[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික කුරින්දි විහාර බිමේ පද්මාකාර කබොක් ස්තූපය සංරක්ෂණයට

ඓතිහාසික කුරින්දි විහාර බිමේ පද්මාකාර කබොක් ස්තූපය සංරක්ෂණයට

ත්‍රස්තවාදී යුද්ධය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන රැසක් ජනතා වන්දනාමානයෙන් දුරස් වුණා. එසේ ජනතා වන්දනාමානයෙන් ඈත් වූ එක් වැදගත්ම සිද්ධස්ථානයක් වන්නේ මුලතිව් හි කුරුඳු මලේ හෙවත් කුරින්දි විහාරයයි. කුරුන්දාශෝක විහාරය ලෙසින් ද අතීතයේ හඳුන්වා ඇති මේ පුදබිම අංශ කීපයකින් අපට වැදගත් වනවා. එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා මේ පුදබිම හඳුනාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කළා.

එහෙත් එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් නොමැති වීම නිසා ය. එහි ඇති වැදගත්කම එල්ලාවල මේධානන්ද හිමියන් විසින් වරින් වර කරළියට ගෙන එන්නට වුණා. විශේෂයෙන් ම කබොක් ගලෙන් නිර්මාණය කරන ලද මෙවන් ස්තූපයක් ශ්‍රී ලංකාවේ වෙනත් තැනක දක්නට නොලැබෙන බවත් එවන් දාගැබක විශේෂත්වය ගැනත් උන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන්නා. ඒ අනුව එවකට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය දැරූ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් එම කැණීම් සඳහා ඇස්තමේන්තුගත කළ සම්පූර්ණ මුදල වන ලක්ෂ 16කට ආසන්න මුදලක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. කුරින්දි විහාරයේ කැණීම් ආරම්භ වුණේ ඒ ලෙසින්. කැණීම් කටයුතු නිමවා එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීමට ද ලක්ෂ 60ක පමණ මුදලක් අවශ්‍ය වූ අතර ජගත් සුමතිපාල මහතා විසින් එය ද ලබා දුන්නා.

පද්මාකාර හැඩයෙන් යුත් මෙරට එකම කබොක් ස්තූපයේ සංරක්ෂණ කටයුතු කෙරෙන ආකාරය සොයා බලන්නට අප එහි ගියා.

මැදවච්චියේ සිට යාපනය පාරේ ඒ 9 මාර්ගයේ ගොස් පුලියන්කුලමෙන් දකුණට හැරී නෙදුන්කර්නි හරහා මුලතිව් දක්වා ගොස් මුලතිව් - කෝකිලායි මාර්ගයේ කෝකිලායි දෙසට කිලෝ මීටර් 12 ක් අලම්පිල් දක්වා ගොස් එතැනින් දකුණට හැරී කුමුලමුනේ මාර්ගයේ ගොස් කිලෝ මීටර් 13 ක් ගමන් කරන විට වනගතව කඳු මුදුනක පිහිටා ඇති කුරුඳුමලේ පුදබිමට ළඟා වන්නට පුළුවන්.

අක්කර 75ක භූමියක් කුරුඳුමලේ පුදබිමට අයත් වනවා. අඩි 68ක් දිගකින් හා අඩි 64ක් පළලින් යුක්ත ප්‍රාකාරයකින් වට වූ ස්තූපයේ උස අඩි 45ක්. එහි විෂ්කම්භය අඩි 42ක්. මේ සිද්ධස්ථානයට පිළිම ගෙයක්, උපෝසථාගාරයක්, සඳකඩපහණ ආදිය ඇතුළත් වනවා. ඒ වගේම ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පහළින් පිහිටි වැවට අමතරව කඳු මුදුනේ විශාල පොකුණක් ද දක්නට තිබෙනවා.

වෙනත් සිද්ධස්ථානවල දක්නට නැති යමක් මෙහිදී සොයා ගෙන තියෙනවා. එය රවුම් හැඩැති ශිලා පහනක් බවයි ඇතැම් පුරා විද්‍යාඥයන්ගේ මතය වන්නේ.

කුරින්දි විහාරයේ ඓතිහාසික වටිනාකම ගැන පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් කරුණු විමසුවා.

‘‘ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 හෝ 11 පමණ දක්වා සංවර්ධනය වෙමින් පැවති ආගමික ස්ථානයක් ලෙස කුරින්දි විහාරය හඳුන්වන්න පුළුවන්.

අටුවා ලියන කාලෙ කුරින්දි අටුවාව ලියූ ස්ථානය කුරින්දි විහාරය ලෙසින් හැඳීන්වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. මෙහි රහතන් වහන්සේ මෙන්ම ත්‍රිපිටකධර ස්වාමීන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බවට බොහෝ සාධක තියෙනවා.

මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේ එක් රැස් වූ ස්ථානයක් බවට දැනට හඳුනාගත් ලක්ෂණ වලින් පෙන්වා දෙන්න පුළුවන්.

අපි මේ සම්බන්ධයෙන් බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති හා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගෙන් ද කරුණු විමසුවා.

‘‘එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් දැන ගන්නට ලැබුණා මේ කුරින්දි විහාරස්ථානය ගැන. එහි කැණීම් කිරීමේ දී අර්බුද මතුව අධිකරණය දක්වා යන්නට ඒ ස්වාමීන් වහන්සේලාට සිදුවුණා. අපි බෞද්ධ උරුමය වෙනුවෙන් ඒ සියලු වියදම් දැරුවා.

නමුත් 2020න් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලොකු ගැටලුවක් මතු වුණා මුදල් නොමැතිකම නිසා මේ කටයුතු කරන්න බැරිවීමෙන්. පසුව අපි ඒ සම්බන්ධයෙන් රුපියල් 15,44,000ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගත්තා.

එහි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 55ක ඇස්තමේන්තුවක් කර තිබෙනවා. ඒ මුදල ලබා දෙන්නට මම සූදානමින් ඉන්නෙ. ඒත් කබොක් ගල් සැපයීමේ ප්‍රශ්නය තමයි අපට තියෙන්නෙ. මෙවන් පද්මාකාර ස්තූපයක් මෙරටින් හමුව නැහැ.

ස්තූපය පමණක් නෙමෙයි විහාර සංකීර්ණයේ සියලු කැණීම් කරන්න හා සංරක්ෂණය කරන්න අපි බෞද්ධයන් වශයෙන් දායකත්වය දක්වන්න සියලු කටයුතු සූදානම් කර තියෙන්නෙ. ‘‘

ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේ දී කුරුන්දවාශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය තියෙනවා.

ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ දී උන්වහන්සේ කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට තිබෙනවා.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]