[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගදීප පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාගදීප පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූ නාගදීපය බෞද්ධයන්ගේ වන්දනාවෙන් ඈත්ව වසර 30කට ආසන්න කාලයක් තිබුණි. ඒ උතුරේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිසා ය.


අගමැතිතුමා නාගදීප පූජා භූමි සන්නස් පත්‍රය පූජා කළ අවස්ථාව

යුද්ධය අවසන් වීමෙන් පසුව වුව ද නාගදීපයේ සංවර්ධන කටයුතු ගැන වැඩි අවධානයක් යොමු වූ බවක් නොපෙනුණි. එහෙත් විහාරාධිපති නවදගල පදුමකිත්ති නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා පසුගිය වසරේ රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට තීරණය කළ ද කොවිඩ් 19 වසංගතය නිසා රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට හැකියාවක් නොවුණි.

මේ පින්බිම වසර 30ක පමණ කාලයක් රැක ගත්තේ එහි වත්මන් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන් සහ උන් වහන්සේගේ ආචාර්ය හිමියන් වූ බ්‍රාහ්මූණූවත්තේ ධම්මූකිත්ති තිස්ස නා හිමිූයන් විසිනි.

වසර 30ක කාලයක් එසේ දිවි පරදුවට තබා රැකගත් නාගදීපය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට පසුගිය මාසයේ දී කටයුතු කරන ලදී. ඒ අනුව පසුගිය මාර්තු 19 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අදාළ සන්නස් පත්‍රය නාගදීප රාජමහා විහාරාධිපති හිමියන්ට ප්‍රදානය කරන ලදී.

වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

යාපනය නාගදීප රාජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිගෞරවනීය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ සහ නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ බැහැ දැක සුව දුක් විමසා සිටියේ ය.

අග්‍රාමාත්‍යතුමා නාගදීප චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ගොස් මල් වට්ටියක් පූජා කරමින් එහි ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වූයේ ය.

පූජාභූමි අධ්‍යක්ෂ රුචිර විතාන මහතා විසින් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට නාගදීප විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ලබා දීමෙන් අනතුරුව ලේකම්තුමා විසින් සන්නස් පත්‍රය කියවන ලදී.


අගමැතිතුමා නාගදීප පූජා භූමි සන්නස් පත්‍රය අත්සන් කළ අවස්ථාව

මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් සන්නස් පත්‍රය අනතුරුව අග්‍රාමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ උත්තර ලංකාවේ ප්‍රධාන සංඝ නායක නාගදීප රාජමහා විහාරය, දඹකොළපටුන සංඝමිත්තා විහාරය,කන්කසන්තුරෙයි ඓතිහාසික තිස්ස රාජ මහා විහාර ත්‍රිත්වයේ විහාරාධිපති පුජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වන ලදි.

අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව පැවැත්වූහ.

උතුරු ප්‍රදේශයේ ගරාවැටී තිබූ වල් බිහිවී තිබූ ස්ථාන ආරක්ෂා කර සංවර්ධනය කරන්න අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේ විශේෂ කැප කිරීමක් කළ බව ද උන් වහන්සේ දේශනා කළහ.

‘‘නාගදීපය ජාතික සමගිය ගොඩනඟන ස්ථානයක් බවට නවදගල අපේ හාමුදුරුවෝ පත් කර තිබෙනවා. ඒ උන්වහන්සේට දෙමළ භාෂාව චතුර ලෙස කථා කළ හැකි නිසයි. මේ ප්‍රදේශවලට දමිළ භාෂාව දන්නා භික්ෂූන් වහන්සේ තව තවත් වැඩම කිරීමෙන් මෙම ප්‍රදේශවල වඩාත් හොඳීන් ජාතික සමඟිය ඇති කළ හැකිව තිබෙනවා‘‘ යැයි මහා නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ද මෙහි දී කෙටි අනුශාසනාවක් පැවැත් වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය මාදම්පාගම අස්සජි අනුනායක ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක පුජ්‍ය කන්දෙගොඩ විමල ධම්ම අනු නායක ස්වාමීන්වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ ද වැඩම කර සිටියහ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න ඇතුළු නාවික හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමත්හු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එමෙන්ම නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් වසර 30කට අධික කාලයක් නාගදීපය වෙනුවෙන් කළ මෙහෙය නවදගල පදුමකිත්ති හිමියෝ අගය කරති. එමෙන්ම විහාරස්ථානයේ බොහෝ කටයුතුවල ඇප කැප වී කටයුතු කරන නාගදීප විහාරවාසී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක දියමයිලගස්වැව අරියකිත්ති හිමියන් ද මෙහිදී අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]