සිහියෙන් ඉන්නට
පුරුදු පුහුණු කළොත් දරුවන්ගේ හෙට දවස
නිසැකවම සැපවත්
" හෙට දවසේ ලොව බාර ගන්නා දරුවන්ට සතිමත් සමාජයක, සතිමත් පුරවැසියකු ලෙස
පී‍්‍රතියෙන් ජීවත් වීමේ භාග්‍යය උදාකර දීම මෙරට සමස්ත මව්පියන්ගේ යුතුකමකි. ඒ සඳහා
මව්පියන්ගේත් වැඩිහිටියන්ගේත් ආදරබර අනුග්‍රහය දරුවන්ට ලැබිය යුතු ම ය.
"
අලුත උපන් දරුවකු දෙස මොහොතක් බලා සිටින්න. තව දශක කිහිපයකින් ඉතාම නින්දනීය ලෙස
ජීවත් වන්නට සිදුවන මිනිසකුගේ සිට ඉතාම වන්දනීය ලෙස ජීවත්වන මිනිසකු දක්වා පරාසයක
පුද්ගලයෙක් එම දරුවා තුළ සිටී.
අද සමාජයේ නින්දාවට පත්වෙමින් සිර මැදිරිවලට කොටුකර සිටින්නේත්, නීතියේ රැහැනින්
පලායමින් සැඟවෙමින් සිටින්නේත්, අනුනට යහපත් සේවා සහ නිපැයුම් ලබා දෙමින් සමාජයේ
උන්නතිය පිණිස කටයුතු කරන්නේත්, සමාජයෙන් වැඳුම් පිදුම් ලබන්නේත් මීට දශක කීපයකට උඩ
දී උපන් සිඟිති දරුවෙකි.
දරුවකුගේ පුද්ගල සංවර්ධනය පිණිස සමාජයෙන් කුමන අන්දමේ තල්ලුවක් ලැබුණ ද, තම චරිතය
ගොඩනැඟීම සඳහා මූලික සහ විශාලතම දායකත්වය ලැබෙනුයේ තමා ගේ සිත තුළින් ම ය.
පුද්ගලයකුගේ බාහිරින් පෙනෙන ශරීර ස්වරූපයත්, වචන සහ හැසිරීමත් මත ඔහුගේ හෝ ඇයගේ
අනන්‍යතාව රඳා පවතී. මුලින් කී ශරීර ස්වභාවයට අනුව සුදනන් හෝ දුදනන් හඳුනා ගත
නොහැකි ය. ඒ අනුව, පුද්ගල අනන්‍යතාව කෙරේ දිගු කාලීන වශයෙන් බලපානුයේ වචන සහ
හැසිරීම ය. මේ කරුණු දෙකට මූලික වන්නේ සිත ය. සිතට නැඟෙන සිතිවිලි නිසා සිතේ ගුණය
වෙනස් වේ. එවිට එයින් නිපන් වචන සහ ක්‍රියා ද වෙනස් වේ.
කැඩපත
කෙනෙක් ගමනකට පිටත්වීමට පෙර ඇඳුම් ආයිත්තම්, මුහුණ කට, හිසකෙස් ආදිය පිළිවෙලට
ඇත්දැයි දැන ගැනීමට කැඩපතකට එබෙයි. තම වචන සහ හැසිරීම් ද තමන්ගෙන් පිට වීමට පෙර එසේ
බැලීමට හැකි කැඩපතක් තිබේ. මේ කැඩපත නිතර නිතර භාවිතය මඟින් හොඳින් ඔපවත් වන අතර,
මේ කැඩපතට ඇල්ලීමෙන් වචන හා ක්‍රියාවලට පෙරාතුව උපන්නා වූ සිත ද බලාගත හැකි වේ.
සිතේ ම ක්‍රියාවක් වන මේ කැඩපත ‘සතිය’ නමින් හඳුන්වයි. ඒ අනුව ‘සතිය’ යනු ද
සිතිවිල්ලකි.
සිර කුටිවල අච්චු විඳින අපරාධ කාරයන් ද, කුඩා, තරුණ වයසේ දී දුර දිග නොබලා ගත් තීරණ
නිසා අසීරු ජීවිත ළඟා කර ගත් අය ද හෙළි කරන කාරණයක් නම්, ඒ ඒ අවස්ථාවල දී තමා
සිහියෙන් තීරණ නොගත් බවයි. සිතා මතාම නමුත්, පසුව අපරාදේ කියා සිතෙන එබඳු තීරණවලට
ඔවුන් එළැඹී ඇත්තේ සිහිය නොමැති ව බව කීමෙන් ඇඟවෙන්නේ කුමක් ද?
නුවණින් විමසීම
කලබලයක් ඇති අවස්ථාවක දී පුද්ගලයාගේ සිතත්, කයත් වේගයෙන් ක්‍රියාත්මක වේ. කීම සහ
කිරීම සඳහා නොයෙක් අදහස් වේගයෙන් පහළ වේ. එසේ පහළ වූ අදහස එලෙසින් ම නොවිමසා
ක්‍රියාත්මක කරවූ බව අපරාධ කරුවන් සමඟ කරන ලද පසු විපරම් සාකච්ඡාවලින් හෙළිවී තිබේ.
කරන්නට පහළ වී ඇති අදහස පිළිබඳ නිවැරැදි විනිශ්චයකට පැමිණීමට නම්, සතිය සහ
සම්පජානනය ද එම වේගයෙන් ම පහළ විය යුතු වේ. සතියෙන් කරන්නට කියන්නට යන දෙය දැන
ගන්නා අතර, සම්පජානනය මඟින් එය හාත්පසින් (හැම පැත්තෙන් ම) නුවණින් විමසයි. ඒ අනුව,
සිතේ පහළ වූ අදහස, අද සහ අනාගතය ලෙස කාලය විෂයෙහි ත්, තමා ද අනුන් ද ලෙස පුද්ගලයින්
විෂයෙහිත්, පරිසරය විෂයෙහිත් විමසුමට බඳුන් කළ යුතු වේ.
සංක්‍රාන්ති කාලය
සති පුහුණු වැඩසටහනක දී අසන්නට ලැබුණු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්
තුෂාර උපුල්දෙණිය මහතාගේ දේශනයට අනුව, බන්ධනාගාර ගතවී ඇති පුද්ගලයින්ගෙන් ඉතාම අධික
ගණනක් අට වසර තෙක් පමණක් පාසල් ගිය අයයි. ඊට අඩු වැඩි වයස්වලදී ද පාසල් හැරගිය අය
අපරාධකරුවන් අතර සිටින මුත්, ඒ සාපේක්ෂ වශයෙන් අඩු පිරිසකි.
අට වසර යනු අවුරුදු දහතුනකට යන්තම් වැඩි වයසේ දරුවන් ය. මේ, පුද්ගලයකු ළමා වියෙන්
තරුණ වියට පා තබන ක්‍රීඩා දශක අවධියයි. මෙම වයස, දරුවන් තම කායික ශක්තිය වර්ධනය
කිරීමට, තනිව කල්පනා කිරීමට, තමන් ගේ පුද්ගල අනන්‍යතාව හඳුනා ගැනීමට සහ ගොඩනඟා
ගැනීමට පටන් ගන්නා අවධියයි. මෙය ශාරීරික වශයෙන් ද මානසික වශයෙන් ද ඉතා වේගවත්
සංක්‍රාන්ති සමයකි.
ක්‍රීඩා දශකයට පෙර ගත කරන අවුරුදු දහය ‘මන්ද’ දශකය ලෙස හැඳින්වේ. ඒ අවධියේ දරුවන්ට
තම සෑම කටයුත්තක් සඳහා ම මව්පිය වැඩිහිටියන්ගේ පිහිට අත්‍යවශ්‍යය.
ඊළඟට එළඹෙන දහයේ වයස හෙවත් ‘බඥඥදචඨඥ’ වයසේ දී ඔවුන්, තමා ද ගණන් ගතයුතු පුද්ගලයකු
බව වැඩිහිටියන්ට ඒත්තු ගැන්වීමට පටන් ගනියි. එවැනි අවස්ථාවල දී, නිවසේ සහ බාහිර වට
පිටාවේ වැඩිහිටියන් විසින් තවදුරටත් ඔවුන් තදින් යටපත් කරමින් කුඩා දරුවකු ලෙස
සලකනු ලැබුවහොත් ප්‍රතිඵලය වන්නේ එම සීමා මායිම් ඉක්මවා ඉඩ ලද අවස්ථාවල පැන යෑමයි.
මෙවැනි වයසේ පසුවන දරුවන් ඉතා පහසුවෙන් අපරාධකරුවන්ගේ පාශයට හසුවිය හැක.
පුද්ගල අනන්‍යතාව හෙවත් ‘තමා කවුද’ යන්න ප්‍රකට විය යුතු බව මේ අවධියේ සිටින
දරුවන්ට තදින් දැනේ. තවත් වසර දහයකට පසුව සමාජයට තම සේවය ලබා දෙන, සමාජයට නායකත්වය
දෙන පුද්ගලයින් ලෙස මෙය දරුවන්ගේ චරිත සංවර්ධනයේ ඉතාම වැදගත් කාරණයකි. මේ සඳහා
මුලින්ම තමා විසින් තමාව අත්දැක ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
පුහුණුවක අවශ්‍යතාව
අද බොහෝ විට දරුවන්ට සිදුවන්නේ අනුන්ගේ මිනුම් දඬුවලින් තමා මැන ගැනීමටයි. තමා හරි
හැටි දැන ගැනීමට නම්, තමා ම තමන් ව නිරීක්ෂණය කළ යුතු වේ. ඒ සඳහා භාවිත කළ හැකි
උපකරණය ‘සතියයි’.
ක්‍රීඩා දශකයේ වේගවත් කායික මානසික ක්‍රියාවලියක සිටින පුද්ගලයකුට සතිමත් වීම සඳහා
ඊට පෙර පටන් සතිමත් බව පුරුදු පුහුණු කළ යුතු ය. අප කවුරුත් දන්නා පරිදි, යුද්ධයක්
සිදුවීමට පෙර යුධෝපකරණ මුවහත් කොට සූදානමින් තබා ගන්නවා මිසක්, යුද්ධය සිදුවන
අවස්ථාවේ කඩු මුවහත් කිරීමට කාලය හෝ ශ්‍රමය මිඩංගු කළ නොහැකි ය.
එනිසා ‘සතිය පුහුණු කිරීම’ දරුවන්ට හැකි මුල්ම අවදියේ ම පටන් ගත යුත්තකි. පාසල්වල
විධිමත් අධ්‍යාපනය ලබන අතරතුරේ දී, එක වසරේ පටන් ම දිනපතා සති පුහුණුව ලද හැකි ය.
සතිමත් පුද්ගලයා නිසඟයෙන් ම පහළ වූ හොඳ අදහස් හඳුනා ගනී. ඒවා ක්‍රියාත්මක කරයි. පහළ
වූ නරක අදහස් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක නොකරයි. එසේම, එම පුද්ගලයාගේ සිත තුළ
අලුතෙන් හොඳ අදහස් පහළ වේ. නරක අදහස් පහළවීම වළකී. හොඳ නරක පිළිබඳ මූලික අඩිතාලම
ලෙස පන්සිල් උපකාර කරගත හැකි ය.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මහතාගේත්, බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපන අධිකාරී,
ජයන්ත අදාසුරිය මහතාගේත්, මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් පුනරුත්ථාපනය කරවීමේ
කටයුත්තට උරදී සිටින පබසරා වීරසිංහ මහත්මියගේත් දේශනවලින් හෙළිවූ කරුණක් නම්, මේ
සියලු අපරාධකරුවන් අතින් පන්සිල් බිඳී ඇති බවයි. පරපණ නැසීම, සොරකම් කිරීම, පුද්ගල
අපයෝජන, වංචා, මත්ද්‍රව්‍ය භාවිතය යන මෙකී අපරාධ ඒ ඒ පුද්ගලයින් අතින් සිදුවී ඇත්තේ
ඒ ඒ අවස්ථාවේ දී සති සම්පජන්නයෙන් නොසිටි නිසයි.
දින නියමයක් නැති අවසානය
දරුණු අපරාධයකට වරදකරු ලෙස ඔප්පු වී මරණ දඬුවම නියම වුවන් සිර මැදිරි තුළ ගතකරන
ආකාරයත්, ඔවුන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ රටේ ජනපතිගේ නියමයෙන් බවත් සිර
රැඳවියන් පුනරුත්ථාපන අධිකාරී ජයන්ත අදාසුරිය මහතාගේ දේශනයේ දී අපට අසන්නට ලැබිණි.
ඊට පෙර පැවැත් වූ තුෂාර උපුල්දෙණිය මහතාගේ දේශනයේ දී ඉදිරිපත් කළ මරණ දණ්ඩනයට නියම
වී සිටි පුද්ගලයාගේ කථනයේ දී හෙළි වූ කරුණක් නම්, අපරාධය සිදුවූ මොහොතේ සිතා මතා
කටයුතු කළත් එම මොහොතේ සතියෙන් හෙවත් සිහියෙන් නොසිට ඇති බව තමා දැන් තේරුම් ගෙන
සිටින බවයි. එසේම සිර ගත වීමට පෙර තමාට සතිය පිළිබඳ දැනීම් මාත්‍රයක් හෝ අසන්නට
නොලැබී සිටි බවත්, එනිසාම සතිය පුරුදු කිරීමේ කිසිම අවස්ථාවක් හෝ නොලැබුණු බවත් ඔහු
ඉතා කනගාටුවෙන් පැවසීය.
මෙයින් මව්පියන් සහ රටේ ආර්ථිකයට දායක වන රට වැසියන් වශයෙන් අපට එළිවන කරුණක් තිබේ.
එනම් සෑම පුද්ගලයකු ම කුඩා අවධියේ පටන් සිහියෙන් සිටීම පුරුදු කරනවා නම්, ඔවුන්
අපරාධකාරයින් වීමෙන් වළක්වා ගත හැකි බවයි.
මෙම සිරකරුවන්ට නියම වන කල දසාවට අනුව, ඔවුන් තම දඬුවම ක්‍රියාත්මක වන දිනයට පෙර
දින තමා කැමැති ආගමික වතාවතක් කිරීමට අවකාශයක් ලබයි. පූජ්‍ය පක්ෂයේ කෙනකුන් සිර ගෙට
වැඩමවා දන් දී, ධර්ම දේශනාවක් ඇසීමට සලස්වා කිසියම් පූජා භාණ්ඩයක් ද පූජා කිරීමට
අවස්ථාව දෙනු ලැබේ.
එසේම, තමා වඩාත් පි‍්‍රය කරන රසවත් ආහාර වේලක් ද එම සිරකරුවාට එම අවසන් මොහොතට පෙර
දිනයේ ලබා දෙයි. තමා වඩාත් ආදරය කරන අයට බැලීමට ද අවස්ථාව ලබා දෙයි. අන්තිම පැයේ
දී, මරණය සඳහා වන අවසාන ඇඳුම ඇඳ ගැනීමට සලස්වයි.
අපි සෑම දෙනාම තනිවූ සිර මැදිරියක සිට හෝ, පාරක තොටක දී හෝ, රෝහල් ඇඳක දී හෝ, දූ
පුතුන් - මුණුපුරු මිණිබිරියන් - හිත මිතුරන් පිරිවරා සිටින විට දී හෝ අපේ අවසන්
හුස්ම හෙළන්නෙමු. මෙයින් මා වඩාත් සතුටු අවසානයට දැක් වූ පිළිවෙළට ය. ඔබද නිසැකව ම
එසේ ම ය.
කලාතුරකින් හෝ නිතරම හෝ රසවත් ආහාර අප කොතෙකුත් අනුභව කරමු. කටේ ඇති ආහාර ගිල්ල
සැණින් එහි රසය දැනීමක් නැත. රසය මතක් කර ගැනීම පමණක් සිදු කළ හැක. මෙසේ ආහාර රස
විඳිමින් සිටින අප ද, දිනයේ නියමයක් නැති මරණය තෙක් සිටින්නෙමු. එකම වෙනස නම්, එය
නියම කරන කෙනෙක් හෝ සිදුවන ආකාරයක් හෝ නොදැන සිටීමයි.
අප ඇඳ සිටින ඇඳුම ගැන ද එසේම ය. ආගමික වතාවත් කිරීම සම්බන්ධයෙන් ද බොහෝ මිනිසුන්
සිරකරුවාට අත් විඳීමට සිදුවන පිළිවෙළම අනුගමනය කරනු ඔබ දැක ඇති.
තවමත් හොඳින් හුස්ම ගනිමින්, සිරුරේ කිසිම තැනක රිදීමක් නැතිව, අවට සද්ද හොඳින්
ඇසෙමින්, කණ්ණාඩි නැතුවම හොඳින් පෙනෙමින් සිටින අප, වඩා උනන්දු වන්නේ එළියට පෙනෙන
දේ සරි කර ගැනීමටයි.
වෙනස්කම් ඇයි?
පුද්ගලයාගෙන් පුද්ගලයාට ජීවිතවල වෙනස්කම් තියෙන්නේ ඇයි? ශරීරයේ නිරෝගිකම, පැහැය,
උස, මහත ආදී නොයෙකුත් වෙනස්කම් තියෙන්නේ ඇයි? දක්ෂතාවල, තීරණ ගන්නා ආකාරයේ,
ආසාවන්හි වෙනස්කම් තියෙන්නේ ඇයි? තමන්ට වුවමනා විදිහේ ජීවිතයක් ලබා ගන්නට කළ යුත්තේ
කුමක් ද? මැරුණාට පසුව පුද්ගලයාට කුමක්ද සිදුවන්නේ? ආදී කරුණුවලට හේතු සැපයීම සහ
කළයුතු නොකළයුතු දේ ඉදිරිපත් කිරීම ආගම්වලින් සිදුවේ.
ඒ ඒ ආගම්වලින් එසේ ඉදිරිපත් කරන හේතු සහ ක්‍රමවේදවල සත්‍ය අසත්‍යතාව සෙවීම ද
පුද්ගලායාට ම බාර ය. කෙසේ නමුත්, මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අවශ්‍යතාවක් මතු
වන්නේ, දිනයේ නියමයක් නැති මරණයක් කරා තමා කිට්ටු වන බව දැන සිටින කෙනකුට ය.
මේ හේතු කාරණා සියල්ල පුද්ගලයාගේ ඇතුළත කරුණු ය. සාමාන්‍යයෙන්, ආගමික කටයුතුවලට
යොමුවීම ආදී තමාගේ ඇතුළත සකස් කර ගන්නා හෙවත් ආධ්‍යාත්මික කටයුතුවලට අප දෙන්නේ
දෙවෙනි තැනකි. අපි සිතින් සිතා කටයුතු කරන බව දනිමු. සිත හොඳින් පුහුණු කිරීම මඟින්
වඩා හොඳට කටයුතු කළ හැකි බව රහසක් නොවේ. එසේ නම්, අද අද ම සිත පුහුණු කිරීමට කාලය
වෙන් කර ගනිමු. එහි පළමු පියවර දැන් අත්දකින දෙය දැනගෙන සිටීමයි.
සතිමත් සමාජයක්
තම දරුවන්, ලෝකයේ උසස් අයගෙන් ගරු බුහුමන් ලබා සැපවත් සුවපත් ජීවිත ගත කරනු ලැබීම
සෑම මව්පියකුගේ ම පැතුමයි. මේ නිසා දරුවන්ට සතිය පුහුණුකර ගැනීමට අවස්ථාව,
අනුග්‍රහය සැලසීම අත්‍යවශ්‍ය වේ.
සතිමත් දරුවන්ට එකම දෙය නැවත නැවත ඉගෙන ගැනීමට ද අවශ්‍ය නොවේ. ඔවුන්ට ක්‍රීඩා,
සමිති - සමාජ සම්බන්ධතා, කථනය හා රචනය ආදී අනෙකුත් කුසලතා ද ඉතා හොඳින් වර්ධනය කර
ගැනීමට හැකි වේ.
මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, උඩඊරියගම ධම්මජීව ස්වාමීන්
වහන්සේගේ දැක්ම හා මඟ පෙන්වීම අනුව අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමීන් වහන්සේගේ
මූලිකත්වයෙන් ඇරඹුණ කඩුවෙල සති පාසල මඟින් දිවයින පුරාම ඇති පාසල්වල ගුරුවරුන්ටත්,
දූ දරුවන්ටත් සති පුහුණුව ලබා දීම සිදුකරනු ලැබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන
අමාත්‍යාංශයේ ද, ජාතික අධ්‍යාපන ආයතනයේ ද, රජයේ පාසල් ජාලයේ ද සෘජු අනුග්‍රහය සහ
පිළිගැනීම ලැබී තිබේ.
මේ සියල්ල තව උපරිම අවුරුදු දහයක් ගතවීමට මත්තෙන් මෙරට තුළ සතිමත් සමාජයක්
ගොඩනැඟීමේ සුබ නිමිත්තකි. හෙට දවසේ ලොව බාර ගන්නා දරුවන්ට සතිමත් සමාජයක, සතිමත්
පුරවැසියකු ලෙස පී‍්‍රතියෙන් ජීවත් වීමේ භාග්‍යය උදාකර දීම මෙරට සමස්ත මව්පියන්ගේ
යුතුකමකි. ඒ සඳහා මව්පියන්ගේත් වැඩිහිටියන්ගේත් ආදරබර අනුග්‍රහය දරුවන්ට ලැබේවා'යි
පතමු.
මොරටුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඉනෝකා මන්තිලක |