[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරදුණ තැන දුටු තැනම නිවැරැදි වන්න

වැරදුණ තැන දුටු තැනම නිවැරැදි වන්න

ජාති, කුල භේද, ආගම, දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, අල්පේශාක්‍ය, මහේශාක්‍ය ආදී කිසිම භේදයක් නොබලා පුද්ගලයකුට කිසිදු අසාධාරණයක් නොකරන දෙයක් තිබෙනවා. ඒ තමා කර්ම විපාක ය. කිසිදු තරාතිරමක් නොසොයා, නොබලා සියලු සත්වයන්ට සර්ව සාධාරණය ඉටු කරන්නේ කර්මය විසින්. ඒ කර්මය අයථා ක්‍රම මඟින් හෝ, පින්සෙන්ඩු වී හෝ මිත්‍රකම මත හෝ වෙනස් කළ නොහැකි දෙයක්.

“කම්ම විපාකෝ අචින්තියෝ” කර්මය විපාක දෙන ආකාරය කිසිවකුට සිතිය නොහැකි බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. උන්වහන්සේ වදාළේ කන්දක ගුහාවක සිටියත්, මුහුද මැද සිටියත්, අහසේ සිටියත්, කොතැන කෙසේ සැඟවුණත් කර්මයෙන් ගැලවෙන්න බැහැ කියලයි. එනිසාම යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ඉදින් ඔබ දුකට බිය නම්, දුකට අකැමැති නම්, එළිපිට හෝ රහසේ හෝ පව් නම් කරන්න එපා” යනුවෙනුයි.

අප රහසේ ම පව් කරලා ලෝකයට රහසක් ලෙස වසාගෙන සිටියත් ඒ සියල්ල කර්මයට විවෘත යි. කර්මයට රහස් නැහැ. කර්මයට රහසේ කිසිදු දෙයක් හිතන්න, කියන්න, කරන්න බැහැ. එනිසා අපගේ ශාස්තෘ ධර්මයට ම යි කැමැති වෙන්න ඕනෑ. පාප කර්මයට අකැමැති වෙන්න ඕනෑ.

දුවන්නන් වාලේ දුවන සමාජයක, අසන්නන් වාලේ අසන සමාජයක, කියන්නන් වාලේ කියවන සමාජයක, කරන්නන් වාලේ කරන සමාජයකයි අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. ඒ අතරේ සත්පුරුෂ ආශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණය තුළින් යෝනිසෝ මකසිකාරය මෙහෙයවා අපට නැඟී සිටින්නට හැකි වුණොත් සැබෑ දක්ෂයෙක් වෙන්න පුළුවන්. අපව රැක ගන්නේ අප තුළ පවතින ධර්මය ම යි. අධර්මය නොවේ.

මෙතෙක් ආ මේ සසරේ දී අපට ධර්මය බබළන යුග මුණ ගැසෙන්න ඇති. ධර්මය ලෝකයට විවර වී තිබෙද්දී අපි අධර්මය වැළඳගෙන සිටින්න ඇති. කෙලෙස් වසඟයේ ගිලී සිටින්නට ඇති. ධර්ම මාර්ගය පෙනි පෙනී අධර්ම මාර්ගයේ යන්න ඇති. එනිසා තවමත් අපි සසරේ යනවා. සසර පුරාම අපට වැරැදුණ බව අප තේරුම් ගන්න ඕන. සසරේ දී බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැසෙන්න ඇති. අවිද්‍යා අන්ධකාරය දුරු කරන විද්‍යාව පහළ කරන ධර්මය ඇසෙන්න ඇති.

එහෙම නම් කොතැන ද අපට වැරදුණේ. අප රාග, ද්වේෂ, මෝහයන්ට අද වගේ ම එදත් යටවෙලා හිටියා. හැමදේ ම කළා. ධර්මය අතහැරියා. කෙලෙස්වලට හැඟීම්වලට ඉඩ දීලා අපි බලාගෙන හිටියා. හිත කියන කියන දේ කළා. වේගයෙන් ධර්මය අතහැරිය නිසා තවමත් සසරේ.

ඒනිසා කරන, කියන, හිතන හැම දේ තුළින්ම භවය පිණිස අපට යම් කර්මයක් රැස් වෙනවා. මහා මුනිවරු ඉතාමත් දීර්ඝ කාලයකට පසු ලෝකයට පහළවෙලා ඒ කර්මයෙන් ගැලවෙන ආකාරය අපට කියා දෙනවා. මේ ජීවිතයේ, මේ මොහොතේත් අපට ඒ උතුම් ධර්මය ඇසෙනවා. අප කළ යුතු ඒ මඟ යන්නට සිත අවදිකර ගැනීමයි.

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]