[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අර්ථය අනර්ථය දැන කරන කියන දෙය තෝරා ගන්න

අර්ථය අනර්ථය දැන කරන කියන දෙය තෝරා ගන්න

එදිනෙදා ජීවිතයේ කළ යුතු හා නොකළ යුතු දෑ බොහොමයකි. කෙනකු ඇතැම් දෑ කරන්නේ කැමැත්තෙනි. එහෙත් අකමැත්තෙන් කරන දෑ ද තිබේ. සැම ක්‍රියාවකටම කැමැත්ත හෝ අකැමැත්ත පදනම් වේ. යමක් කිරීමේ දී පුද්ගල කැමැත්ත හෝ අකැමැත්ත පමණක් නොව එය සිදුකිරීමෙන් වන අර්ථය හා අනර්ථය ද සැලකිල්ලට භාජනය කළ යුතු ය යන්න බුදුරදුන්ගේ අනුශාසනය යි.

මේ පිළිබඳ මනා විවරණයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාත ඨාන සූත්‍රයේ ඇතුළත් වේ. තරමක් සංකීර්ණ සූත්‍රයක් වන එය යමක් නිවැරැදිව සිදුකරන්නේ කෙසේද යන අවබෝධය ලබා ගැනීමට බෙහෙවින් උපකාර වේ. ඒ අනුව ඕනෑම ක්‍රියාවකට අදාළ අවස්ථා හතරක් තිබේ. අකැමැත්තෙන් කරන, අනර්ථදායී ප්‍රතිඵල ඇතිකරන ක්‍රියා, අකැමැත්තෙන් කරන අර්ථදායී ප්‍රතිඵල ඇතිකරන ක්‍රියා, කැමැත්තෙන් කරන අනර්ථකාරී ප්‍රතිඵල ඇතිකරන ක්‍රියා, කැමැත්තෙන් කරන අර්ථවත් ප්‍රතිඵල ඇතිකරන ක්‍රියා යනුවෙනි.පුද්ගලයා විසින් කරනු ලබන සියලුම යහපත් හා අයහපත් ක්‍රියා සියල්ලම මෙම වර්ගීකරණයට ඇතුළත් වේ.

කිසියම් ක්‍රියාවක් සිදුකරන්නේ අකැමැත්තෙන් නම් එහි ප්‍රතිඵලය ද අනර්ථකාරී විය හැකි ය. එය පළමුවැන්නයි.

දෙවැන්නට අනුව යම් ක්‍රියාවක් සිදුකරන්නේ අකැමැත්තෙන් වුව ද එහි ප්‍රතිඵලය අර්ථවත් එකක් විය හැකි ය.

කිසියම් ක්‍රියාවක් සිදුකරන්නේ කැමැත්තෙන් වුවද එහි ප්‍රතිඵලය අනර්ථකාරී විය හැකි බව තුන් වැන්නෙන් අදහස් වේ.

සිව්වැනි සම්භාවිතාව අනුව කැමැත්තෙන් සිදුකරන යහපත් ක්‍රියා අර්ථය හා යහපත පිණිස හේතු වේ.

මෙම සිව් වැදෑරුම් සම්භාවිතාවන්ට අනුව ඕනෑම ක්‍රියාවක් සිදුකිරීමට පෙර එය විනිශ්චයට භාජනය කළ හැකි ය. තවදුරටත් බුදුරදුන්ගේ පැහැදිලි කිරීම අනුව පළමු ගණයේ ක්‍රියා සාකල්‍යයෙන් ම නොකළ යුත්තේ ඒවා දෙ අංශයෙන් ම සාවද්‍ය හෙයිනි. සාවද්‍ය ක්‍රියාව සිදුකිරීමට ඇති කැමැත්ත මෙන්ම එහි ප්‍රතිඵලයත් අනර්ථකාරීවන හෙයිනි.

දෙවැනි හා තෙවැනි සම්භාවිතාවන්ට අදාළ ක්‍රියා එක් අංශයකින් නොකළ යුතු ඒවා වේ. එයට හේතුව එම ක්‍රියා ඒක දේශයකින් අහිත පිණිස පවතින හෙයිනි. පළමු වැන්නට අනුව එය ඇකැමැත්ත හා අනර්ථය කෙළවර කොට ඇති නිසා නොකළ යුතුයි. දෙවන හා තෙවන සම්භාවිතාව අනුව එක්කෝ එම ක්‍රියාව අකැමැත්ත හෝ අනර්ථය යන දෙකින් එකක් කෙළවර කොට පවතින හෙයින් එම ගණයේ ක්‍රියා ද නොකළ යුතු යැයි දක්වා ඇත.

මෙම විවරණය අනුව යමක් ක්‍රියාවට නැංවීමේ දී කැමැත්ත හා අකැමැත්ත වෙනුවට එයින් වන අර්ථය හා අනර්ථය විමසා බැලීම වැදගත් වේ.

ඉහතින් දක්වා ඇති පරිදි පළමු හා සිව්වන වර්ග දෙක පිළිබඳ ගැටලුවක් නොමැත. එය ඕනෑම කෙනකුට පහසුවෙන් වටහා ගත හැකි ය. දෙවැනි හා තෙවැනි කරුණු දෙක සම්බන්ධයෙන් පුද්ගලයාගේ විචාර බුද්ධිය, වීර්යය හා උත්සාහය බලපායි.

එබැවින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් දෙවැනි හා තෙවැනි අංග යටතේ ක්‍රියාවක් විනිශ්චය කිරීමේ දී පුද්ගලයාගේ බුද්ධිමය හැකියාව තීරණාත්මක සාධකය වන බව දේශනා කළහ.

ඒ අනුව අනුවණ පුද්ගලයා (බාලො) යම් ක්‍රියාවක් කිරීමේ දී තමාගේ කැමැත්ත පමණක් සලකා එය සිදුකරන අතර එයින් වන අනර්ථය ගැන සිතා නොබලයි. මෙනිසා එම ක්‍රියාව සිදුකිරීමෙන් ඔහුට අනර්ථයක් ම සිදු වේ. තමා කැමැති වුවත් එම ක්‍රියාව අනර්ථය පිණිස හේතුවන හෙයිනි.

එසේම අනුවණ පුද්ගලයාට තමා අකැමැත්තෙන් වුවත් අර්ථය පිණිස හේතුවන ක්‍රියාව සිදු නොකිරීම හේතුවෙන් ඔහුට පාඩුවක් මිස යහපතක් සිදුනොවේ. මේ අනුව අනුවණ පුද්ගලයා යම් ක්‍රියාවක් සිදුකිරීමේ දී එයින් වන අර්ථය හා යහපත නොසලකා ඒ වෙනුවට තම කැමැත්ත හා අකැමැත්ත පමණක් සලකා බලයි.

එහෙත් නුවණැති පුද්ගලයාගේ විනිශ්චය එයට හාත්පසින්ම වෙනස් ය. නුවණැති පුද්ගලයා (පණ්ඩිත) යමක් කිරීමේ දී ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ එම ක්‍රියාව නිසා වන යහපත පමණි.

යම් ක්‍රියාවක් කිරීමේ දී එයට තමා කැමැති වුවත් නැතත් එයින් වන යහපත හා අර්ථය සලකා එම ක්‍රියාව සිදුකිරීම නුවණැතියාගේ ලක්ෂණය වේ.

තරමක් සංකීර්ණ සුත්‍රයක් වන ඨාන සූත්‍රයේ එන ක්‍රමවේදය නුවණැති පුද්ගලයාට තම ක්‍රියාව හසුරුවා ගැනීමට මහත් සේ උපකාරී වේ. මෙම සුත්‍රයේ එන කරුණු හතර අතුරින් පළමු හා සිව්වැන්න ඉතා පැහැදිලි ය. පළමු වැනි ගණයේ ක්‍රියා සාකල්‍යයෙන් ම නොකළ යුතු අතර, සිව්වන ගණයේ ක්‍රියාව මුළුමණින් ම කළ යුතු වේ. එහෙත් දෙවැනි හා තෙවැනි ගණයේ ක්‍රියා පිළිබඳ තීරණය වන්නේ පුද්ගලයාගේ බුද්ධිය උත්සාහය හා වීර්ය අනුව ය.

යම් ක්‍රියාවක් කිරීමේ දී එය තමාට මනාප වුව ද එයින් වන අයහපත හා අනර්ථය පිළිබඳ සලකා බැලීම අවශ්‍ය වේ. ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි කිසියම් ක්‍රියාවක් සිදුකිරීමේ දී අවසාන හා අත්‍යවශ්‍ය වැදගත් කරුණ වන්නේ පුද්ගල කැමැත්ත නොව එම ක්‍රියාවේ ප්‍රතිඵලය වන අර්ථයයි.

එබැවින් අර්ථවත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාව අනුගමනය කළ යුතුයි. අකැමැත්තෙන් නමුත් අර්ථවත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාව කළ යුතු යැයි නිර්දේශක කොට ඇත්තේ ඒ හෙයිනි.

මේ අදහස ධම්මපදයේ ද දැක්වේ. යම් ක්‍රියාවක් සිදුකිරීම නිසා එහි විපාක කඳුළු සහිත මුහුණින් යුතුව විඳීමට සිදුවේ නම් එම ක්‍රියාව අත්හළ යුතුයි. එහෙත් යම් ක්‍රියාවක ප්‍රතිඵල සතුටු සිතින් යුතුව භුක්තිවිඳීමට සිදු වේ නම් එම ක්‍රියාව සිදු කළ යුතුවේ.

පුද්ගල ක්‍රියාව විනිශ්චය කිරීමේ දී භාවිතයට ගත හැකි මෙවැනි නිර්ණායක රාශියක් බුද්ධ දේශනාවෙහි අන්තර්ගතව තිබේ. බුදුරදුන් වදාළ එම සදාචාරාත්මක නිර්ණායක අනුගමනය කිරීමෙන් එක් අතකින් තමාගේ අකුසල කර්ම නිෂ්පත්තිය වළක්වා ගත හැකි අතර, අනික් අතින් පුද්ගලයාට හා සමාජයට සිදුවන අයහපත හා හානිය වළක්වාගත හැකි වේ.

සිතට ගලා එන අදහස් හා සංකල්ප විචාරයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දුනහොත් සිදුවන්නේ මහත් විපතකි. එබැවින් ඒවා ඇති වූ සැණින් ක්‍රියාත්මක නොකර මොහොතක් එයින් වන අර්ථය හා අනර්ථය සලකා බැලීම අවශ්‍ය වේ.

යට දක්වන ලද ඨාන සූත්‍රයේ බාලයා හා පණ්ඩිතයා යමක් ක්‍රියාවට නැංවීමේ දී ඒ පිළිබඳ සලකා බලන අයුරු වටහා ගැනීම වැදගත් වේ.

බාලයා අනර්ථය නොසලකා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුව තම සිතෙහි පහළවන සිතිවිලි ක්‍රියාවට නංවයි. එහෙත් නුවණැති පුද්ගලයා තම කැමැත්ත හෝ අකැමැත්ත කෙසේ වුව ද එයින් වන අනර්ථය ගැන සලකාබලා කටයුතු කරයි. මේ අනුව යමක් සිදුකිරීමේ දී එයින් වන අනර්ථය හා අර්ථය තෝරා බේරා ගැනීමේ හැකියාව සැම කෙනකුට ම අවශ්‍ය වේ.

අනර්ථය පිළිබඳ පූර්ව වැටහීමක් ඇති පුද්ගලයාට ඉතා පහසුවෙන් තම ක්‍රියාව පාලනය කිරීමට හෝ හසුරුවා ගැනීමට හැකි වේ. එසේම කළ යුත්ත හා නොකළයුත්ත පිළිබඳ වැටහීමක් ඇති තැනැත්තාට ඉතා පහසුවෙන් තම තීරණය ක්‍රියාවට නැංවිය හැකි ය.

අකුසල කර්ම රැස්වීමෙන් නිර්මාණය වන සසර දුක පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ මුහුණ පෑමට සිදුවන විවිධ අර්බුදවලින් මිදීම සඳහා ඨාන සූත්‍රයේ එන බුද්ධාවවාදය බෙහෙවින් උපයෝගී වේ. ඒ අනුව කළ යුත්ත හා නොකළ යුත්ත තීරණය කිරීමේ දී ස්වකීය කැමැත්ත පමණක් නොව එයින් වන අනර්ථය හා අර්ථය මැනවින් සලකා බලා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]