දුටුගැමුණු මහ රජතුමා - 63 කොටස: යුද්ධයක් ජය ගන්නට
හොඳ සැලසුමක් ඕනෑ
“දීඝාභය කුමාරයා අපට ද්‍රෝහිවීම විශාල පාඩුවක්. ඔහු උතුරට පැන ගියේ සියලු ආරක්ෂක
කඳවුරු සොළී හේවායන්ට පවරා දෙමින්. උන් තව තවත් දකුණට නොඑන්නේ දාව ආචාර්යතුමාගේ
ආරක්ෂා සංවිධානය නිසා.”
උත්තර මහා ඇමති තුමාගේ පිළිතුර රජුගේ සතුට පිණිස හේතු වූයේ දාව ආචාර්යතුමාගේ
ශක්තියත්, මෙහෙයත් පිළිබඳ ඔහුට මනා අවබෝධයක් ඇති බව පෙනී ගිය බැවිනි.
“සේරු රජුත්, සෝම රජුත් නිශ්ශබ්දව සිටීම තේරුම් ගන්නට අමාරුයි රජතුමනි, “
“මට එය තේරුම් ගන්නට පුළුවන්. ගිරි අබා, ගිරි රාජ්‍ය අරාජික කොට සේරු නුවරට ගියේ
මාගම රාජ්‍ය මගේ පාලනයට නතු වන විට මා යටතේ ඉන්නට අකැමැති නිසා. ඔහු බොරු තර්කයක්
ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය ඉඩ හදා ගත්තා. ඒ දෙදෙනා ගැන අපට එතරම් ප්‍රශ්නයක් නැහැ.
මුළු රටම එක්සේසත් කරන විට ඒ අයත් අප සමග සිටීවි. නැත්නම් පාලනය අපට භාර දී ඔවුනට
ඉවත් වන්නට සිදු වේවි.”
අපට කිසිවකුගේ උපකාරයක් නොලැබුණත් රජරට ජය ගන්නට ශක්තිමත් බල හමුදාවක් සිටිනවා.
ගිරි රාජ්‍යයේ සේනාංකයත් එකතු වූ විට එළාර රජුගේ සේනාංකවලට පහර දීමට අපට පහසුයි. “
නන්දිමිත්‍ර එසේ පැවසුවේ යුද්ධය තවත් ප්‍රමාද කිරීමට හේතුවක් නැති බව හඟවන්නට ය.
සැවොම ඒ අදහස අනුමත කළහ.
“මට හිතා ගන්නට බැරි කරුණ දීඝාභය අපේ ආරක්ෂක සංවිධාන අත්හැර එළාර රජු සමග එකතු වූයේ
ඇයිද කියන එකයි. ඔහු මගේ ඇතැම් තීරණවලට විරුද්ධ වූ බව ඇත්ත. නමුත් ඔහු පිය
රජතුමාටත්, මව් බිසොවුන් වහන්සේටත් විරුද්ධ වුයේ ඇයි ? දීඝාභය අයියණ්ඩියගේ ගමන
තිස්සට නවතා ගන්නට බැරි වුණේ ඇයි ?”
“එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. “ මිත්‍ර මහා සෙනෙවි විසින් විශාල ධනයක් වැය කරමින්
මෙහි එවූ ඉතා දක්ෂ චරපුරුෂයෙක්, අපේ සෙනෙවිවරු දෙතුන් දෙනෙක් මුදලින් යට කරගෙන.
ඔවුන් ලවා දීඝාභය කුමාරයාට කියවන ලද කේලාම්වල ප්‍රතිඵලයක් ඒක. මහාසිව මාහිමිපාණන්
වහන්සේ දැන් එම චර පුරුෂයා තමන් යටතට පවරාගෙන. “
මහනෙලගෙන් මට තවත් තොරතුරු රාශියක් දැන ගන්නට ලැබුණා. “අපේ බලකොටු තිස් අටක් එළාර
රජු යටතට පවරන්නට තරම් ඔහු මුලා කළ එම චර පුරුෂයා මෙහි තවදුරටත් රැඳී සිටියා නම්
මිට වඩා විනාශයක් වන්නට තිබුණා. “
“එසේය මහ රජතුමනි, ඒ කුමක් වුවත් අපට දැන් සටන් දෙකක් කරන්නට සිදුව තිබෙනවා. මහවැලි
ගඟ දකුණු ඉවුරේ සිටින දෙමලුන් පරාජය කිරීම, සහ එම බලකොටු ජයගෙන එතැන් සිට
අනුරාධපුරය තෙක් ඇති දෙමළ බලකොටු කඳවුරු බිඳීමින් ඉදිරියට යෑම.”
“එය අපට කරන්න පුළුවන් සෙනෙවිවරුනි, අපේ වේළුසුමන, නන්දිමිත්‍ර වගේ කැපවීමෙන් වැඩ
කරන පිරිසක් එකතු වුණාම හොඳටම ඇති. අපේ යුද සෙබළුන්ගේ සංඛ්‍යාව පනස් දහසක්
ඉක්මවනවා. යුද්ධය ගමන් ඇරඹුවාම එම සංඛ්‍යාව දහදොළොස් ගුණයකින් වැඩි වේවි.”
“ ඒ සියලු සෙබළුන්ට අවුරුද්දකට ආහාරපාන කොත්මලේ ආහාර ගබඩාවලින් සපයන බව රන්මැණිකා
අක්කා කියනවා”. යි කියමින් සභා ශාලාවට පැමිණියේ සමන්තා කුමරියයි.
ඇය තමන් අතින්ම ගෙනා මී පැණි බඳුනක් දුටුගැමුණු රජතුමා වෙත පිළිගැන්වූවා ය.
සේවිකාවන් විසින් ගෙනා තල කැරලි සහ මී පැණි බඳුන් සියලු දෙනා වෙත පිළිගැන්වූවා ය.
යුද්ධයකින් ජය ගන්නට පිරිස් බලය වගේම අවි ආයුධ ඕනේ. ඒ සියල්ලට ම වඩා හොඳ
සංවිධානයක්, ආත්ම විශ්වාසයක්, හොඳ අවධානයක් තියෙන්නට ඕනෑ. ස්ථානෝචිත ප්‍රඥාවත්
යුද්ධ උපායන් පිළිබඳ නුවණත් ඇති විට දස දහසක සේනාංකයක් වුවත් පරාජය කරන්නට පුළුවන්.
අපේ සේනාංකවල පෙරමුණේ ම යන මහා සංඝ රත්නයත්, මෑණියන් වහන්සේත් අපට ලොකු ආශිර්වාදයක්
වේවි. “
සාකච්ඡාව අවසන් නොවීය. මාලිගාවේ විචිත්‍රාගාරයෙහි කිසියම් කටයුත්තක යෙදෙමින් සිට
පැමිණි චුලතිස්ස ඇමතිතුමා දුටුගැමුණු මහරජු වෙත පැමිණියේ ය.
“මහරජතුමනි, තිස්ස යුව රජතුමා පැමිණ සිටිනවා. විහාරමහාදේවි මව් බිසොවුන් වහන්සේ
සමග. මෙහි එන්නට අවසර ලැබෙන තුරු බලා සිටිනවා. “
- අයන්ති විතාන |