[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාරිය කෙරෙන තුරු ම ය රැවටීම

කාරිය කෙරෙන තුරු ම ය රැවටීම

" හොඳ පුද්ගලයෙක් යැයි සිතන පුද්ගලයා නරකම පුද්ගලයෙක් විය හැකියි. නරක පුද්ගලයෙක් යැයි සිතන පුද්ගලයා හොඳ පුද්ගලයෙක් විය හැකියි. දීර්ඝ කාලයක් ඇසුරු කළත් මිනිසුන්ගේ ගුණ හෝ, ඔවුන්ගේ අදහස් හෝ, සිතිවිලි හෝ හඳුනා ගැනීමට නො හැකියි. එය අවබෝධ කරගෙන සමාජයේ ජීවත්විය යුතු වෙනවා."

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ සැවැත් නුවර ප්‍රසිද්ධ සිටු ගෙයක වාසය කළා වේදේහිකා කියලා සිටු දියණියක්. වස්තු සම්පත්වලින් පූර්ණයි. රූපයෙන් ද අගතැන්පත්. මිහිරි වචනමයි කතා කරන්නේ.

අසල්වැසියන්ට, ඥාතීන්ට, හිතවතුන්ට සහ සමාජයේ මහජනයාට දක්වන්නේ අසීමිත කරුණාවක්. මේ නිසාම ඇයගේ ගුණ ගායනා කරන්න පටන් ගත්තා හැම දෙනාම. සිටු දියණියගේ මන්දිරයේ ඇය වෙනුවෙන් එක් සේවිකාවක් සිටියා. ඇයගේ නම කාළී. ඇය මුළු දවසම වැඩ කළා.

ඇය හරිම බුද්ධිමත්. ඉතින් දවසක් ඇයට ඕන වුණා වේදේහිකා සිටු දියණියගේ කරුණා ගුණය, ශාන්ත බව ඇතුළු මිනිසුන් පවසන ගුණ සත්‍ය වශයෙන් ම ඇය තුළ පිහිටා තිබෙනවාද සොයා බලන්න.

දවසක් ඇය උපක්‍රමයක් යොදමින් මේ සිටු දියණියගේ ගුණ හැමෝම කියනවා. ශාන්ත ගුණයෙන් යුක්තලු. ඉවසීම් ඇත්තේලු. අනුන්ගේ දුකේ දී පිහිට වන්නේලු. කිසිදු දොසක් හෝ පරොස් වචනයක් හෝ නො කියන්නේලු. ඇයට ඒ ගුණ ඇත්තට ම පිහිටා තිබෙනවා නම් හොඳයි. ඒත් එය තහවුරු කර ගන්න ක්‍රමයක් නෑ. මිනිසුන් බාහිර ස්වරූපයෙන් ඇයගේ ගුණ අවබෝධ කරගෙන ඉන්නේ. ඇයගේ ගුණමයි පවසන්නේ. ඇය තරම් හොඳ ස්ත්‍රියක් මෙ පෙදෙසෙහි ම නැතැයි කියනවා. ඒ නිසා එය පරීක්ෂා කර බලන්න ඕන”යැයි කල්පනා කළා.

සේවිකාව පාන්දරින් ම අවදි වී සිටුමැදුර පිරිසුදු කරනවා. ආහාර පාන සකස් කරනවා. ජනෙල් දොරපියන් ආදිය විවෘත කර තබනවා. අපිරිසුදු රෙදි සෝදා වේලා තබනවා. මිදුල පිරිසුදු කරනවා. මල්වලට වතුර දමා ඒවා නඩත්තු කරනවා. දහසකුත් වැඩ පාන්දර සිට නින්දට යන තෙක්ම කරනවා. කිසිම අඩුවක් වීමට හෝ අමතකවීමකට හෝ ඉඩ තබන්නේ නෑ. සිටු දියණියගේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ වුණා.

දවසක් සේවිකාව වෙනදා අවදි වන වේලාව පසු කර නිදා ගත්තා. සිටුදියණිය ඇයගේ ප්‍රමාදය දැක ඇය වෙත ගොස්

“මොකද බොල, මෙපමණ වේලා නිදා ගත්තේ”

යැයි විමසා සිටියා. සේවිකාව යටහත්පහත්ව

“සිටුදියණියනි, කිසිදු අපහසුතාවක් නෑ. ටිකක් වැඩියෙන් නින්ද ගියා “යැයි පිළිතුරු දුන්නා. එවිට

“මේ ගෑනී, කිසිම කරුණක් නැතිව දවල් වෙනකම් නිදාගන්නවා’යි දාසියගේ මුහුණට නො කියා

රවා බලමින් මුමුණා යන්න ගියා. දෙවැනි දවසේත් සේවිකාව පළමු දවසේ මෙන් ම දවල්වනතුරු නිදාගත්තා. එදා සිටුදියණිය පළමු දවසට වඩා කෝප ගෙන ඇය වෙත පැමිණ

“ඈ බොල ගෑනියේ, මොකද වෙලා තියෙන්නේ? අදත් දවල් වෙනකම් නිදා ගත්තා නේද? මම පඩි ගෙවන්නේ දවල් වෙනකම් නිදා ගන්නද? “

යැයි පවමින් ඇයට

ඇසෙන්නට මහත් හඩින් දොස් කියන්නට පටන් ගත්තා. එවිට සේවිකාව

“සිටුදියණියනි, අදත් ටිකක් අතපසු වුණා අවධි වෙන්න. මට සමාවෙන්න හෙට එසේ නොවීමට මම කටයුතු කරන්නම් “යැයි පවසා සිටියා. වෙනදා මෙන්ම නිවසේ කටයුතු කළා. තෙවැනි දිනයේත් සේවිකාව පෙර දින දෙකේ කළාක් මෙන් තරමක් දවල් වන තෙක් නිදා ගත්තා. සිටුදියණිය දෙවැනි දවසටත් වඩා කෝප ගෙන ඇය වෙත පැමිණ පරුෂ වචන කියමින්

“බොල තිට, කුමක් වෙලාද? දැන් දින ගණනක් ම දවල් වනතෙක් නිදා ගත්තා. මා තිට පඩි ගෙවන්නේ, කන්න බොන්න දෙන්නේ නිදාගන්න ද?

යැයි පවසමින් දැඩි සේ දොස් පැවරුවා. ඇය වසර ගණනක් කළ සේවය මොහොතින් අමතක කර දැමුවා. ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සේවිකාව

“සිටුදියණියනි, දැන් දින දෙකක් ම මටත් නොදැනිම නින්ද ගියා. ඊයේ සිතා ගත්තා. අද වේලාසනින් අවධි වෙන්න. ඒත් අදත් නින්ද ගියා. සමාවෙන්න

ස්වාමි දියණියනි මම හෙට නිසි වේලාවට අවධි වී කටයුතු කරන්නම් “ යැයි පවසා සිටියා. ඒ වදන් අසනවාත් සමඟ

“ඊයෙත් තී පැවසුවේ අද වේලාසනින් නැඟිටිනවා කියායි. ඒත් අදත් අවධි වුණේ නෑ”

යැයි කියමින් වහා දොර මුල්ලේ තබා තිබුණු දොර පොල්ල ඇද ඇගේ හිසට පහර දුන්නා. මොහොතින් සේවිකාවගේ හිසෙන් ලේ විසිවෙන්නට පටන් ගත්තා. මහත් හඬින් කෑ ගසමින් එළියට පැන්නා. ඇයගේ උදව්වට අසල් වැසියන්ට අඩගසමින් කෑමොර දුන්නා. ඇයගේ මහත් හැඩීමත්, කෑමොරදීමත් ඇසුණු අසල්වැසියෝ ඇය වටා එකතු වුණා. ඇයට ප්‍රතිකාර කරන්න සූදානම් වුණා. ඒ මොහොතෙහි එකතු වුණු පිරිසට ඇසෙන්නට මහත් හඩින් හඩමින්

“නුඹලා සිතා සිටි, ගුණ පිරුණු සිටුදියණියගේ හැටි බලන්න. මට ටිකක් අතපසුවී නින්ද ගියා යැයි අද මගේ හිස දෙපලු කළා. මම තනියමයි මේ නිවසේ අපමණ කටයුතු ඉටු කළේ. ඒත් කිසිදු ගුණයක් නෑ. මගේ සේවය හොඳින් ලැබෙනකම් විතරයි, මැයගේ කරුණාව, ලෝකයාට බොරු ගුණ පෙන්නා ලෝකයාගේ කීර්ති ප්‍රශංසා ලබනවා. දැන් බලා ගන්න. ගුණ පෙන්නන සිටු දේවියගේ හැටි. අවුරුදු ගණනක් එක දිගට සේවය කළත් දිනක් දෙකක් එය අතපසු වූ පමණින් ම ඇය මට පහර දුන්නා. කිසිම කෘත ගුණයක් හෝ ඉවසීමක් හෝ වෙනත් ගුණයක් හෝ මැයට ඇත්තේ නෑ. බොරුවට ගුණ පෙන්වන කිසිම පුද්ගලයෙක් විශ්වාස කරන්න එපා”

යැයි කියා සිටියා. එදා පටන් වේදේහිකාවගේ කීර්තිය එයින්ම කෙළවර වුණා. සමාජයේ මෙවැනි චරිත නිරූපණය කරන පුද්ගලයින් අපමණ ජීවත් වෙනවා. ඒත් ඔවුන් හඳුනා ගන්නා අවස්ථාව උදාවන විට බොහෝ” අලාභ සිදුවී අවසන්.

චරිත දෙකක් නොව ඇතැම් පුද්ගලයින් චරිත දහසක් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් වංචාවෙන්, කපටිකමින් සහ නපුරු ගතිවලින් යුක්තව ජීවත් වෙනවා. එබැවින් පුද්ගලයින් ඇසුරු කිරීමේ දී නිසි අවබෝධයකින් යුක්තව ඇසුරු කළ යුතු යි.

හොඳ පුද්ගලයෙක් යැයි සිතන පුද්ගලයා නරකම පුද්ලයෙක් විය හැකියි. නරක පුද්ගලයෙක් යැයි සිතන පුද්ගලයා හොඳ පුද්ගලයෙක් විය හැකියි. දීර්ඝ කාලයක් ඇසුරු කළත් මිනිසුන්ගේ ගුණ හෝ ඔවුන්ගේ අදහස් හෝ සිතිවිලි හෝ හඳුනා ගැනීමට නො හැකියි. එය අවබෝධ කරගෙන සමාජයේ ජීවත්විය යුතු වෙනවා.

වාසියට පමණක් ගුණ පෙන්වන පුද්ගලයින් ඇසුරු නො කළ යුතු බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]