[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප ලබන්න පින පමණක් සෑහෙනවා ද?

සැප ලබන්න පින පමණක් සෑහෙනවා ද?

වලගම්බා රාජ්‍ය සමයේ තීය බමුණාගේ යුද ආක්‍රමණ පැවැති සමයේ හටගත් දුර්භික්ෂයක් බ්‍රාහ්මණතිස්ස භය හෙවත් බැමිණිතියාසාය නමින් හඳුන්වනවා. මෙකල හෙළදිව භික්ෂු ශාසනයේ මහත් වූ පරිහානියක් උදා වුණා.

භික්ෂූන් වහන්සේත්, ධනය හිමි, බලය හිමි හෝ වෙනත් හැකියා ඇත්තෝ ජීවිත ආශාවෙන් විදේශ රටවලට පලා ගියා. දුප්පත් ජනතාවත්, ධර්මයට, සම්බුද්ධ ශාසනයට හිතැති භික්ෂූන් වහන්සේත් ඉතිරි වුණා.

පිණ්ඩපාතය හෝ වැළඳීමට පැන් හෝ සොයා ගැනීමට නො හැකි නගරයෙන් ඈත දුෂ්කර ගමක ජීවත් වුණා වත්තබ්බක නිග්‍රෝධ නම් සාමණේරයන් වහන්සේ නමකුත් උන්වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේත්. දිවි රැක ගැනීමට දුප්පත් ජනයා කළේ කැලෑවල ගස්කොළ ආදීය තම්බා ආහාරයට ගැනීමයි. ලුණු හෝ මිරිස් හෝ ඇඹුල් වර්ගයක් හෝ එකතු කිරීමටවත් හැකියාවක් තිබුණේ නෑ.

ඇතැම්හු වෙන්කර ගත් කැලෑවල තිබුණු ගස් කොළ ආදීය අවසන් වූ පසු ගස් පොතු අඹරා ගුළි වශයෙන් සකසාගෙන ආහාරයට ගත්තා.

එසේත් කරන්න නො හැකි වුණු අවස්ථාවල දුබල පුද්ගලයින් ව මරා ආහාරයට ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මිනී මස් කන ජනතාවක් වෙසෙන දේශයක් බවට පත් වුණා.

මෙවැනි සමයක පුංචි සාමණේරයන් වහන්සේටත්, ගුරුතෙරුන් වහන්සේටත් පිණ්ඩපාතය නම් ලබා ගැනීම ඉතාම අපහසු කටයුත්තක් වුණා.

දිනක් දෙදෙනා වහන්සේ ම පිටත් වුණා. ඇවිද යන උන්වහන්සේට ඉතා උස්ව වැඩුණු තල් ගසක් දකින්න ලැබුණා. බිම සිට බලන විට එහි ගෙඩි පෙනෙන්නේ පුවක් ගෙඩි තරම් කුඩාවට. ඒ තරම්ම ඒ ගස උසයි. ඒ නිසාම ගසේ ගෙඩි ඉතිරි වී තිබුණා. සාමණේරයන් වහන්සේ ගස මුලට ගොස් ‘’ස්වාමිනි, මේ තල් ගසේ ගෙඩි නම් තිබෙනවා, ඒවා කඩා ගත්තා නම් අප දෙදෙනාට සති කිහිපයක් වුවත් ජීවත්විය හැකියි. මම ගසට නැග ගෙඩි ටික බිම හෙලන්නම්’’ යැයි ගුරු තෙරුන් වහන්සේගෙන් අවසර ඉල්ලමින් පවසා සිටියා.

‘’නිග්‍රෝධය, ඔබ ශාරීරික ව ගොඩක් දුර්වලයි. ගසකට නඟින්න තරම් කායික ශක්තියක් දැන් ඔබට නැහැ. අප වෙනත් දෙයක් සොයාගෙන යමු”යි තෙරුන් වහන්සේ යෝජනා කළා.

එහෙත් සාමණේරයන් වහන්සේ එය ඉවසුවේ නෑ. ‘’ස්වාමිනි, මට ශක්තිය තිබේ. තල්ගෙඩි ටික බිම හෙළා සුව සේ දින ගණනක් ජීවත් විය හැකියි. මදක් ඉවසන්න” යැයි පවසා ගමන් මල්ලෙහි තිබුණු පිහිය අතින් ගෙන ඉනෙහි රඳවාගෙන ගසට නඟින්න පටන් ගත්තා.

ගසේ මුදුනට ළගා වනවාත් සමඟ අවාසනාවට ගෙන ගිය පිහිය බිමට වැටුණා. නැවතත් එය ගෙන ඒමට බිමට ගියහොත් යළි ගසට නැඟීමට කොහෙත්ම ශරීර ශක්තියක් ඉතිරි වී තිබුණේ නෑ. තමන්ට ගසේ සිටම තල් ගෙඩි අනුභව කිරීමට අවස්ථාව උදා වුණා. එහෙත් සාමණේරයන් වහන්සේ මෙහෙම කල්පනා කළා

‘’මම අනුභව කිරීමට පෙර ගුරු තෙරුන් වහන්සේට පිළිගැන්විය යුතුයි. එසේ නොකර මම අනුභව නො කරමියි” තීරණය කළා. නුවණ මෙහෙයවා පිහිය නැවතත් ගැනීමට උපායක් කල්පනා කළා. එහි ප්‍රතිඵලය වුණේ තල් කොළ ඉරා එකින් එක අමුණා බිමට යැවීමයි. එයින් නැවතත් පිහිය ගෙන තල්ගෙඩි සියල්ල බිමට දැමුවා. ගුරුතෙරුන් වහන්සේ ගස මුදුනේ සිටින ගෝල හිමියන් ගැන මහත් කරුණාවෙන් තල්ගෙඩියක් කපා තබා සාමණේරයන් වහන්සේ ගසින් බැසගත් කල්හි වළඳන්නට දුන්නා. එහෙත් සාමණේර නම ‘’ස්වාමිනි, ඔබ වහන්සේ වළඳන තෙක් මම නො වළඳමි”යි එය ප්‍රතික්ෂේප කළා. උපාධ්‍යායන් වහන්සේ වැළඳූ පසු එහි මද උපුටා ඒවාත් පිළිගැන්වූවා. තල් ගෙඩි අවසන් වූ පසු නැවතත් කොළ හෝ ආහාරයට ගත හැකි ස්ථානයක් සොයමින් පිටත් වුණා. දෙදෙනා වහන්සේට ඒ ගමනේ දී අතහැර දමා තිබුණු ආරාමයක් දකින්නට ලැබී එහි නවාතැන් ගැනීමට තීරණය කළා.

මහලු වයසේ සිටි ගුරු හිමියෝ ගමන් වෙහෙස නිසා මදක් සැතපෙන්න පටන් ගත්තා. පුංචි සාමණේරයන් වහන්සේ මෙහෙම කල්පනා කළා “ස්වභාවික විපත් නිසා මරණයට පත් වූ වාර ගණන විශාලයි. මාගේ මරණය දැන් හෝ හෙට හෝ අනිද්දා හෝ සිදුවේ දැයි කිව නො හැකියි. කළ යුතු එකම කාර්ය යුහුසුලුව කුසල් කර ගැනීමයි”යැයි සිතා චෛත්‍ය මලුවට වැඩම කර පිරිසුදු කරන්න පටන් ගත්තා.

මේ මොහොතෙහි කැලෑ කොළ සහ ඉතා දුර්ලභව සොයා ගත් මීවදයක් ද රැගෙන මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරමින් සිටියා. චෛත්‍ය මලුවේ වැතිර මිදුල පිරිසුදු කරන කුඩා තෙරුන් වහන්සේ දැක එතැනට ගොස් කුසගින්නෙන් පීඩිතව සිටින බව දැක තමන් අත රැඳී මීවදයෙන් කොටසක් පිළිගැන්වූවා. උන්වහන්සේට පිණ්ඩපාතය අවශ්‍ය නම් තමන්ගේ ගමට වඩින ලෙසත් ආරාධනා කළා.

මිනිසුන් ගිය පසු ගුරු හිමියන්ගේ ආවාසයට වැඩම කර සියලු විස්තර ප්‍රකාශ කළා. තමන් වහන්සේට දායකයින්ගේ ගමට වඩින ලෙසත් ආරාධනා කළ බව පැවසුවා. විස්තර අනුව ගමට බොහෝ දුර බැවින් රාති‍්‍රයේ ම දෙදෙනා වහන්සේ නික්මුණා. හිරු එළිය වැටෙන්නට පෙර එහි වැඩම කර නවාතැන් ගත්තා. අලුයම ගුරු තෙරුන් එහි රඳවා සාමණේර හිමි හිරු උදාවන තෙක් අසල වනයට වැඩම කර භාවනාවේ යෙදුණා. උන්වහන්සේ පැවිදි වූ දින සිට ආරණ්‍යයක ධුතංගය පිරීමට පුරුදුවී සිටීම එයට හේතුව වුණා. නැවතත් හිරු උදාවූ විට තෙරුන් වහන්සේ වෙත වැඩම කර පැන් සහ දැහැටි දඩු ආදිය පිළිගන්වා තෙරුන් වහන්සේට වතාවත් ඉටු කළා. ශරීර කෘත්‍ය අවසන් කර සිවුරු පොරවා ගමට වැඩම කර පිණ්ඩපාතය ලබා ගත්තා. මහලු තමන්ව තනිකර නො දන්වා ම සාමණේර හිමි අලුයම පිටත්ව ගිය ගමන ගැන නො සතුටින් කාලය ගත කළා. දෙවතාවක්ම විමසුවත් පැවසුවේ නෑ. තෙවැනි වතාවේ සාමණේර හිමි තමන් වහන්සේ පුරන ආරණ්‍යයක ධුතංගය ගැන දන්වා සිටියා. එයින් පැහැදුණු ගුරු හිමියෝ ‘’නිග්‍රෝධ හිමියනි, ඔබ තවම තරුණයි, මම ඉතා මහලුයි, මාගේ ජීවත්වීමට වඩා ඔබගේ ජීවත්වීම ශාසනයටත්, අනාගතයටත් ප්‍රයෝජනයක් වෙනවා. අද සිට මම පිණ්ඩපාතයේ වැඩම කරන්නේ නෑ.

ඔබට ලැබෙන දෙයින් අතිරික්ත වන දෙයක් මට දෙන්න. එසේ නැත්නම් ඔබගේ දිවි රැක ගන්න’’ යැයි පවසා සිටියා.

දිනක් සාමණේරයන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කළ අවස්ථාවක මිනීමස් සොයමින් පැමිණි පිරිසක් තෙරුන් වහන්සේ මරා මාංශ ගෙන ගොස් තිබුණා. සාමණේරයන් වහන්සේ ජීවිතය රැක ගත්තා. උපසම්පදාව ද ලබා ගත්තා. දුර්භික්ෂය අවසන් වුණා. විදේශවලට වැඩම කළ තෙරුන් වහන්සේලා පැමිණ මේ හිමියන්ගේ පරිවාර භික්ෂු පිරිස බවට පත්වුණා. පිටත්වන කුමන ගමනක දී වුවත් පිණ්ඩපාතයෙන් අඩුවක් වුණේ නෑ. සිවුපසය පිරී ඉතිරී යන්නට පටන් ගත්තා. දුර්භික්ෂ සමයේ විපාක නොදුන් අතීත කුසල කර්ම කිසිදු ඌන බවකින් තොරව විපාක දෙන්න පටන් ගත්තා. මේ අනුව කතා පුවතින් පෙන්වා දෙන්නේ නිසි කල් පැමිණි විට පෙර පින විපාක දෙන බවයි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]