[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා

කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා

කළ කී දෑ නිසා හටගත් කර්ම ශක්තිය තමන් සමග පසුපසින් ලුහුබඳීමින් පැමිණෙයි.

එහි දී යහපත් ලෙස ජීවත් වූවන් රැස් කරගන්නේ කුසල් ය; පින් ය. එය තමා අත් නොහැර යන සෙවණැල්ල මෙන් පසුපසින් එයි. ඒ බව “ඡායාව අනපායිනී” යනුවෙන් ධම්මපද පාලියේ සඳහන්ව ඇත.

අයහපත් ලෙස ජීවත් වූවන් රැස්කර ගන්නේ අකුසල් ය. පව් ය. එය තමා පසුපසින් පැමිණෙන්නේ ගොනා පසුපස පැමිණෙන කරත්ත රෝදය මෙනි. “චක්කංව වහතෝ පදං” යනුවෙන් එය ධම්මපද පාලියෙහි සඳහන් වී ඇත.

බොදුනුවෝ ක්ෂේම භූමියක් සොයා ඉමක් කොනක් නැති සසර ගමනේ සැරිසරති. ඒ අතරින් සමහරු බුද්ධියෙන් විමසමින් සැබෑ මාවත සොයා පිය මං කරති. සමහරු හසරක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් වල්මත් වී සිටිති.

කෙසේ වෙතත් තමන් කළ කී දෑ නිසා හටගත් කර්ම ශක්තිය තමන් සමග පසුපසින් ලුහුබඳීමින් පැමිණෙයි.

එහි දී යහපත් ලෙස ජීවත් වූවන් රැස් කරගන්නේ කුසල් ය; පින් ය. එය තමා අත් නොහැර යන සෙවණැල්ල මෙන් පසුපසින් එයි. ඒ බව “ඡායාව අනපායිනී” යනුවෙන් ධම්මපද පාලියේ සඳහන්ව ඇත.

අයහපත් ලෙස ජීවත් වූවන් රැස්කර ගන්නේ අකුසල් ය. පව් ය. එය තමා පසුපසින් පැමිණෙන්නේ ගොනා පසුපස පැමිණෙන කරත්ත රෝදය මෙනි. “චක්කංව වහතෝ පදං” යනුවෙන් එය ධම්මපද පාලියෙහි සඳහන් වී ඇත.

සිංහල ගැමි සමාජයේ ඉතා ඈත අතීතයේ සිට ගැල් මත පටවා ගත් බඩු සහිත කරත්ත ගවයින් විසින් ඇදගෙන යනු ලැබීම ආර්ථිකයේ ප්‍රධාන ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකි ය. ගැල් මත බඩු පටවා ගවයින් විසින් හපුතලේ කිරිගල්පොත්ත ආදි කඳු තරණය කරනු ලැබීම වරෙක ජන කවියා විස්තර කළේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු ජීවිතයේ යථාර්ථය ප්‍රදර්ශනය වන පැතිකඩක් ලෙසිනි. එහෙත් වරෙක එහි ගැමි සුන්දරත්වයක් ද පවතියි.

මෙම පැරැණි ගොනු බැඳී කරත්තයත්, මෙම දේශයේ හෙළයනුත් අතර ඇත්තේ අත්‍යන්ත සංයෝගයකි. බොහෝ විට ඒ පිළිබඳ රචනා වූ ගීත කවි අපමණ ය. මිනිසාගේ සංසාර ගමනේ ජීවන යාත්‍රාවට මෙය උපමා කිරීම මඟින් සසර ගමනේ මිනිසා විඳීන දුකට සමාන දුකක් කරත්තය බැඳී ගවයා මෙන්ම ගැල්කරුවා ද විඳීනු ලබයි.

අමරදේවයන් විසින් ගායනා කරනු ලබන මෙම ගී පදවැල තුළ මිනිසාගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ තොරතුරු සැඟවී පවතියි.

කරදර පොදි බැඳ ගැල පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මඟ අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
සීපද මුවගින් පිට වෙනවා

ගැලපිට පටවා ඇත්තේ කරදර නම් පොදි ය. එය වරෙක කරදර වන්නේ ගැල අදින ගොන්නුන්ට ය. ගැලෙහි පොදි වැඩිවන විට ගවයාට කරත්තය ඇදීමට බාධාවකි. එහෙත් එම පොදිවල අයිතිකරු ගැල්කරු ය. ඔහුට ද එම පොදි කරදර ලෙස කවියා ධ්වනිත කොට ඇත.

සංසාර ගමනේ නිවන සොයා යන සැදැහැවතුන් අත්හැරීම පුරුදු කළ යුතුය

එහෙත් මෙම ගැල්කරු කරදර පොදි බැඳගෙන ජීවන යාත්‍රාව පදවයි. ලෞකික ජීවිතය සුවපත් කිරීමට නම් ගැල්කරුට පොදි අත්‍යවශ්‍ය ය. එසේ බලන විට පොදි හෙවත් ජීවත්වීමට අවශ්‍ය භෞතික දෑ නැතුව මිනිසාට ජීවත් විය නොහැකි ය. කෙසේ වෙතත් කවියා විසින් මෙම ජීවන සටනේ කරත්තය බැඳී ගවයා පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියක් හෙළනු ලබයි.

කර්මයෙ කළු ගොනු යන වචනය තුළ සැඟවුණු අරුත් රාශියක් ඇත. “ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් සංසාර ගමනේ තමන් රැස් කරගත් අකුසල්-පව් තමන් පසුපස ගමන් කරයි” යන බුද්ධ වචනය දෘෂ්ටාන්තය ලෙසින් මෙහිදී ඉදිරිපත් කරයි. එයින් කවියා තම සදාදරණීය සහෘදයාට ආරාධනා කරන්නේ කිසි දවසක අකුසල් පව් නොකරන ලෙයසි. එසේ පව්-අකුසල් කළොත් මෙම ගොනා විඳීන දුක හා සමාන දුකක් තමන්ට විඳීමට සිදුවන බව කවියා අවධාරණය කරයි.

එම ගමනේ දී ගැල්කරුගේ මුවින් පිටවන සී පද ඔහුට ඇතිවන කායික හා මානසික වේදනාවන් සංසිඳුවා දීමට සමත් වෙයි. එයින් පැරැණි ගැල්කරුවන්ගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු නව ශ්‍රාවකයාට සමීප කරවීමට කවියා සමත් වී ඇත.

අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන විට
දෑසින් කඳුළැලි පිට වෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
සීපද මුවගින් පිට වෙනවා

ජීවත්වීම සටනකි. එය අතිශයෙන් ම කර්කශ ය. ගැමි පරිසරයේ ජීවත්වන අහිංසක මිනිස්සු මෙම ජීවන සටනට මැදිවී විඳීන දුක් ගැහැට අපමණ ය. කවියා ඒ බව මෙහි දී මනාව පෙන්නුම් කරයි. පයින් ගමන් කිරීමෙන් පතුල් පුපුරා ගොස් ය. එය වේදනාකාරී ය. එම වේදනා මුවින් නොව දෑසින් පිටවී ගැමි අහිංසක මුහුණු තෙමාලයි. ඔවුන්ට ඇති වන දුක් පවසා සිටින්නටවත් පිහිට වන්නටවත් කවුරුත් නැත. එසේ හැම විටම ඇතිවන කායික මානසික ග්‍රීෂ්මය නිවාලීමට සමත් වන්නේ මුවින් පිටවන දුක්මුසු සී පද වැලයි. මෙම සී පද ගැල් කරුගේ ළඟම හිතමිත්‍ර ඥාතිවරයායි.

ගැල්කරුගේ බිරිඳ ගෙදර තනිවම කල් ගෙවයි. ගැල්කරු ගොනු සමග යොදුන් ගණන් මේ පියවර තබන්නේ ජීවන සටන ජය ගැනීමටයි. දෙපා පුපුරා බුබුළු දමා ඇති බව ඉහත සඳහන් විය. එහෙත් වරෙක ඒ සියලු දුක් දොම්නස් සංසිඳෙන අරමුණක් පිළිබඳ කවියා ඉඟියක් මෙහි දී සඳහන් කොට ඇත.

කිරිගල්පොත්තේ කන්ද නඟින විට
ගම සිටිනා ඔබ හිතෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
සීපද මුවගින් පිට වෙනවා

මෙම ගමනේ දුෂ්කර ම තැන කිරිගල්පොත්ත කන්ද ඇදීමයි. එය වෙහෙසකර ම සංසිද්ධියකි. එහෙත් එහි දී ගැල්කරුට සිහිපත් වන්නේ තම නිවහනේ ජීවත්වන බිරිඳයි. ඇය සිහි වන විට ඇතිවන සියලුම දුක්ඛ දෝමනස්සයන් මඟහැරී සිතට සීතල වූ සෙනෙහසක් සුවයක් ගෙන දෙයි. ‘ඒකෙන් ගමනට හිත දෙනවා’ ලෙස පැවසීමෙන් ගමන ඉදිරියට යාමට හිතට ශක්තිය ලබා දීමට තම බිරිඳගේ සෙනෙහස ඉවහල් වන බව කවියා සඳහන් කරයි.

මෙහි දී කවියා බිරිඳත්, ස්වාමියාත් අතර පවතින අසීමිත සෙනෙහසෙහි ඇති අසිරිය ඉස්මතුකර දක්වයි.

පැරැණි හෙළ ගැමි ජන ජීවිතවල කොතරම් අඩුපාඩු තිබුණ ද, දුප්පත්ව ජීවත් වුව ද ඔවුන් එකිනෙකා අතර පවතින අන්‍යෝන්‍ය සෙනෙහස අතින් පොහොසත් වූ බව කවියා පැහැදිලිව සඳහන් කරයි. එම නිසා මිනිසා මුහුණ දෙන ජීවන ගැටලූ දුක්ඛ දෝමනස්සයන් මෙම ගීතය තුළ අන්තර්ගත කිරීමට කවියා ගත් උත්සාහය අතිශයින් ම සාර්ථක ය.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]