[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුලභේදයක් නැති ලොව එකම රට බුරුමයේ බොදු අසිරිය

කුලභේදයක් නැති ලොව එකම රට: බුරුමයේ බොදු අසිරිය

බුරුමයට ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 04 දා ය. ඒ වන විට බුරුමයේ බුදු සසුන බොහෝ පිරිහීම්වලට ලක් වී තිබුණි. නිදහසින් පසු ප්‍රථම රාජ්‍ය නායකයා වූ ඌනු (උ දභ) නම් අගමැතිවරයා බුදු සසුන නඟා සිටුවීමට විශාල මෙහෙවරක් සිදු කළේ ය. ක්‍රි. ව. 1950 දී ලංකාවෙන් ධාතූන් වහන්සේ වැඩම කරවා ප්‍රදර්ශනය කොට ජනතාව අතර බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරවන ලදී.

සගායන් නුවර සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඡට්ඨ සංගායනා ශාලාව

කල්‍යාණි සීමාව

අනතුරුව ක්‍රි. ව. 1956 දී 2500 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් භික්ෂූන් 24000ක් පමණ සහභාගි කරවා ඡට්ඨ සංගායනාව පවත්වා ඇත. ඊට ලාංකීය භික්ෂූන් වහන්සේ ද සහභාගී වී ඇත. මෙම සංගායනාවට මූලාශ්‍රය වූයේ ඉහත සඳහන් කළ කිරිගරුඬ පුවරුවල ලියා තිබූ ත්‍රිපිටක ධර්මය යි. වර්තමානයේ දී ද රාජ්‍ය ව්‍යවස්ථාපිත බුද්ධ ශාසන කවුන්සිලය මගින් බුරුම බුදු සමයේ දියුණුව සඳහා පියවර ගනු ලැබේ. අදටත් බුරුමයේ රාජ්‍ය ආගම නිර්මල ථේරවාදී බුදු සමය යි.

රැකියාවට විශේෂ සුදුසුකමක්

මළවුන් අදහමින්, ස්වභාවික වස්තු වන්දනයේ යෙදෙමින්, මිත්‍යා පිළිවෙත් ගරු කළ බුරුම වැසියන් ශීලාචාර, ශිෂ්ට සම්පන්න පිරිසක් බවට පත්වන්නේ බුදු සමයේ ආභාෂයෙනි. බුදු දහම නිසා කුල භේදය තුරන් විය. ලෝකයේ කුල භේදයක් නොමැති එකම රට බුරුමය ලෙස සැලකේ. බුරුමයේ තාවකාලික පැවිද්ද ඉතා ජනප්‍රිය වී ඇති අතර රජකම සඳහාත්, රැකියා සඳහාත් එය විශේෂ සුදුසුකමකි. විවාහයේ දී ද එය ප්‍රමුඛ සුදුසුකමකි.

එරට ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් වී ඇත්තේ පන්සලයි. සෑම අයෙක්ම පාලි භාෂාව හදාරන අතර බොහෝ බුරුම වැසියන් අභිධර්ම විශාරදයන් ය. පොහොය දිනය ආගමික දිනයක් ලෙස සලකන අතර, එම දිනය පුද පූජා උත්සව, වන්දනා චාරිකා, ප්‍රතිපත්ති පූජා යනාදිය සිදු කිරීමට යොදා ගනියි. මොවුන් බුදු සමය සලකන්නේ තම ජීව ප්‍රාණය ලෙසයි.

ආත්ම විශ්වාසය

ප්‍රාග් බෞද්ධ බුරුම වැසියන් අසීමිත දේව බලය පිළිබඳ විශ්වාස කළ අතර බුදු සමයේ ආභාෂයෙන් එම අදෘෂ්‍යමාන විශ්වාස දුරු වී ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කිරීමට හුරුපුරුදු වූ හ. පෙර මළවුන් ඇදහූ මොවුහු බෞද්ධ දර්ශනයට අනුව ඒවා විධිමත් ලෙස සිදු කිරීමට පුරුදු වූහ. එය මණ්ඩලේ නුවර ඇති සොහොන් බිම්වලින් පැහැදිලි වේ. බොහෝ පෙරදිග රටවල මෙන් බුරුමයේ සෑම පන්සලක් ම පාසලකි. එහි දී ගණිතය, කියැවීම, ලිවීම ආදී මූලික විෂයයන් මෙන්ම පාලි භාෂා දැනුම ද ලබා දෙයි. එරට පාලි විශ්වවිද්‍යාලයක් ඇති කිරීමෙන්ම බෞද්ධ අධ්‍යාපනයට ලබා දී ඇති වටිනාකම පැහැදිලි වේ. එරට මුළු ත්‍රිපිටකය ම බුරුම භාෂාවෙන් ලියැ වී තිබීම ද විශේෂත්වයකි. කාන්තාවට ගෞරවයෙන් සලකන අතර, මාතෘ මූලික සමාජයක් එරට දැකිය හැකි ය.

ජීවිතයට ගෞරවයක්

බුරුම වැසියන් 100% ක් ම වාගේ බෞද්ධයන් වන අතර, ඔවුහු කෙටි කාලයකට හෝ පැවිදි බව ලැබීමට උනන්දු වෙති. ඒ අනුව පැවිද්දේ ප්‍රභේද දෙකක් දැකිය හැකි ය. එනම්,

තාවකාලික පැවිද්ද හා යාවජීව පැවිද්ද යි

සෑම අයකු ම ජීවිතයේ එක් වතාවක් හෝ පැවිදි භාවයට පත් වේ. පැවිදි වී උපැවිදි වීම ද එරට ගෞරවණීය කටයුත්තකි. බුරුම ජනයා භාවනාවට දැඩි ඇල්මක් දක්වයි. ගිහි ජනතාව භික්ෂූන්ගේ විනය පිළිබඳ නිරන්තර සැලකිල්ලෙන් පසුවෙති. එනිසාම භික්ෂූන් වහන්සේ ද තම ගෞරවය පිළිබඳ විශේෂයෙන් උනන්දු වේ. කඨින උත්සව හා වෙසක් උත්සව ඉතා උත්කර්ෂවත් ව සමරන අතර, ඊට අමතරව බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කොට නැවත වැඩමවන අවස්ථාව සිහිකරන උත්සවයක් ද බුරුම ජනයා පවත්වයි. එමඟින් ධාර්මික විනෝදාස්වාදයක් ලැබීමට ඔවුන් අවස්ථාව ඇති කර ගනියි.

දහස් ගණනින් වෙහෙර වහන්සේ

බුරුම සංස්කෘතියේ කලා ශිල්ප අතර විශේෂිත ස්ථානයක් ස්තූපයට හිමි වේ. සෑම බුරුම වැසියෙක්ම යම් දිනක ස්තූපයක් ඉදිකිරීමේ අරමුණින් කටයුතු කරයි. පගාන් නුවර පමණක් ස්තූප 5000ක් පමණ ඉදිකර ඇත. මුළු බුරුමය පුරාම මෙබදු ස්තූප දහස් ගණනින් දැකිය හැකි ය. මේ හේතුවෙන් ම විදේශිකයන් ස්තූප දිවයින (Pagodaland) පැගෝඩා ලන්තය) යනුවෙන් බුරුමය හඳුන්වයි.

ඔවුහු ස්තූපවල හා බුදු පිළිමවල රන් ආලේප කිරීමට ද උනන්දු වෙති. එහෙයින් රන් පැහැයෙන් බබළන ස්තූප හා බුදු පිළිම මියන්මාරය පුරා දැකිය හැකි ය. එරට චිත්‍ර හා මූර්ති නිර්මාණයන්ට වස්තු විෂයය වී ඇත්තේ ද ජාතක කතා හා බුද්ධ චරිතයේ එන සිදුවීම් ය. මේ අනුව එරට සාමාජීය හා සංස්කෘතික යන සියලු අංගයන් හි බෞද්ධ ආභාෂය දැකිය හැකි ය.

සුහදත්වය

* අනවරථ (අනුරුද්ධ) රජතුමා පළමු වැනි විජයබාහු රජ දවස ත්‍රිපිටක පොත් හා දළදා ආකෘතියක් බුරුමයට ලක්දිවින් ගෙන්වා ගැනීම.

* පළමුවන විජයබාහු රජතුමා බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් වැඩම කරවා ගෙන ලක්දිව ශාසන සංශෝධනයක් සිදුකිරීම.

* ලක්දිව මහා පරාක්‍රමබාහු රජ දවස උත්තරාජීව හා ඡප්පට හිමිවරුන් ලක්දිවට පැමිණ ධර්මය හා විනය හදාරා නැවත සිංහල භික්ෂු පිරිසක් ද සමඟ බුරුමයට වැඩමකොට සීහළසංඝ නිකාය ආරම්භ කිරීම.

* 15 වන සියවසේ දී ධම්මචේතිය රජ දවස මොග්ගල්ලාන හිමියන් සමඟ එකොළොස්නමක් ද, සීවලී හිමියන් සමඟ තවත් එකොළොස් නමක් ද ලක්දිවට පැමිණ උපසම්පදාව ලබා නැවත බුරුමයට ගොස් එරට උපසම්පදාව පිහිටුවීම.

* පොලොන්නරු යුගයේ දී ලක්දිව රම්බා විහාරයේ වැඩසිටි උගත් භික්ෂුවක් පාලි භාෂාවෙන් මානාවුලු නම් සන්දේශයක් රචනා කොට බුරුමයේ අරිමද්දන නුවර භික්ෂූන් වෙත යැවීම.

* බුරුමයේ අමරපුරයෙන් උපසම්පදාව ලබා ගත් අඹගහපිටියේ ඤාාණවිමල හිමියන් ක්‍රි.ව. 1802 දී අමරපුර නිකාය ආරම්භ කිරීම.

* බුරුමයේ රාමඤ්ඤ දේශයට ගොස් උපසම්පදාව ලැබූ කතළුවේ ගුණරතන හිමියන් ක්‍රි.ව. 1807 දී රාමඤ්ඤ නිකාය ඇති කිරීම.

ඉහත අවස්ථාවන්ගෙන් පසු ධම්මරක්‍ඛිත නිකාය, ස්වේජින් නිකාය වැනි නිකායන් බොහොමයක් ආරම්භ වීමටත් බුරුමයේ සබඳතා බලපා ඇත.

මේ ආදී ශාසනික සම්බන්ධතා රාශියක් බුරුමය හා ලංකාව අතර පැවත ඇති අතර, එදා සිට අද දක්වාම මියන්මාරය හා ශ්‍රී ලංකාව බුදුසමයේ බැඳීමෙන් ශක්තිමත් වූ ථේරවාදී රටවල් දෙකක් ලෙස ක්‍රියා කරනු දැකිය හැකි ය

මෙම ලිපියේ මුල් කොටස බක්පුර පසළොස්වක පෝදා (16) පත්‍රයේ පළවිය.

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]