[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු ඔය අසබඩ මහා පින්කෙත අනුරපුර අන්තර්ජාතික බෞද්ධ පුස්තකාල විහාරය

මල්වතු ඔය අසබඩ මහා පින්කෙත අනුරපුර අන්තර්ජාතික බෞද්ධ පුස්තකාල විහාරය

නබෝ ගැබ සුදිලෙන සුපුන් සඳක් සේ සමස්ත මිහිතලයට ම සහන් සුවය සලසන රුවන්වැලි සෑ සමිඳුන් හා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නේත්‍ර පද්මයෙන් පිදුම් ලත් ශ්‍රී මහා බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා සමිඳුන් වහන්සේ රෝපණය කොට ඇති මහමෙව්නා උයනට සමීපව ගත-සිත පුබුදුවමින් ගලා බසිනා මල්වතු ඔය හෙවත් කදම්බනදිය අසබඩ පිහිටා ඇති මහා පින්කෙතකි “අන්තර්ජාතික බෞද්ධ පුස්තකාල විහාරය” හෙවත් බටකැත්තර පන්සල.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභායත්ත ගල්ගොඩ විහාර පාර්ශවයට අයත් උතුරුමැද පළාතේ පිහිටා ඇති උක්ත පින්බිමේ නිර්මාතෘවරයා වූයේ එවකට උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක සද්ධර්මවාගීශ්වරාචාර්ය බටකැත්තර ශ්‍රී සිද්ධාර්ථ රේවත මාහිමිපාණන් වහන්සේ ය. බාධක හමුවේ නොසැලි ඉලක්කය කරාම ගලන ගංගාවක් මෙන් අබිමුවට පැමිණි සියලු බාධක මැඩ උක්ත මනරම් විහාරය නිර්මාණය කිරීමට උන්වහන්සේ සමත් වූහ. ඒ සමය වන විටත් රේවත නාහිමියෝ බටකැත්තර සුමනාරාමය හා තමන් වහන්සේගේ විහාර පරපුරට අයත් විහාරස්ථාන කිහිපයකම භාරකාරීත්වය ලැබ ප්‍රශංසනීය යුග මෙහෙවරක නිරත වූහ. සැමගේ දහම් පවස නිවාලන සුමධුර ධර්මකථිකයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ තමන් වහන්සේගේ පාලනයට නතුව පැවති විහාරස්ථාන සිය ශිෂ්‍ය පුත්‍රාදීන්ට පවරා ජිවිතයේ සැදෑ සමය අටමස්ථාන පුදබිම් පිහිටි පූජනීය අනුරාධපුර පුදබිමට සමීප ව අභිනවයෙන් ඉදිකළ බටකැත්තර පන්සලේ ගත කරන්නට තීරණය කළහ.

එවකට සිටි රාජ්‍ය පාලකයන් සහ ප්‍රභූරාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහය ඇතිව බටකැත්තර පන්සල රජයේ ගැසට් නිවේදනයක් මඟින් “ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාල විහාරය” නමින් ලියාපදිංචි කරවා ගැනීමට හැකිවීම අපේ නායක හාමුදුරුවන්ගේ ක්‍රියා සූරත්වය මූර්තිමත් කරන කදිම නිදර්ශනයකි. අපේ නාහිමියෝ සිල්වත් ගුණවත් බවින් මෙන්ම කුළුණු බර බවින් ද ගිහි පැවිදි සැමගේ ප්‍රසාදය සැමවිටදීම දිනා ගත්හ. තමන්ට සිව්පසයෙන් සංග්‍රහ කරන ගිහියකු රෝගාතුර වූ බව දැනගත් සැණින් පා ගමනින් වැඩම කොට සර්වාරක්ෂක පරිත්‍රාණ ධර්මය දේශනා කොට පිරිත් නුලක් ගැට ගසා ආශිර්වාද කිරීම අපේ නායක හිමියන්ගේ සුපසන් සිරිතක් විය. ගිහි පැවදි සැමගේ හදවත් සැනසූ අපේ නායක හාමුදුරුවෝ අපවත් වී මේ මස 04 වැනි දිනට පුරා වසර 22 ක් ගත වේ.

ඉන් අනතුරුව උක්ත විහාරස්ථානයේ අධිපතීත්වයට පත් වූයේ අප උතුම් සංඝ සභායත්ත අනුරපුර මහ දිශාවේ ප්‍රධාන සංඝ නායක ධූරය හොබවා වදාළ ශාස්ත්‍රාචාර්ය මීවැවේ සාරද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. අනුගාමික ගිහි - පැවිදි සැමට නිවන් මඟ පෙන්වා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ උන්වහන්සේ සැමවිට ම අනුගාමිකයන්ගේ මන කොඳ කුමුදු විකසිත කළහ.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යයන් වහන්සේ නමක් ලෙසින් ද ක්‍රියා කළ උන්වහන්සේ ජාතියේ ජීවනාලිය වන් දූ පුතුන්ගේ නැණ ගුණ වඩා පෞරුෂ සංවර්ධනය කරන්නට දිවා රෑ කැප වූහ.

උන්වහන්සේ ද සිය උතුම් ශාසනික මෙහෙවර නිමා කොට “සබ්බේ සංඛාරා අනිච්චා” (සියලු සංස්කාරයෝ අනිත්‍ය වේ) යන බුදු වදන ප්‍රකට කරමින් අපවත්ව 2022 අප්‍රේල් 25 වැනි දිනට වසර පහක් ගත වේ.

පුරාතනයේ මෙන්ම නූතනයේ ද දේශීය විදේශීය සිව්දිගින් අටමස්ථානය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට වැඩම කරන ස්වාමීන් වහන්සේට නේවාසික පහසුකම් සහ සෙසු ප්‍රත්‍ය පහසුකම් සලසන ප්‍රමුඛතම විහාරස්ථානය බවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය හෙවත් බටකැත්තර පන්සල යි. උක්ත විහාරස්ථ හික්ෂූන් වහන්සේ සැමවිටම සිය විහාරස්ථානයට වැඩම කරන මහා සංඝ රත්නයටත්, සපැමිණෙන ගිහි සැමටත් සංග්‍රහ කිරීමට අමතක නොකරති. මෙම විහාරස්ථානයෙන් පිරිනැමෙන “රසවත් සියඹලා පානය” පිළිබඳ ගිහි පැවදි සැම දෙනා කතා කරන්නේ කෘතඥතා පූර්වකව ය.

කාලානුරූපීව වෙනස්කම්වලට භාජනය වෙමින් සංවර්ධනය කරා පිය නගන උක්ත බිමේ වත්මන් විහාරාධිපති ධුරය දරන්නේ පොල්හේනේ විමල මා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ බටකැත්තර ශ්‍රී සුමනාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක ම අධිපතීත්වය උසුලන බැවින් මෙම පින්බිමේ පාලනය නිසි පරිදි කරගෙන යාමට විහාරාධිකාරී මහනෙළුබෑවේ සිරිධම්ම හිමියන්ට පවරා ඇත.

විහාරාධිපති පොල්හේනේ විමල හිමියන්ගේ හා විහාරාධීකාරී මහනෙළුබෑවේ සිරිධම්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාර පරපුරට අයත් නාවල සිද්ධත්වාරාමාධිපති ව වැඩ වසන බටකැත්තර ශ්‍රී සිද්ධාර්ථ රේවත මාහිමියන්ගේ එකම සහෝදර බෙල්ලන්විල නන්දාරාම ලොකු හාමුදුරුවන්ගේ ද, නැදිමාල ශ්‍රී මහා විහාරාධිපති පොළොන්නරුවේ චන්දානන්ද හිමිපාණන් වහන්සේ ද, අනුරාධපුර අනුලාදේවී මාවතේ පිහිටි ශ්‍රී විවේකාරාමාධිපති ඇල්ලේ සතින්ද්‍රීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ හා දායක කාරකාදීන්ගේ ආශිර්වාදයෙන් හා සහභාගීත්වයෙන්, අපවත් වී වදාළ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක සද්ධර්මවාගීශ්වරාචාර්ය බටකැත්තර ශ්‍රී සිද්ධාර්ථ රේවත මාහිමිපාණන් වහන්සේ, අනුරාධපුර මහ දිශාවේ ප්‍රධාන සංඝ නායක දූරය හොබවා වදාළ ශාස්ත්‍රාචාර්ය මීවැවේ සාරද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගරු යගිරළ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ, ගරු නැදිමාලේ සුමංගල මාහිමිපාණන් වහන්සේ , කොම්පඤ්ඥවීදියේ ජිනරතන මාහිමිපාණන් වහන්සේ ඇතුලු විහාර පරපුරේ අපවත්වී වදාළ මහා සංඝ රත්නයටත්, කාල යාත්‍රා කළ දායක කාරකාදීන්ටත්, පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් මේ මස 24 වැනි දා ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාල විහාරයේ දී පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත.

සසුන් කෙතේ රන් අකුරින් සනිටුහන් වී ඇති උක්ත විහාරස්ථානය භෞතික හා මානව සම්පතින් පුරපස සඳමෙන් වැඩේවා. විහාර පරපුරේ අපවත් වී වදාළ මහා සංඝරත්නයටත්, දායක කාරකාදීන්ටත් මෙත්මුනි අබියස සසර දුක් නිමා කොට අත්පත් උතුම් නිවන් සුව උදා වේවා!

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]