[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත මහෝත්සවය 20 වැනිදා

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත මහෝත්සවය 20 වැනිදා

සවස 2.30 ට කොස්ගොඩ හෑගල්ල සිරි සුනන්දාරාමයේ දී

කොස්ගොඩ සිරිවිමල නාහිමි

 

****

සඟ පරපුර ශෝභමානවත් කරන යතිවරයාණෝ

කොස්ගොඩ, හෑගල්ල සිරි සුනන්දාරාමාධිපති, ත්‍රිවිධ හමුදා ආගමික උපදේශක පූජ්‍යපාද කොස්ගොඩ සිරිවිමල ස්ථවිරපාදයන් වහන්සේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්තිය පිළිබඳ මාගේ බලවත් සතුට හා ආශිර්වාදය පළමු කොට පුද කර සිටිමි.

ගොඩපිටිය සිරි නිවේසාරාමස්ථ සඟ පරපුර ධර්ම විනයධර ශික්‍ෂාකාමී බහුශ්‍රැත පරපුරක් ලෙස චිරප්‍රසිද්ධියට පත් මහානායක, අනුනායක, ලේඛකාධිකාරී නාහිමිපාණන් වහන්සේලා වැඩසිටිය පරපුරකි. එම සම්භාව්‍ය සඟ පරපුරේ වර්තමාන ජ්‍යෙෂ්ඨතම සංඝපිතෘන් වහන්සේ කොස්ගොඩ සිරිවිමල නායක ස්ථවිරපාදයන් වහන්සේ ය.

තිස් වසරක් තිස්සේ අප රටේ පැවැති මහා යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාව සමඟ කටයුතු කරමින් සෙබළාගේ සිට උසස් ම නිලධාරියා දක්වා චිත්ත ධෛර්ය ඇති කරලීම සඳහා මාර්ගෝපදේශ සපයමින් ත්‍රිවිධ හමුදාවේ ආගමික උපදේශකවරයකු ලෙස උන්වහන්සේ සිදු කළ මෙහෙවර සුවිශාල ය. එසේම සදාචාරය, සංස්කෘතිය හා හැදියාව සමාජගත කිරීම සඳහා තරුණ කණ්ඩායම් මෙහෙයවමින් සිදු කළ සමාජීය සත්කාරක සේවය ද අගය කළ යුතු ම ය. අභිනව නායක පදවිය තුළින් තවතවත් ලෝ සසුන් වැඩ වඩන්නට තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා'යි ප්‍රාර්ථනා කරම්හ.

****

අල්පේච්ඡතාදි ගුණයෙන් යුතු මහ තෙර නමකි

දකුණු සිරිලක ගාලු දිසාවේ ඓතිහාසික වාලුකාතීර්ථ පුණ්‍ය භූමියට අයත් කොස්ගොඩ ග්‍රාමවරය සිරිවිමල නාහිමියන්ගේ ජාත භූමියයි. වර්ෂ 1952 මාර්තු 21 වැනි දින හෙන්දාදුර සයිමන් ද සොයිසා හා අප්පුවාදුර මැසිලින්හාමි ද සොයිසා දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස මෙලොව එළිය දුටු උන්වහන්සේගේ ගිහි කල නම ගාමිණී ද සොයිසා ය.

මූලික පැවිදි අධ්‍යාපනය රන්දොඹේ ශික්‍ෂාලංකාර මහ පිරිවෙනේ අතිපූජ්‍ය කොස්ගොඩ පඤ්ඤාසීහ අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය වෙතින් ලැබූ සිරිවිමල සාමණේරයෝ බද්දේගම රතනසාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් ව උසස් අධ්‍යාපනය හැදෑරූහ. අනතුරුව ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා පත්තර මහ ගෙදර වූ ලේක්හවුසියට සම්බන්ධව යොවුන් ජනතා පුවත්පත හරහා ජීවිතාලෝකය නමින් තීරු ලිපි මාලාවක් පළ කරමින් තරුණ ප්‍රජාවගේ චින්තනය සදාචාරයට යොමු කරන්නට සමත් වූවා සේ ම ඒ තුළින් අතිශය ජනාදරයට ද පත් වූහ.

තිස් වසරක් පුරා විහිදුණු කුරිරු යුද සමයේ දී උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවතුණු ප්‍රදේශවලට වැඩම කළ සිරිවිමල හිමියෝ සාමාන්‍ය සෙබළාගේ පටන් උසස් ම නිලධාරීන්ගේ ද චිත්ත ධෛර්ය හා මානසික සුවතාව ඇති කිරීමට විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළහ. සිරිවිමල හිමියන්ගේ දිරිගැන්වීම් හා ආශිර්වාද කිරීම් හි අගය වටහා ගත් බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මහතාගේ නිර්දේශය මත 1993.03.03 උන්වහන්සේ යුද හමුදා කමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආගමික උපදේශක ධූරයට පත් වූහ.

ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය, සිංගප්පූරුව, මැලේසියාව, කාම්බෝජය, නේපාලය, ඉන්දුනීසියාව, අමෙරිකාව ආදී රටවල්වලට වරින්වර වැඩම කළ සිරිවිමල හිමියෝ ධර්මදූත කටයුතු සිදු කරමින් ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමට සමත් වූහ. ඒ නිසාම උන්වහන්සේ වටා විදේශීය ගිහි පැවිදි විශාල හිත මිතුරන් මෙන්ම දායක දායිකාවන් පිරිසක් සිටිති. අල්පේච්ඡතාදී ගුණයන්ගෙන් සමූපලක්‍ෂිත නිහතමානී චරිතයකින් යුක්ත වෙති. බලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙසත්, සභාපතීන් වහන්සේ ලෙසත් කටයුතු කරමින් ප්‍රදේශයේ දහම් අධ්‍යාපනය දියුණු කරන්නට සුවිශාල මෙහෙයක් සිදු කළහ. එම කාලය තුළ දී බලපිටිය විහාරාධිපති සංගමය පිහිටුවන්නට මූලිකත්වය ගෙන එහි සභාපති පදවියට ද පත් වූ සිරිවිමල හිමියෝ විහාරස්ථාන හා භික්‍ෂූන් වහන්සේලාගේ සුබසිද්ධිය වෙනුවෙන් ද සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් ප්‍රදේශයට ශාසනික නායකත්වය ලබා දුන්හ.

සිරිවිමල හිමියන් විසින් සිදු කරන ලද ජාතික ආගමික සාමාජික සේවාවන් අගය කළ උන්වහන්සේ අයත් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සුධර්මා කාරක සංඝ සභාව 2010 වර්ෂයේ දී බෙන්තර වළල්ලාවිට කෝරළයේ ද්විතීය සංඝනායක පදවිය ද, 2014 වර්ෂයේ දී බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනැමූ අතර, 2020 වර්ෂයේ දී ‘සිරිවිසුද්ධඅරියවංසපාල සිරිසුමේධවංසාවතස සිරිනිවාසවංසාලංකාර’ ගරුනාම සම්මුතිය සහිතව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ.

අභිනව පදවිය තුළින් කොස්ගොඩ සිරිවිමල නාහිමියන්ට තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට නිදුක් නිරෝගී සුවය හා ශක්තිය ධෛර්ය ලැබේවා'යි ආශිර්වාද කරමි.

****

සසුන් කෙත අස්වැද්දීමට ශක්තිය ලැබේවා

සසුන් කෙත නම් වූ නිල් අඹරේ සූර්ය රාජයා මෙන් සිරිවිමල නාහිමියන් ශාසනයට අමතරව රටට දැයට හා සාහිත්‍යයට කළ මෙහෙවර අතිමහත් ය.

වසර තිහක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයකින් ලංකා මාතාව පීඩාවට පත් වෙද්දී වසර ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල චාරිකාවේ යෙදෙමින් රට දැය බේරා ගැනීමට ඉදිරිපත් වූ විරුවන්ගේ චිත්ත ධෛර්ය ඉහළ දැමීමට සිදු කළ අනුපමේය සේවාව ගෞරවයෙන් සිහිපත් කරමි. ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ රෙජිමේන්තුවල අනුශාසක ධූරයන්ට පත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු පළාත් බෞද්ධ කටයුතු උපදේශක තනතුර ද පිරිනමන ලද්දේ උන්වහන්සේ විසින් කරන ලද මෙහෙවර ඇගයීමක් ලෙස ය.

‘සිරිවිසුද්ධඅරියවංසපාල සිරිසුමේධවංසාවතස සිරිනිවාසවංසාලංකාර’ ගරු නාම සම්මුතිය සහිතව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන කොස්ගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේට තව චිරාත් කාලයක් සසුන් කෙත අස්වද්දා රට දැයට මෙහෙවර කිරීමට ඇවැසි ශක්තිය ධෛර්ය ලැබේවා'යි නමස්කාර පුර්වකව හදපිරි සුබ පැතුම් පිරිනමමි.

****

සැමට ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි

ශ්‍රී ලාංකික ඉතිහාසයේ ශාසනික මෙහෙවර වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයන් ඉටු කරනු ලැබූ දක්‍ෂිණ පුරවරයෙන් බිහි වූ ආගමික යතිවරයන් වහන්සේ නමක් වන කොස්ගොඩ හෑගල්ල සිරි සුනන්දාරාමාධිපති අතිපූජ්‍ය කොස්ගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ වෙත දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියේ අක්තපත්‍ර පිරිනැමීමේ අවස්ථාව වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ශාසනාලයෙනි.

වර්ෂ 1964 දී කොස්ගොඩ සිරිවිමල නමින් කොස්ගොඩ ගොඩපිටිය සිරි නිවේසාරාමයේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වී මේ වන විට වසර 57කට ආසන්න කාලයක් තුළ සිදු කර ඇති ශාසනික සේවාව ඉතාමත් සුවිශේෂී වේ. රන්දොඹේ ශික්‍ෂාලංකාර මහා පිරිවෙණ හා බද්දේගම රතනසාර පිරිවෙණ වෙතින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කළ උන්වහන්සේ ප්‍රදේශය තුළ ආගමික ප්‍රබෝධය වර්ධනය කිරීම සඳහා සිදු කළ සේවාව අතිමහත් ය.

සැමට ආදර්ශවත් අල්පේච්ඡ ජීවිතයක් ගත කළ නාහිමිපාණන් වහන්සේගේ ශාසනික හා සාමාජීය සේවාව ඇගයීම සඳහා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිළිගැන්වීමට ක්‍රියාකිරීම නාහිමියන් සිදු කරන ශාසනික සේවාව වෙනුවෙන් සිදු කරනු ලැබූ ගෞරවයක් හා දිරිගැන්වීමක් ලෙස මම සලකමි. ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සමස්ත රට වැසියන්ගේ ද ඉමහත් ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් අතිපූජ්‍ය කොස්ගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ වෙත පිදෙන දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය තුළින් චිරාත් කාලයක් ශාසනික සේවාවන් සිදු කිරීම සඳහා දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]