[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවශ්‍යතා අසීමිතයි ජලය සීමිතයි පරිහරණය අරපිරිමැස්මෙන්

අවශ්‍යතා අසීමිතයි ජලය සීමිතයි පරිහරණය අරපිරිමැස්මෙන්

පින්වත් දුවේ, පුතේ, ජලය යනු සම්පතක් බව ඔබ හොඳීන් ම දන්නා කරුණකි. මේ පෘථිවියේ තුනෙන් දෙකක් ම අත්තේ ජලය යි. එහෙත් ඒ සියලු ජලය අපට බීමට ගත නොහැකි ය. ජලය කරදිය හා මිරිදිය වශයෙන් වර්ග දෙකකි. මහා මුහුදේ ඇත්තේ කර දිය යි. එය බීමට ගැනීමට හැකියාවක් නැත්තේ එහි ලවණ හෙවත් ලුණු ගතිය අධික නිස යි. අද වන විට සමහර දියුණු රටවල් තාක්‍ෂණය උපයෝගී කරගෙන කරදියෙහි ඇති ලවණ ඉවත් කර මිනිසාගේ එදිනෙදා කටයුතු සඳහා යොදා ගනියි.

කරදිය හැරුණුවිට ලෝකයේ ඇති සියලු ජලය එකතු කළත් ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. ගංගා, ඇළ, දොළ, ළිං, විල්, වැව්, අමුණු, ජලාශ, දිය ඇලි, උල්පත් යනාදී මේ සියලු තැන්වල ඇත්තේ මිරිදිය යි. ඒ මිරිදිය සියල්ල ද අපට පානීය ජලය ලෙස ගත නොහැකි ය. සමහර ප්‍රදේශවල ජලයේ කිවුල් ගතිය වැඩි ය. ඒවා පානය කිරීමට හැකියාවක් නැත. තවත් ප්‍රදේශයක ජලය ඉතා අපිරිසුදු ය. ඒවා ද පරිභෝජනය සඳහා යොදාගත නොහැකි ය. තවත් ප්‍රදේශයක ජලය නැත. සමහර ප්‍රදේශවල ජලය තිබුණ ද විශේෂයෙන් මුහුද ආසන්නයේ ඇති ප්‍රදේශවල ඇති ජලයේ ලවණගතිය මිශ්‍ර වී ඇත. එනිසා ඒවා ද පානීය ජලය ලෙස යොදාගත නොහැකි ය.

ප්‍රදේශ වශයෙන් පමණක් නොව සමහර රටවල් වශයෙන් ගත් කල ලෝකයේ ජල බිංදුවක් වත් නොමැති කාන්තාර ද තිබෙන බව අපේ දූ දරුවන් දැන සිටිය යුතු ය. සමහර රටවල පොළවේ ඇත්තේ ඛණිජ තෙල් ය. එවන් රටවල අයට බීමට ඇත්තේ ද අප සතුව ඇති ජලය ම බව අමතක නොකළ යුතු ය. එනිසා අප දැනගත යුතු සුවිශේෂ කරුණ නම් අපට කොතරම් ජලය විශාල ලෙස පෙනෙන්නට තිබුණ ද පානීය ජලය ලෙස අපට යොදාගත හැක්කේ සීමිත ජල ප්‍රමාණයක් බවයි. එනිසා ජලය යනු සම්පතකි. එය විනාශ නොකර, දූෂණය නොකර සීමා සහිතව පරිභෝජනය කළ යුතු ය.

දුවේ පුතේ ඔබට අද වන විට ජලය ලැබෙන ආකාර කිහිපයක් ඇත.

බෝතල් කළ පානීය ජලය.

ජල නල මඟින් ඔබේ නිවසට ලැබෙන නල ජලය,ගෙවත්තේ සාදන ලද ළිං මගින් ලබා ගන්නා ළිං ජලය, ගංගා, ඇළ, දොළ, වැව් ආදිය මගින් ලබා ගන්නා ජලය,පොළොව ඉතා ගැඹුරට හාරා ලබා ගන්නා නල ළිං ජලය,සමහර ප්‍රදේශවලට බවුසර් රථ මගින්, බැරල් මගින් ලබාදෙන ජලය, තවත් සමහර ප්‍රදේශවල වැස්සෙන් ලැබෙන ජලය එක්රැස් කොට ලබා ගන්නා ජලය.

මේ කුමන ආකාරයට ජලය ලබා ගත්ත ද ඒ හැම ජලයක් ම සීමා සහිත ය. එහෙත් අපේ අවශ්‍යතා අසීමිත ය. අසීමිත වූ අවශ්‍යතා සඳහා සීමා සහිත ව ඇති මේ ජලය අපවිත්‍ර නොකර, දූෂණය නොකර රැක ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම බොහෝ අය දන්නේ නැත.

දුවේ, පුතේ, අපට මේ ජලය සම්පතක් වන්නේ ඇයි? මිනිසාට පමණක් නොව, ගහකොළ, සතා සිවුපාවා යන හැම දෙනාට ම ජලය නොමැතිව පැවතිය නොහැකි වේ. ජල සම්පත නැති තැන අප හැමට විපත් සිදු වේ. ජලය සම්පතක් නම් අප ඒවා බෙදාහදාගෙන පාවිච්චි කිරීම, අරපරිස්සමෙන් පාවිච්චි කිරීම ආදිය ද කළ යුතු ය.

ජලයෙන් අපට ඇති ප්‍රයෝජන මොනව ද? යන්න පිළිබඳ මදක් විමසා බලමු.

පානය කිරීමට ආහාර පිසීමට,ශරීරය පිරිසුදු කිරීමට,වස්ත්‍ර ආදිය පිරිසුදු කිරීමට, කෘෂිකර්මාන්තයට, සත්ත්වයින්ට පානය කිරීමට හා ඔවුන් පිරිසුදු කිරීමට යම් යම් භාජන, උපකරණාදිය පිරිසුදු කිරීමට, ගිනි නිවීමට, ජල ක්‍රිඩාදිය කරමින් විනෝද වීමට, වාහන, යන්ත්‍ර සූත්‍ර යනාදිය සිසිලනය කිරීමට,ගොඩනැගිලි ඉදිකිරීම් ආදියට, යම් යම් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට

අයිස් නිෂ්පාදනයට, ජලජ ශාඛ ලබා ගැනීමට, ජලජ ජීවීන් සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ආහාර සඳහා ජලජ ජීවින් පෝෂණය කිරීමට හෝ පෝෂණය වීමට, භාණ්ඩ හා මගී ප්‍රවාහනය කිරීමට පහසු හා ලාභදායී මාර්ගයක් ලෙස භාවිත කිරීමට,මල අපද්‍රව්‍ය ප්‍රවාහනයට, ජල විදුලිය නිෂ්පාදනයට යනාදි මෙකී නොකී බොහෝ දේ සඳහා ජලය යොදගනී.

එදා බුදුරජාණන් වහන්සේ පවා ජලයේ වටිනාකමත්, එම ජලය පරිහරණය කිරීමේ දී පිළිපැදිය යුතු ආකාරයත් දේශනා කොට ඇත. විශේෂයෙන් විනය පිටකයේ දී ජලයට කෙළ නොගැසිය යුතු බව, ජලයට මල මුත්‍රා නොකළ යුතු බව, ජලය අරපරිස්සමින් පරිහරණය කළ යුතු බව යනාදී බොහෝ කාරණා පිළිබඳ අපට පෙන්වා දී ඇත. වියළි කාලවල දී ජලය අර පිරිමැසීමෙන් පරිහරණය කළ යුතු ආකාරයත් දක්වා තිබේ.

අද වන විට ලෝක ජනගහනය අධික බැවින් ජල පරිභෝජනය ද අධික වී ඇත. සමහර අය ඉතා ආත්මාර්ථකාමීව ජලය දූෂණය කරයි. ඉස්සර ගොවි මහත්වරු කුඹුරට යන විට බීමට ජලය රැගෙන ගියේ නැත. ඔවුන් ඇළෙන් හෝ දොළෙන් ගලා එන ජලය පානය කළහ. එහෙත් අද එසේ වෙල්යායේ ඇළේ දොළේ ජලය පරිභෝජනයට ගත නොහැක. ඒ කෘෂිරසායන ද්‍රව්‍ය, වල්නාෂක, රසායනික පොහොර ආදිය මුසු කිරීම නිසා බොහෝ ජල මූලශ්‍ර අපවිත්‍ර වී ඇත. ඒවා විෂ සහිත වී ඇත. මේ හේතුවෙන් එදා ඇළේ දොළේ සිටි කුඩා මාළුවන්, කක්කුට්ටන් වැනි අහිංසක සතුන් පවා විනාශ වී ඇත. ඒවා කළේ අපේ ම ගොවි මහත්වරු ය.

තවත් ලෝකයේ දියුණු යැයි සිතන එහෙත් පහත් වැඩ කරන බොහෝ අය ජලය මහා පරිමාණයෙන් දූෂණයට ලක් කරයි. විශාල කර්මාන්ත ශාලා සිසිලනය කිරීමට මෙන් ම පවිත්‍ර කිරීම් ආදිය සඳහා යොදා ගන්නා ජලය පිරිසුදු ජල මූලාශ්‍රවලට එක් කිරීමෙන් ඒවා අපවිත්‍ර වී ඇත. සමහර සත්ත්ව ගොවිපලවල බැහැර කරන අපද්‍රව්‍ය නිසා ද ජලය අපවිත්‍ර වී යයි. ඒවා කරන්නේ උගත් මහත්වරු වීම කනගාටුදායක ය.

අද වන විට වන සම්පත ක්‍රමයෙන් විනාශ වීම නිසා ජල උල්පත් සිඳී යාම සිදුවෙයි. එනිසා අපට ඇති ජල සම්පත ක්‍රමයෙන් අඩුවීමක් මිස වැඩිවීමක් සිදු නොවේ. එනිසා අප ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු ය.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]