[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාබෝපිටියේ විමලඤාණ නාහිමියෝ දඹදෙණි හත්පත්තුවේ ද්විතීක සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මාබෝපිටියේ විමලඤාණ නාහිමියෝ දඹදෙණි හත්පත්තුවේ ද්විතීක සංඝනායක පදවියෙන් පිදුම් ලබති

****

සංඝ සෝභන ගුණයෙන් යුතු මහ තෙර නමකි

වැහැර පුරාණ ටැම්පිට විහාරය, දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද විහාරය යන විහාරද්වයාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ දඹදෙනි හත්පත්තුවේ ද්විතීක සංඝනායක මාබෝපිටියේ විමලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දැන උගත්, සංඝ සෝභන ගුණයෙන් යුත් කීර්තිමත් තෙර නමක් වශයෙන් ප්‍රදේශයේ ගිහි පැවිදි කා අතරත් ප්‍රසාදය දිනා ඇති මහා තෙර නමකි.

ස්වකීය ආචාර්යයන් වහන්සේලා ඇසුරෙන් ලද ධර්මානුකූල ශික්ෂණයත්, ශාසන මාමක ආකල්පත්, ලබා ගත් අධ්‍යාපනික ඥානයත්. උපයෝගීත්වයෙන් පිරිවෙන් ක්ෂේත්‍රයේ ආචාර්යවරයකු වශයෙන් ද, පරිවේණාධිපති හිමිනමක් වශයෙන් ද සිදුකර ඇති අමිල සේවය ප්‍රශංසනීය ය. සසුනේ පැවැත්ම උදෙසා දැන උගත් ශිෂ්‍ය බාලාදීන් ශාසනික සේවාව සඳහා දායාද කර තිබීම උන්වහන්සේගෙන් සිදුවන ශාසනික සේවාවන් අතර ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකි ය.

උන්වහන්සේ විසින් ඉටුකරමින් පවතින එම සේවාවන් අගයනුවස් දඹදෙණි හත්පත්තුවේ ද්විතීක සංඝනායක පදවිය පිරිනැමීමට අප අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව ඒකමතික තීරණය කළ බව මෙහිලා සඳහන් කරන අතර, මෙවන් ශාසනික සේවාවන් රාශියකට දායකත්වය සපයන උන්වහන්සේට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් තවත් චිරාත් කාලයක් ශාසනික සහ සමාජයීය සේවාවන් සිදු කරගෙන යෑමට ශක්තිය, ධෛර්යය, නිදුක් නීරෝගි සුවය සහ චිර ජීවනය ලැබේවා! යි ආශිංශනය කරම්හ.

****

උදාර මෙහෙවරක් කිරීමට ශක්තිය ලැබේවා

මමත් මාබෝපිටියේ විමලඤාණ නායක ස්ථවිරයන් වහන්සේත් එකම පළාතක එකම දිස්ත්‍රික්කයේ ඉතා සමීප ගම් දෙකක උපන් අය වෙමු. උන්වහන්සේ ස්වකීය නිකාය පාර්ශ්වයේ සුවිශේෂ තනතුරක් ලැබීම ගැන මා පෞද්ගලිකව සතුටු වන්නේ එය අපේ ගම් ප්‍රදේශයට ද ඉමහත් ගෞරවයක් වන බැවිනි.

විවිධ කුසලතාවන්ගෙන් පිරි විමලඤාණ ස්ථවිරයන් වහන්සේ කුමන තනතුරක් ලැබුණත් එම තනතුරට සාධාරණය ඉටුවන ලෙස ක්‍රියා කරන බව ආචාර්යවරයකු වශයෙන් නියෝජ්‍ය පරිවේණාධිපති හා පරිවේණාධිපති වශයෙන් මෙන්ම විහාරාධිපති වශයෙන් ද ප්‍රකට කර ඇත. ඒ අනුව ලැබූ අභිනව නායක පදවිය ගෞරව නාමයක් ලෙස වැළඳ නොගෙන අනෙකුත් නායක තෙරවරුන්ට ද ආදර්ශයක්, වන පරිදි භාවිත කරමින් ස්වකීය නිකාය පාර්ශ්වයට පමණක් නොව සමස්ත භික්ෂු සමූහයටත් ලංකා සම්බුද්ධ ශාසනයටත් උදාර මෙහෙවරක් කිරීමට අවශ්‍ය කායික, මානසික නීරෝගී භාවය සහ ධෛර්ය සම්පන්න භාවය ඇතිවේවා’යි පෞද්ගලිකව මගේත් පොදුවේ අමරපුර භික්ෂු වංශයේත් ආශිර්වාදය පළකරමි.

****

ආගමික සාමාජික මෙහෙවර අගයමු

කෑගල්ල තෙලිජ්ජගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය මාබෝපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා උඩෝවිට ශ්‍රී බිම්බාරාම අධිපති අතිගරු ඉල්වානේ සීලවංස මාහිමියන්ගේ මග පෙන්වීමෙන් වර්ෂ 1976-09-6 වන දින මාතලේ මාදිවෙල මහ වැහැර පුරාණ විහාරාධිපති සද්ධර්මාචාර්ය මහෝපාධ්‍යාය පූජ්‍ය වැහැර විමලසාර ලොකු හාමුදුරුවන්, නාරම්පනාවේ පඤ්ඤාසාර නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මාබෝපිටියේ විමලඥාන නමින් පැවිදි බිමට පත් විය.

1984 වර්ෂයේ දී අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගත් විමලඥාන නාහිමි සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත ධර්මධර විනයධර භික්ෂුවරයන් වහන්සේ නමකි.

මාතලේ වාලවෙල කපුකොටුව ශාන්ති නිකේතන පිරිවෙනින් සහ පොල්ගහවෙල විද්‍යාර්ථෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පන්ති සාමර්ථයක් ද සහිතව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබාගත් විමලඥාන හිමියෝ මේ රටේ දැන උගත් භික්ෂුවරයෙක් වශයෙන් කාගෙත සම්භාවනාවට පාත්‍ර වී ඇත. 1989 වර්ෂයේ සිට පිරිවෙන් ආචාර්යවරයකු ලෙස සේවය කරමින් පරිවේනාචාර්ය නියෝජ්‍ය පරිවේනාධිපති වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු ලබමින් ශබ්ද ශාස්ත්‍ර ආදියෙහි පුනර්ජීවනය වෙනුවෙන් අමිල සේවයක් කළ තෙරනමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ආගමික, ජාතික, සමාජීය, ශාසනික හා අධ්‍යාපනික වශයෙන් උන්වහන්සේ සිදු කළ මෙහෙවරට ගෞරව වශයෙන් වයඹ පරිවේනාධිපති සංගමය මඟින් වැලිවිට සරණංකර සංඝරාජ නාහිමි සම්මානයත් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඒහිපස්සක සම්මානයත් පිරිනමා ඇත.

ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය මගින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිත ව දඹදෙණිය හත්පත්තුවේ ද්විතීක සංඝ නායක පදවිය පිරිනැමීම වෙනුවෙන් තත් විහාර පාර්ශ්වයට ද අපගේ ද ගෞරවය හිමිවන බව සඳහන් කරමි.

****

මහා ශාසනික මෙහෙවර කෘතවේදීව අගය කරමු

පොතුහැර දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, ගෞරවාර්හ මාබෝපිටියේ විමලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමිපාණන් ප්‍රධාන කාරක සංඝ සභාව වෙතින් “සද්ධර්ම කීර්ති ශී‍්‍ර විමලසාර විමලඥාණ” යන ගෞරව නාමය සහිතව “දඹදෙණි හත්පත්තුවේ ද්විතීක සංඝනායක” පදවිය පිරිනැමීමේ පුවත අසා මා අතිශයින් ම සතුටට පත්වීමි.

1989 වර්ෂයේ දී පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථොදය පිරිවෙනේ පරිවේණාචාර්ය තනතුරට පත් ව, 1992 වර්ෂයේ දි නියෝජ්‍ය පරිවේණාධිපති තනතුරටත්, 1996 වර්ෂයේ දී එම පිරිවෙනෙහි පරිවේණාධිපති තනතුරටත් පත් ව 2019 වර්ෂය දක්වා ඉමහත් මෙහෙවරක් ඉටු කරති.

දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරයේ විහාරාධිපති ලෙස විහාරස්ථානයේ වැඩි දියුණු කිරීමේ කාර්යයන් මනා ලෙස ඉටු කරමින් හා විහාරස්ථානය හා සහසම්බන්ධ දායකකාරකාදීන් හා සමාජ සංවිධාන සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා අනුශාසනා ලබා දෙමින්, උදාර මෙහෙවරක නියැළෙන අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුපේෂල ශික්ෂාකාමී තෙර නමකි.

ආගමික, සමාජයීය මෙන්ම ශාසනයේ චිරස්ථිතියට අවැසි අපමණ මෙහෙවරක නියැළෙමින් වැඩ වසන මාබෝපිටියේ විමලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිත පෙරටුව ප්‍රාර්ථනා කරමි.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]