සම්බන්ධ වෙමින් විද්‍යාලංකාරයට අනන්‍ය වූ ශාස්ත්‍රීය සහ ශාසනික සම්ප්‍රදායක් ගොඩනඟා ගත්තේ ය.

විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය හෙබවීමට වරම් ලද නව වැන්නා වූ වැලමිටියාවේ ඤාණරතන නායක ස්ථවිරයන් 2007 වර්ෂයේ දී පිරුවනෙහි ආචාර්ය පදවියට ද, නාවින්නේ සුගුණධම්ම හිමියන් අධ්‍යයන අංශ ප්‍රධානත්වය හොබවද්දී නියෝජ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානත්වයට ද පත්වීම් ලදහ. විද්‍යාලංකාර පිරුවන්හි පරිපාලනය හා සබැඳී විද්‍යාලංකාර සභාවේ සම ලේකම් පදවිය 2011 වර්ෂයේ ඤාණරතන හිමියන් වෙත පිරිනැමුණි.

පරිවේණාධිපති වැලමිටියාවේ නාහිමියන් සහ උප පරිවේණාධිපති නාවින්නේ නාහිමියන් ගිලන් භාවයට පත් වීමත් සමඟ සිදු කළ යුතු උපස්ථාන කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් පිරුවනෙහි පරිපාලනය පවත්වා ගනිමින් එසේම පිරුවනින් ලෝකයට ඉටු විය යුතු මෙහෙවර නොකඩ කොට සිදු කිරීමට නායකත්වය ගත්තේ ඤාණරතන නායක ස්ථවිරයන් වහන්සේ ය.

පසුගිය ඔක්තෝබර් මාසයේ ගුරුදේවයන් වහන්සේ අපවත් වීමෙන් පසු විද්‍යාලංකාර පිරුවන්හි අධ්‍යක්ෂ පදවියට සහ උපපරිවේණාධිපති පදවියට පත් ඤාණරතන නායක ස්ථවිරයන් වහන්සේ වෙත 2022 අප්‍රේල් මස 02 වැනි දින මල්වතු මහා විහාරය මඟින් සිරිතක් වශයෙන් විදුලකර උප පරිවේණාධිපති හිමියන් වෙත පුද දෙන කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය කීර්ති ශ්‍රී නාමධෙය සමග පිරිනමනු ලැබීය.

ඉන් පස් මසක් ඇවෑමෙන් නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය වැලමිටියාවේ ඤාණරතන නායක ස්ථවිරයන් වෙත සම්මත කරන ලදි.

ගීත රචනයට සමර්ථකම් දක්වා ඇති අභිනව නාහිමිපාණන් වහන්සේ අතින් ලියවී ඇති කවි සහ ගීත රාශියකි. එසේම විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුව සිවුරු දරමින් ආදි පාරිවේණික සම්ප්‍රදායට අනුව අනුශාසනා පැවැත්වීමෙහි සමර්ථභාව නාහිමිපාණන් වහන්සේ සතු වෙති. පොත්පත්වලින් කියැවීමට ලැබෙන ආදි විද්‍යාලංකාරික මහා යතීන්ද්‍රයන් වහන්සේ තුළ ඇතැයි කියැවෙන කරුණා ගුණය, ඉවසීම සේ ම නායකත්ව ලක්ෂණයන්ගෙන් ද නාහිමිපාණන් වහන්සේ සමන්විත වෙති. පාරිවේණික ශිෂ්‍ය ප්‍රජාව වෙත දාරක ස්නේහයෙන් නිසි මඟ පෙන්වා දෙති.

තුරුණු වියේ දී ම ශාසන භාරධාරී මහා යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් වගකීම් ඉසිලීමට වරම් ලද වැලමිටියාවේ ඤාණරතන නායක සථවිරයන් වහන්සේට අතීත විද්‍යාලංකාර ගුරුකුලයේ අභිමානය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සකලාභිවෘද්ධි සාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.


තුඹුල්ල නිසලවිල විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ නායක හාමුදුරුවෝ

වැලිකරේ ඤාණවංශ නා හිමිපාණන් වහන්සේ

 

තුරුණු වියේ දී ම ගිහි ජීවිතය පිළිබඳ මනා වැටහීමකින් සසරින් එතෙරවීම සඳහා උහුමීය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය මැද්දේගම අරියවංශ ගුරු දේවයාණන්ගෙන් භාවනා පුහුණුව ලැබ 1988 මාර්තු 18 දින පැවිදි දිවියට පත් වැලිකරේ ඤාණවංශ ස්වාමීන් වහන්සේ 2022-04-24 දින වන විට ජීවන ගමන් මගේ හැත්තෑවෙනි වෙනි වසරට පා තබති.

පැවිදි දිවියට පත් ඤාණවංශ ස්වාමීන් වහන්සේ මුලින්ම වැඩම කරන්නේ නිකවැරටියේ දුෂ්කර ගම්මානයක් වූ, උහුුමීය භාවනා මධ්‍යස්ථානයෙන් පසු එහි දෙවැනි ආරාමය ලෙස බිහිවූ නුගන්නෝරුව ආරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයටයි.

ඉතාම දුෂ්කර ගමක් වුවත් සරල ජීවන පැවැත්මකින් එදිනෙදා තම ජීවන කටයුතු සිදුකරගත් පිරිසකට ආධ්‍යාත්මික වශයෙන් කිසියම් සහනාදයී බලාපොරොත්තු සහගත සැනසිලිදායක බවක් ළඟා කර ගැනීමට ආරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය තුළින් හැකි විය. මේ නිසාම ගමේ බොහෝ දෙනෙක් භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නට වූ අතර ඔවුන්ගේ ජීවිතවල විශාල අඩුවක් පිරවීමට ස්වාමීන් වහන්සේගේ දේශනා විලාශය ප්‍රතිඵල දායක විය.

හරිහමන් පානීය ජල පහසුකම්වත් නොතිබුණ ද ඒ සියලු දුෂ්කරතා විඳ දරා ගනිමින් ඤාණවංශ ස්වාමීන් වහන්සේ ඉතා කෙටි කාලයක් තුළ මහත් වූ ධෛර්යයෙන් යුතුව ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු රාශියක් ඉටු කළහ. මේ සඳහා දායක කාරකාදීන්ගේ නොමද සහය ලබා ගැනීමට හැකි විය. ගිහි කළ උන් වහන්සේ තුළ තිබූ සංවිධාන හැකියාව හා මනා කළමනාකාරීත්වයත්, අධ්‍යාපනික පසුබිමත් මේ සඳහා බෙහෙවින් උපකාරී විය.

1989 ජූලි මස 13 වැනි දින අලව්ව මා ඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය බටුවිට නන්දාරම නායක මා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් නාරම්පොල ශ්‍රී විශුද්ධාරාමාධිපති පූජ්‍ය පණ්ඩිත මැද්දේගම චන්ද්‍රජෝති මහා ස්වාමීපාදයාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට ඇතුළත් විය.

උප සම්පදාවට පත්ව පළමු වස ගත කිරීම සඳහා කුඹුක්වැව නුගන්නෝරුව අරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කර කෙටි කලක් තුළ දාන ශාලාවක් ඉදි කිරීම, බෝධි ප්‍රාකාරය බැඳීම, ධර්ම ශාලාව ඉදිකිරීම, භික්‍ෂු කුටි 5ක් ඉදිකිරීම, භික්‍ෂුන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීම, භාවනා පෙදෙස වෙන් කිරීම සඳහා තොරණ සහිත තාප්පය ඉදිකිරීම, කැඩපත් සහිත බුදු මැදුර ඉදිකිරීම, පැන් පහසුව සඳහා ළිඳ බැඳීම, සක්මන් භාවනා සඳහා පටු මාවත් ඉදිකිරීම, ගිහි පින්වතුන් හා නේවාසික භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා වැසිකිලි ඉදිකිරීම, ඤාණවංශ ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන්, අනුශාසකත්වයෙන් හා දායකත්වයෙන් සිදු කරන ලදී.

ඤාණවංශ ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවාවන් අතර ඉතා වැදගත්ම සිදුවීමක් වන්නේ 1998 ඇසළ මස එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජේ.එම්.එස්. ජයසුන්දර මහතා සහ දායක භවතුන් කීප දෙනකුගේ ආරාධනයෙන් තුඔුල්ල නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමයි, නිකවැරටිය පුත්තලම මහා මාර්ගයේ තුඹුල්ල වැවට යාබදව වළිකුකුළන් ගැවසෙන ළඳු කැළෑ සහිත භූමියක්ව තිබූ මෙම බිම් කඩ අද වන විට ඉතා රමණීය යෝගාවචර භික්‍ෂූන්ට හා උවසු උවැසියන්ගේ මන නිවන අපූරු සෙනසුනක් බවට පත්කර ඇත.

උන් වහන්සේ විසින් ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහ ගණනාවක් පළකර ඇත.

කම්මට්ඨානාචාර්ය පූජ්‍ය වැලිකරේ ඤාණවංශ ස්වාමීන් වහන්සේ මේ වන විට තුඔුල්ල නිසල විල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වෙසෙමින් කන්දේගෙදර ශෛලකූටාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය, නුගන්නෝරුව ආරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය , මඩවලතැන්ත ආරියවංශාරාම සීල භාවනා මධ්‍යස්ථානය, අමුණු කොලේ අභිනවාරාමය යන සෙනසුන්වලට නායකත්වය ලබා දෙමින් සිදු කරන ශාසනික මෙහෙවර තව තවත් පුළුල් ලෙස කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා දළදා සමිඳු රැකවරණින් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා !

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]