[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ස්වකීය ඤාතීන්ට ධර්ම දායාදය පිරිනැමූ මැදින් පෝද

බුදුරදුන් ස්වකීය ඤාතීන්ට ධර්ම දායාදය පිරිනැමූ මැදින් පෝදා

මැදින් මහේ සඳ කෙමෙන් කෙමෙන් මෝරා ගෙන එත්ම සැදැහැතියන් ගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැඟෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි.

ඓතිහාසික ගමනක්

වෙසක් පොහෝ දිනයෙහි කුඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණින් මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක් ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙළීම, යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

මේ අනුව බුදුරදුන් ස්වකීය ඤාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුතුව ඓතිහාසික ගමනක් ඇරඹූ මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකි ය. ඤාති වර්ගයාට පමණක් නොව රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මඟ දෙපසට අයත් ගම් දනව්වල ජනතාවට ද ධර්ම දානය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය.

පියරජු කම්පාවෙන්

ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් සුද්ධෝදන මහරජු මහත් සේ කම්පාවෙන් කල් ගෙවීය. තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බිම්බිසාර රජු පාලනය කළ මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩ වෙසෙන බව පියරජු දැන ගත්තේ ය. එබැවින් බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩමවන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමතිවරයකු ප්‍රමුඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට යැවීය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නො කළහ. මෙසේ ඇමැතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක් ම දූත පිරිස් පිටත්කොට යැවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණියහ. පෙර සේ ම සිදු වූයේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීමයි.

තත්ත්වය මෙසේ හෙයින් දස වැනි වාරයේ දී කාළුදායි ඇමතිවරයා ප්‍රමුඛ දහසක දූත කණ්ඩායමක් වේළුවනාරාමය වෙත පිටත්කොට හැරීමට සුද්ධෝදන මහරජු තීරණය කළේ ය. කාළුදායි ඇමැතිවරයා සිදුහත් කුමරු උපන් දිනයේ ම උපත ලැබූ අයෙකි. ඔහු රජුගේ ඉල්ලීම භාරගත්තේ එක් කොන්දේසියකට යටත්ව ය. එනම් බුදුරදුන් වෙතින් ධර්මය අසා පැවිදිවීම සඳහා ද රජුගෙන් අවසර ගැනීමයි. එයට අවසරය ලත් ඔහු සහපිරිවරින් යුක්තව රජගහනුවර බලා පිටත් වූයේ ඉමහත් සොම්නසිනි. වේළුවනාරාමයේ දී බුදුරදුන් හමු වූ ඔහු බණ අසා පැවිදිව රහත් ඵලය ද ලබා ගත්තේ ය.

පරිසර වැණුම

කාළුදායි ඇමැතිවරයා දැන් රහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ පැවිද්දෙන් දින හත අටක් ගත විය. ඒ සමඟම කාලගුණය ද බෙහෙවින් ම යහපත් වූ වසන්ත සමය උදා විය. සිය උපන්බිමට වැඩම කරවීම සඳහා බුදුරදුන් වෙත ඇරයුම් කිරීමට මේ සුදුසුම කාලය බව කාළුදායි තෙරණුවෝ වටහා ගත්හ. ඉක්බිතිව බුදුරදුන් වෙත එළඹ එකත්පස්ව හිඳ සිත් ඇද ගන්නා පරිසර වර්ණනාවකින් යුක්තව රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා දිවෙන සැට යොදුන් ගමන්මග මෙසේ වර්ණනා කළහ.

අංගාරිනොදානි දුමා භදන්තෙ
එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තොව පභාසයන්ති
සමයො මහාවීර භගීරථානං

භාග්‍යවතුන් වහන්ස, සියලු ගස් වැල් පරණ පත් සලා ගිනි අඟුරු මෙන් රතු පැහැති නව මල් දලුවලින් පිරී ඇත. මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් පල දැරීමට සූදානම් ව සිටිති. වෘක්ෂයෝ පහන්සිලු මෙන් බබළති. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරාගත ශාක්‍යයන්ට අනුග්‍රහ පිණිස එහි වැඩමවීමට මේ සුදුසු කාලයයි.

දුමානි ඵුල්ලානි මනොරමානී
සමන්තතො සබ්බදිසා පවන්තී
පත්තං පහාය ඵලමාස සානං
කාලො ඉතො පක්කමනාය වීර

පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවති. පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලය යි.

නෙවාති සීතං න පනාති උණ්හං
සුඛා උතූ අද්ධනියා භදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියා ච
පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං

තද සීතල හෝ තද උණුසුම හෝ නැත. භාග්‍යවතුන් වහන්ස, සෘතුව සිරුරට සුව පහසුව ගෙන දේ. ගමනට සුදුසු ය. රෝහිණී ගඟෙන් එතෙර වී වඩින ඔබ වහන්සේ දැකීමට ශාඛ්‍ය කෝලිය රජවරු ආශාවෙන් බලා සිටිති.

මෙසේ ආරම්භ වන මෙම මග වැණුම බුද්ධකාලීන මග වැණුම් අතර ඉතා උසස් නිර්මාණයක් සේ සැලකිය හැකි ය. මෙම මග වැණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර බලා ගමන ආරම්භ කළහ.

බුදුරදුන් කිඹුල්වතට

දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ කිඹුල්වත් පුරයට වැඩම කළේ වෙසක් පොහෝ දා ය. ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත් ශාඛ්‍යයෝ වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙල කළහ.

සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාඛ්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ය. සුද්ධෝදන මහරජු ප්‍රමුඛ ශාක්‍යයින් ගමන් ගත්තේ පසු පසිනි. පසුව ඔවුහු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදී බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජ කුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වූ වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල හෙයින් නොවැඳම පිරිස කෙළවරට වී සිටියහ.

ශාක්‍යයන්ගේ මානය දුරලයි

මේ පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පවත්වා ස්වකීය බුද්ධානුභාවය පෙන්වූහ. මිනිසකු ලෙස සිටින කෙනකුට කළ නොහැකි තරම් අපූර්ව විශ්මිත ක්‍රියා මාලාවක් මෙම ප්‍රාතිහාර්යය තුළින් සිදු කෙරෙයි. ජලය හා ගින්න ආධාර කොට පැවැත් වූ මෙම ප්‍රාතිහාර්යයෙන් පසු ශාක්‍යයන්ගේ මානය දුරු විය. ඉදිරියට පැමිණි සුද්ධෝදන මහරජු ‘පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම’ යි කියා බුදුරදුන්ට නමස්කාර කළේ ය. ඉක්බිතිව එහි සිටි සියලු ශාක්‍යයෝ ද බුදුරදුන්ට වැඳ නමස්කාර කළ හ.

ඊට පසු දිනයන් හි දී සුවිශේෂී සිදුවීම් කිහිපයක් ම වාර්තා වන අතර, ඉන් එකක් නම් සුද්ධෝදන මහ රජුට රාජ වංසයත්, බුද්ධ වංසයත් අතර පවත්නා වෙනස පහදා දුන් අවස්ථාව යි.

යසෝධරා දේවිය ගේ වැළපීම හා සුද්ධෝදන මහරජු යසෝධරා දේවිය ගේ ගුණ වර්ණනා කිරීමෙන් බුදුරදුන් එහිදී චන්දකින්නර ජාතකය දේශනා කිරීමත් ඊළඟ සිදුවීමයි.

තවද රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමත්, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදිවීමට අවසර ඉල්ලීමත්, කිඹුල්වත්පුර චාරිකාවේ තවත් ඓතිහාසික සිදුවීමයි.

මුල දී කාන්තා පැවිද්ද අනුමත නො කළ බුදුරජාණන් වහන්සේ පසුව අෂ්ට ගරු ධර්ම පැනවීමෙන් ඒ සඳහා අවසරය ලබා දුන්හ.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]