[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැණවතාගේ වගකීම තමන් දමනය කර ගැනීම යි

නැණවතාගේ වගකීම තමන් දමනය කර ගැනීම යි

උදකංහි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිත

(ධම්මපදය - පණ්ඩිත වග්ගය)

ආත්මය නම් ව්‍යවහාරික ලෝකයෙහි තමා හැඳීන්වීම සඳහා භාවිත කරන යෙදුමකි. ආත්ම දමනය සඳහා ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම විවිධ ශාස්තෘවරුන් විවිධ ක්‍රමෝප්‍රයන් භාවිත කරන ලදී. ඒ පිළිබඳ නොයෙක් මතවාදයන් ද ඉදිරිපත් කරන ලදී.

ගෞතම තථාගතයන් වහන්සේගේ පෙන්වාදීම වූයේ අනිච්ච, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ විග්‍රහය තුළින් ආත්මීය වශයෙන් ගතහැකි කිසිවක් නොමැති බවයි. එහෙත් භාවිත ලෝකය තුළ ආත්මීය වශයෙන් ප්‍රකාශ වනුයේ මම නම් වූ මමායනයෙන් යුතු පුද්ගල හැඳන්වීමකි. මෙම හැඳීන්වීම අරහත්භාවය තෙක් ව්‍යවහාර වන අයුරු දහමෙන් දැකගත හැකිවේ.

සම්බුද්ධ දේශනයෙන් ප්‍රකාශිත ආත්ම දමනය පිළිබඳ ගැඹුරින් සිදුකෙරෙන විග්‍රහය වන්නේ සිත දමනය කිරීම පිළිබඳ වූ පුළුල් අදහසක් බව සඳහන් කළ යුතුව ඇත. මෙම ගැඹුරු ඉගැන්වීම තම ශ්‍රාවකයන්ට ග්‍රහණය කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් භාවිත කර ඇති උපමා රූපක ඉතා සිත්ගන්නා සුළු ය.

ජන මනසට ඉතා සමීප සුලභ සිදුවීමක් වන කුඹුරකට හෝ වෙනත් වගාවකට ඇළකින් දොළකින් අමුණකින් ගඟකින් හෝ වැවකින් ආදී වශයෙන් ජලය ගෙන යන අයුරු ඉතා ප්‍රකට ය.

මෙම සුලභ සිදුවීම භාවිතකොට ගනිමින් ආත්ම දමනය සඳහා කෙරෙන මෙම මඟ පෙන්වීම අතිශයින් මනරම් වූව කි. නුවණැත්තන් විසින් තම සිත, දියාලුවන් රිසි සේ දිය ගෙන යන්නාක් මෙන් විදර්ශනාව නම් වූ ඇළ මාර්ගය මඟින් අරමුණු නම් වූ කුඹුරට දිය ගෙන ගොස් භාවනාව නම් වූ ගොයම රෝපණය කළ යුතු බවයි.

එසේම ‘උසුකාර නමයන්ති තේජනං’ යන්නෙන් ප්‍රකාශ වනුයේ හී වඩුවන් හී දඬු අවශ්‍ය ආකාරයෙන් තවා නවා සකසාලීම පිළිබඳව ය. ‘උසුං කරෝතීති උසුකාරෝ’ යන පැහැදිලි කිරීම අනුව හී සාදන්නා යන්න ඉන් කියැවේ.

ඒ අනුව හී නිපදවන්නන් අවශ්‍ය ලෙස තවමින්, නවමින්, සියුම් කරමින්, ඇදකුද හැර රිසි සේ හී නිපදවීම ආත්ම දමනය පිළිබඳව කෙරෙන අපූර්ව වූ ඉගැන්වීමකි. එය දහමට ගලපා ඇත්තේ ඊ දඬුවල ඇද කුද හැර තම නිපැයුම මැනවින් සිදුකරන හී වඩුවන් මෙන් තම සිතෙහි ජනිත ‘මායා සාඨෙය්‍යාදී ඇද කුද අත්හැර දැමීම සිදුකළ යුතු බවයි.

මෙහි ‘දාරුං නමයන්ති තච්ඡකා’ යනුවෙන් දක්වා ඇත්තේ ලී වඩුවන් පිළිබඳ ය. ඔවුන්ගේ කාර්යය ‘තච්ඡති තනුකරෝතීති තච්ඡකෝ’ යන විග්‍රහයට අනුව දැව දඬු අවශ්‍ය ලෙස තුනී කරන්නා තච්ඡක නම් වන බවයි.

මෙම ක්‍රියාදාමය සිත දමනය කිරීම සඳහා යොදාගත හැකි අයුරු දහමින් පෙන්නුම් කරනුයේ අවශ්‍යතා සඳහා දැව දඬු කපා ඉරා යොදා ගන්නා ලී වඩුවන් සේ තදංග වශයෙන් සියලු කෙලෙස් සැස දමමින් සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණ සිත දමනය කරගත යුතු ආකාරයයි.

ව්‍යවහාරික ජීවිතය තුළ අත්විඳීන ජලය කැමති ලෙස කැමති දිශාවකට, කැමති තැනකට ගෙන යාමේ ක්‍රියාදාමය තුළින් ආත්ම දමනය හෙවත් හිත හීලෑ කර ගැනීම කර ගත නොහැක්කක් නොවන බව මින් මනාව පැහැදිලි කොට තිබේ.

හී වඩුවන් ලෙස හඳුන්වා ඇත්තේ ලෝහ කර්මාන්තකරුවන් පිළිබඳව ය.

හී දඬු තමන්ට අවශ්‍ය පරිදි කීකරුකොට ගෙන ඇද හැර නමා සියුම් නිපැයුම් නිමවන ආකාරයයි. ‘ඉසති ආකාසතෝ ගච්ඡතීති උසු’ යන අදහසින් හීය ගමන් කරන ආකාරය දැක්වේ.

එසේ ගුවන සිසාරා ගමන් කළ හැකි ලෙස නිර්මාණය කරන ලද්දේ රළු යකඩය අවශ්‍ය පරිදි හීලෑ කර ගැනීමෙනි. එසේ කළ හැකිවූයේ නම් චිත්ත දමනය ඇති කර ගනිමින් තමා තමාට අවශ්‍ය අයුරින් සංවර කර ගැනීමේ නොහැකියාවක් නැති බව භාග්‍යවතුන් වහන්සේ මෙම උපමාවෙන් පෙන්නුම්කොට ඇත.

තෙවැනි උපමාවෙන් සිදුකෙරෙන ප්‍රකාශනය ඉතා සුලභ එදිනෙදා අත්විඳීන සිදුවීමකි.

කොතරම් දුෂ්කර වුව ද දක්ෂ වඩුකාර්මිකයන් එම දැවවලින් විවිධ විසිතුරු දැව භාණ්ඩ සෑදීම සඳහා අවශ්‍ය නැවීම් දිගහැරීම් ආදියෙන් තමන්ට අවශ්‍ය පරිදි කීකරු කර ගන්නා ආකාරය ඇතැම්විට විශ්මිත වූවකි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සුලභ සිදුවීම සිහිපත් කොට තම ශ්‍රාවකයන් යොමු කරනුයේ එය එසේ කළ හැකි නම් සිත දමනය කොට හීලෑ කර ගැනීමේ නොහැකියාවක් නොමැති බව දක්වමිනි. මෙසේ ආත්ම දමනය ඇති කර ගන්නා පුද්ගලයා සීලයෙහි පිහිටිය යුතු වන්නේ ය.

මෙසේ සිතෙහි ඇතිවන අයහපත් සිතිවිලි දුරුකොට අධිචිත්ත, අධිපඤ්ඤා ශික්ෂාවන්ගෙන් ශික්ෂණයට පත්වන්නන් මිනිස් සැපයෙන් දිව්‍ය සැපයට පත් වේ. එහි ඊළඟ පියවර වන්නේ ධ්‍යාන සැපයට පත්වීම ය. මාර්ග සැපයටත්, ඉන් අනතුරුව ඵල සැපයටත්, ඵල සැපයෙන් නිර්වාණ සැපයටත් පත්ව සසරින් එතෙර වේ.

හීලෑ කර ගත නොහැකි වූ සිත පස්කම් සුවය පසුපස හඹා යාම සාමාන්‍ය සිදුවීමක් වන්නේ ය. වැටකඩොලු නැති ගොවි බිමක් අනාරක්ෂිත වීමක් වැනි ය. පස්කම් සුවයෙහි දීර්ඝ කාලීනව නතුව ඇති සිත ඉන් ආපසු හැරවීම පහසු නොවන අතර ඒ සඳහා නැණවත් බව අවශ්‍ය වේ.

මෙම තථාගත දේශනය සඳහා පාදක සිදුවීම ද ඉතා රසවත් වූවකි. සැවැත්නුවර විසූ එක්තරා සිටු පවුලක් සැරියුත් මහතෙරුන් හා සමඟ ඉතා කුළුපග විය.

මෙම සිටු යුවලට ඉතා පුණ්‍යවන්ත පුත්කුමරකු ලැබුණේ එම කුඩා කුමරුවන් උපතින්ම ඉතා නුවණැත්තකු විය. එම නැණවත් බව සැලකිල්ලට ගෙන මෙම කුමරුවා නම් තැබීමේ දී ‘පණ්ඩිත’ යන නම තබන ලද්දේ ය.

පුණ්‍යවන්ත ගති ස්වභාවයන් සඳහා හේතුවී ඇත්තේ ද කාශ්‍යප බුදුරදුන් දවස ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන ලද දානමය පින්කමකි.

එ දවස මෙතෙම බැල මෙහෙවරින් දිවි රැකගත් අතිශය දිළින්දෙකි. නම්කොට තිබුණේ ද මහ දුගියා යන නමිනි. එවන් වූ මහ දුගියාත් ඔහුගේ බිරිඳත් ඉතා දුක සේ උපයාගත් දැයින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව කසුප් බුදුරදුන්ට දානය සකසා පිළිගැන්වීය.

මහා දුගියෙක් ව සිට පූජා කරන ලද එම දානයෙහි අනුසස් එකෙනෙහි ම ලැබ රජු විසින් හෙතෙම එම නගරයෙහි සිටු තනතුරට ද පත්කෙරිණි.

අනතුරුව බොහෝ පින්කම්වල නිරත වූ සිටුවරයා සිදු කර ගන්නා ලද මහා පින්කම්හි අනුසස් විඳීමින් සිට ගෞතම බුදුරදුන් දවස ඉහත සිටු කුලයෙහි උපන්නේ ය. පිනෙන් හා නැණින් යුතුවූයේ තම සිටු මැදුරට නිතර වැඩමවන භික්ෂුන් දැක ලබන ලද ඇසුරෙන් යුතුව සත් හැවිරිදි වියේ දී පැවිදිවනු කැමති වූයේ සැරියුත් මහ තෙරුණ් වෙතින් පැවිද්ද ලබන ලදි.

පැවිද්ද ලැබූ දිනයේ පටන් පිළිවෙත්හි නියැළුණ පණ්ඩිත සාමණේරයන් ඇදුරු තෙරුණ් සමඟ පිඬු පිණිස හැසිරෙන එක් දිනෙක දියාලුවන්ගේ දිය ගෙන යාමත්, හී වඩුවන්ගේ ඊතල තැනීමත් ලී වඩුවන්ගේ නිම් වළළු ආදී දැවයෙන් කෙරෙන නිර්මාණ ආදියත් දකිනුයේ විහාරයට පැමිණ එම දර්ශනයන් අරමුණු කොට බවුන් වඩා රහත් භාවයට පත්වුණි.

මෙම රහත් සාමණේරයන්ගේ එම අදහස දැක අගය කොට දම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ගොවියන් හා කාර්මිකයන් තම නිර්මාණ ආදී අවශ්‍යතා සඳහා ජලය ලෝහ හා දැව දඬු කීකරු කර ගන්නාක් මෙන් නුවණැත්තෝ තම සිත ඇද හැර දමනය කොට උතුම් නිවන් සුවයට පැමිණෙන බව වදාළ සේක.

ඒ අනුව ආත්ම දමනය සිදුකර ගනිමින් සිතෙහි ඇදකුද හැර උතුම් නිවනින් සැනසීම සඳහා අධිෂ්ඨානශීලි විය යුතුව ඇත.

ඉහත සිටු කුලයෙහි උපන්නේ ය. පිනෙන් හා නැණින් යුතුවූයේ තම සිටු මැදුරට නිතර වැඩමවන භික්ෂුන් දැක ලබන ලද ඇසුරෙන් යුතුව සත් හැවිරිදි වියේ දී පැවිදිවනු කැමති වූයේ සැරියුත් මහ තෙරුන් වෙතින් පැවිද්ද ලබන ලදී.

පැවිද්ද ලැබූ දිනයේ පටන් පිළිවෙත්හි නියැළුණ පණ්ඩිත සාමණේරයන් ඇදුරු තෙරුන් සමඟ පිඬු පිණිස හැසිරෙන එක් දිනෙක දියාලුවන්ගේ දිය ගෙන යාමත්, හී වඩුවන්ගේ ඊතල තැනීමත්, ලී වඩුවන්ගේ නිම් වළළු ආදී දැවයෙන් කෙරෙන නිර්මාණ ආදියත් දකිනුයේ විහාරයට පැමිණ එම දර්ශනයන් අරමුණු කොට බවුන් වඩා රහත් භාවයට පත්වුණි.

මෙම රහත් සාමණේරයන්ගේ එම අදහස දැක අගය කොට දම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ගොවියන් හා කාර්මිකයන් තම නිර්මාණ ආදී අවශ්‍යතා සඳහා ජලය ලෝහ හා දැව දඬු කීකරු කර ගන්නාක් මෙන් නුවණැත්තෝ තම සිත ඇද හැර දමනය කොට උතුම් නිවන් සුවයට පැමිණෙන බව වදාළ සේක.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]