[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු දහමින් අර්ථවත් වූ බුරුම දේශයේ සමාජ සංස්කෘතිය

සම්බුදු දහමින් අර්ථවත් වූ බුරුම දේශයේ සමාජ සංස්කෘතිය

බුරුම දේශය යනු වත්මන් මියන්මාරය යි. පැරැණියේ බ්‍රහ්මදේශය, මරම්මදේශය යන නම්වලින් හඳුන්වා ඇත්තේ ද මියන්මාරය යි. දේශ සීමාවන් ලෙස ගොඩබිමෙන් ඉන්දියාව, බංගලාදේශය, චීනය, ලාඕසය, තායිලන්තය යන රටවලින් ද දකුණින් බෙංගාල මුහුදු තීරයෙන් ද සීමා වී පවතී. විශාලත්වය අතින් ලංකාව මෙන් දස ගුණයකි. ථේරවාදී රටක් වන බුරුමයට බුදු දහම ලැබීම පිළිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. එම මතවාද ඉදිරිපත් කරන පිරිස ඒවා ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාද තොරතුරු ඇසුරෙන් ඉදිරිපත් කොට ඇත.

ඡප්පට හිමියන් ගොඩ නැඟූ
ලාංකික අනන්‍යතාව සහිත ස්තූප
කිරිගරුඬ ත්‍රිපිටක පුවරු තැන්පත් විහාර සංකීර්ණය මහාමුනි විහාරය

ජනප්‍රවාදයන්ට අනුව මොන් (mon) ගෝත්‍රික තපස්සු - භල්ලුක යන වෙළඳ දෙබෑයන් බුදුරදුන්ගේ කේශ ධාතුන් වහන්සේ බුරුමයට ගෙන අවුත් සින්ගුත්තර කඳු මුදුනේ ස්වේදගොන් (shwedagon) දාගැබ ඉදි කළ බවත්, ඒ ඔස්සේ බුදු දහම ව්‍යාප්ත වූ බවත් සඳහන් වේ.


අමරපුර නිකායේ ආරම්භය සිදු වූ සුවණ්ණගුහා සීමාව

එසේම ජීවමාන බුදුරදුන් බුරුමයට වැඩම කළේ යැයි ද එරට බෞද්ධයෝ විශ්වාස කරති. එම කරුණු සත්‍ය ඒවා වන්නේ නම් බුරුමයට බුදුසමය පැමිණීමේ ඉතිහාසය ක්‍රි.පූ. 06 වැනි සියවසට හෙවත් බුදුපියාණන් ධරමාන කාලයට අයත් වන බව පෙනේ.

ධර්මාශෝක රජු නවරට ධර්මදූත ව්‍යාපාරයේ දී සෝණ - උත්තර දෙනම බුරුමය ඇතුළු ප්‍රදේශය වන ස්වර්ණභූමිය කරා යැවූ බව මහාවංසය ආදී ලාංකීය සාහිත්‍ය මූලාශ්‍රයන් හි හා සෙල්ලිපි ආදී පුරාවිද්‍යා මූලාශ්‍රයන්හි ද සඳහන් වේ. ලාංකීය විද්වතකු වන මලලසේකර මහතාගේ මතය වන්නේ ක්‍රි.පූ. 05 වන සියවසේ දී ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට නඟා බුරුමයට ගෙන ගොස් බුරුමයට බුදු සමය හඳුන්වා දුන් බව යි.

මේ ආදී ජනප්‍රවාද හා ඓතිහාසික මතවාද අතරින් රාමඤ්ඤ දේශයට බුදුසමය පැමිණීම පිළිබඳ පිළිගත හැකි මතය කුමක් ද යන්න පිළිබඳ ගැටලු සහගත බවක් පැවතිය ද ඓතිහාසිකව පිළිගනු ලබන්නේ සෝණ - උත්තර දෙනමගේ ස්වර්ණ භූමියට වැඩමවීමේ පුවතයි. මෙම ස්වර්ණ භූමිය (සුවණ්ණභූමි) කුමක් ද යන්න පිළිබඳව ද ගැටලු පවතී.

ඇතැමෙක් එය මලයාසියාව යැයි විශ්වාස කරති. සුකුමාර් දත් සඳහන් කරන්නේ මලයාසියාව, සියම, බුරුමය ආදී රටවල් කිහිපයම අයත් බිම් තීරය ස්වර්ණ භූමිය බව යි. ඒ අනුව සැලකීමේ දී ධර්මාශෝක සමයේ බුදු සමය බුරුමයට ලැබුණු බව පිළිගත හැකි ය.

ඉහත තොරතුරු කෙසේ වෙතත් ඓතිහාසික තොරතුරු අනුව බුරුමයේ බුදු දහම ස්ථාපිත වූයේ අනවරත (අනුරුද්ධ/අනව්රථ) රාජ්‍ය සමයේ දී ය. එනම් ක්‍රි.ව. 11 වන සියවසේ දී පමණ ය. 11 වැනි සියවසේ එහි පාලකයා වූ අනවරත රජතුමාගේ අගනුවර වූයේ පගාන් නම් නගරය යි.

ඡට්ඨ සංගායනාව පැවැත්වූ මහා පාෂාණ සීමා ගුහාව ස්වේදගොන් සෑය

පහළ බුරුමය පාලනය කළ ප්‍රාදේශීය පාලකයකු වූ මනොහරී නම් රජතුමා පරදවා ඔහු සතු ත්‍රිපිටක පොත් හා භික්ෂූන් වහන්සේ පගාන් නුවරට වැඩම කරවාගෙන ෂින් නම් භික්ෂුවගේ (ෂින් අරහන්ත) උපදෙස් පරිදි බුදු සමයේ උන්නතිය සඳහා විශාල මෙහෙයක් සිදු කළේ ය. බුදු දහම රාජ්‍ය ආගම බවට ද පත්කර ගත්තේ ය.

බුරුමයට බුදු දහම ලැබීම පිළිබඳ විවිධ මතවාද පැවතිය ද ස්ථීර වශයෙන් ම බුදුසමය ස්ථාපිත වූයේ කිතුවසින් එකොළොස් වන සියවසේ අනවරත රාජ්‍ය සමයේ දී බව කිව හැකි ය.

බුරුම බුදු සමයට මුල්ම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ කිතුවසින් 1044-1077 අතර රාජ්‍යත්වයට පත්වන අනවරත රජතුමා (Anawrahta)  ය. එතුමා බුදුසමය බුරුමයේ රාජ්‍ය ආගම බවට පත් කිරීමත් සමඟ පසුව පාලනයට පැමිණි සෑම පාලකයකු ම විශේෂ අනුග්‍රහයක් සිදු කරන්නට පෙළඹී ඇති බව බුරුම ඉතිහාසය විමසා බැලීමෙන් පැහැදිලි වේ. බුරුම ශාසන ඉතිහාසයේ ඉතා දියුණුම අවධිය ලෙස සැලකෙන්නේ අනවරත රාජ්‍ය සමයයි. එතුමා බුදු දහමට සම්බන්ධ පොත්පත් රාශියක් ඒකරාශී කොට පගාන් නුවර අංග සම්පූර්ණ පුස්තකාලයක් ද පිහිටුවීය. ඊට ලංකාවෙන් ද පොතපත ලබාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඡප්පට / කපත හිමියන් වසර දහයක් (10) පමණ ලංකාවේ වාසය කොට නැවත සිංහල භික්ෂු පිරිසක් ද සමඟ බුරුමයට ගොස් සීහළසංඝ නිකාය ආරම්භ කිරීමයි. එතෙක් පැවති මරම්මසංඝ නිකාය අභිබවා රාජ්‍ය ප්‍රසාදය හා ජනතා ප්‍රසාදය දිනා ගැනීමට සීහළ සංඝ නිකායට හැකි විය. අනුරුද්ධ රජතුමාගේ අනුග්‍රහය පවා ලබා සිටියේ සීහළ සංඝ නිකායයි.

අනුරුද්ධ රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත් වන එතුමාගේ පුත් ක්යන්සිත්ථ (kyansittha)  (ක්‍රි.ව.1084-1113) කුමාරයා පියා අනුව යමින් ශාසනික අනුග්‍රහ සිදු කළේ ය. මෙතුමා ඉන්දියවේ බුද්ධගයා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා දූත පිරිසක් ද යවා ඇත. එසේම මොහු ජාතක කතා සංග්‍රහයක් රචනා කොට ඇති බව ද සඳහන් වේ. මෙම (පියපුතු) වකවානුවේ දී බුරුමයේ සෑම කඳු මුදුනක ම පාහේ විහාර (පැගෝඩා) ඉදි වී ඇත. මෙම පිය පුත් රාජ්‍ය පාලන සමය බුරුම බුදු සමයේ ස්වර්ණමය යුගය ලෙස ද ඉතිහාස ගත වී ඇත.

ක්‍රි.ව. 15 වන සියවස මැද භාගයේ දී පමණ ධම්මචේතිය නම් රජතුමා බලයට පත්විය. මොහු කලක් පැවිදි වී සිටි අයෙකි. මෙතුමා බලයට පත්වන විට බුරුම බුදුසමය යම් ප්‍රමාණයකට පරිහානියට පත් වී තිබුණි. එහෙයින් මෙතුමා භික්ෂු කණ්ඩායම් දෙකක් ලක්දිවට යවා නැවත උපසම්පදාව ලැබ පෙරලා බුරුමයට කැඳවාගෙන එහි බිඳවැටී තිබූ භික්ෂු ශාසනය නගා සිටුවීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. එහි දී සියලු නිකායික භික්ෂූන් වහන්සේ රැස්කරවා නැවත මහණ උපසම්පදාව ලබා දී ඇත. එහි දී ලක්දිව කැලණියෙන් උපසම්පදාව රැගෙන ආ බැවින් එම සිදුවීම සටහන් තැබූ ශිලාලිපි කල්‍යාණීශිලා ලිපි නමින් හඳුන්වයි. එම ලිපිවල නිර්මාතෘවරයා වන්නේ ද මෙම රජතුමා ය.

අනතුරුව ක්‍රි.ව. 1782-1819 රජ පැමිණි බෝදව්පයා (Bodawpaya) රජතුමා බෞද්ධ පොත්පත් ඉන්දියාවෙන් ගෙන්වාගෙන බුරුම භාෂාවට පරිවර්තනය කොට රාජ්‍ය පුස්තකාලයේ තැන්පත් කරවා ඇත.

මෙම ලිපියේ ඉතිරි කොටස බක් අව අටවක පෝදා (23) පත්‍රයේ පළවේ.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]