[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අල්පේච්ඡ දිවියක සැනසුම

අල්පේච්ඡ දිවියක සැනසුම

ලොවුතුරු සුවය ලද උතුමන් තමන් ලද ආධ්‍යාත්මික සුවය ම සුවයක් ලෙස සලකතත් ලෞකික ජීවිතයක් ගත කරන්නන් එම සතුට සැනසුම අර්ථකථනය කරන්නේ මානසික සුවයට වඩා තමන් සන්තකව පවතින උපභෝග පරිභෝග සම්පත්තීන්හි ප්‍රමාණය අනුව ය.

එහෙත් එකී ලෞකික සම්පත් කෙතෙක් දුරට මනුෂ්‍ය සන්තානය තුළ සතුට සැනසුම උදා කරවන්නේ ද යන්න විමසිය යුතු ය.රට්ඨපාල සූත්‍රයේ දී රට්ඨපාල හිමියන් කෝරව්‍ය රජුට පෙන්වා දෙන්නේ ලෝකයා කෙතරම් තිබුණත් සැනසුමට, තෘප්තියට පත් නොවන බවයි. එසේ නම්

මෙහිදී අප අවබෝධ කර ගත යුත්තේ සතුට සැනසුම රැ¼දී ඇත්තේ මුදල් හෝ වෙනත් බාහිර බලවේගයක් මත නොව සිය සන්තානයේ පවතින සිතිවිලි මත බවයි.

මෙහිදී ධර්මයේ සඳහන් වන වචන දෙකක් දෙස අපගේ අවධානය යොමු කරමු. එනම් අප්පිච්ඡතා හා මහිච්ඡතා යන වචනද්වයයි. අප්පිච්ඡතා යනු අල්පයෙන් සතුටුවීමයි. මහිච්ඡතා යනු බොහොමයක් නැතහොත් වැඩියෙන් කැමැතිවීමයි.

ආහාරය අපට අවශ්‍ය මූලික හේතුව වන්නේ මෙම ශරීරයේ යහ පැවැත්ම සඳහාත්, කුසගින්න දුරු කර ගැනීම සඳහාත් ය.එකම අරමුණක් උදෙසා ගනු ලබන ආහාර සඳහා එකිනෙකා වියදම් කරන ආකාරය කෙතරම් වෙනස්ද?

ඇඳුම් ඇඳීමේ මූලික පරමාර්ථය විලිවසා ගැනීම ය .එහෙත් සමහර විට විශාල ධනයක් වැය කොට ඇඳුම් ගන්නා සමහරුන් එම ඇඳුම් ඇ¼දීමේ පරමාර්ථය අමතක කරන්නේ ඇඳුම විලාසිතාවක් පමණක් බව සිතන හෙයිනි.

නිවසක අවශ්‍යතාවය අවු වැසි සුළං ආදියට හසු නොවී සුවපත් ජිවිතයක් ගත කිරීමටයි.එය කටු මැටි පැලක් වුව ද, තනි හෝ දෙමහල් හෝ ඊටත් වඩා විශාල ගොඩනැඟිල්ලක් වුව ද ඒ සෑම නිවසකින් ම ඉටු වන්නේ ඉහත අවශ්‍යතාවය සපුරාලීමයි. එහෙත් අවශ්‍යතාවය හා තමන්ගේ ආර්ථික තත්වය අමතක කොට සමාජයේ තමන්ගේ තත්ත්වය හුවා දැක්වීම් සඳහා අන්‍යයන්ට වඩා තමන් උසස් තත්වයක ජිවත් වන බව පෙන්වීම සඳහා විශාල ධනස්කන්ධයක් වියදම් කොට සමහරු නිවාස හදති. එසේ සැකසීමට පටන් ගන්නා නිවාස සමහර විට අවසන් කර ගත නොහැකිව ණය වන අතර සමහර විට වැඩ අවසන් කොට ණය පියවීමට සිදු වේ.

සැනසිල්ලෙන් ජිවත්වීමට සැකසු නිවසම අවසානයේ දී තමන්ගේ සතුට සැනසුම නැති කරන්නේ මුළු ජිවිත කාලයක් පුරා තමන් ණය කරුවකු කොටයි.

මෙලෙස විමසා බැලීමේ දී අපට තහවුරු වන වැදගත් කරුණක් වන්නේ සතුට සැනසුම ළඟා වීමට බලපාන ප්‍රධානම සාධකය අවශ්‍යතාවයේ ප්‍රමුඛතා හඳුනා ගැනීම බවයි.

මහිච්ඡතාවයේ ප්‍රතිඵල වශයෙන් අද මුළු ලෝකයම විවිධ අර්බුදයන්ට ලක්ව සිටිති. ආර්ථික අර්බුද පමණක් නොව කායික රෝග බහුල වීමට ද මහිච්ඡතාවයේ ප්‍රතිඵල බලපාන්නේ ආහාර රටාවන් හා පැවැත්මේ ඇති විෂම ස්වභාවයන් හා මානසික ආතතීන්හී බලපෑමත් සමඟ ය.

වත්මන් ලොව පුරා කැරලි කෝලාහල, යුද ගැටුම්,අවි ආයුධ නිෂ්පාදනය, වස විස හා රසායනික ද්‍රව්‍ය නිපදවීම් මෙන්ම ඒවා නිසා ලෝකයට ඔරොත්තු නොදෙන තරම් විවිධාකාර රෝග, අපරාධ,අවතැන්වුවන් හා අංග විකලත්වයට පත්වුවන් ඇති වන්නේ මෙම මහිච්ඡතාවයේ ම ප්‍රතිපල වශයෙනි.

මෙම තත්වය මඟහරවා ගැනීමට ඇති වඩාත් සුදුසුම විසඳුම වන්නේ අල්පේච්ඡ දිවියකට යොමු වීමයි.අල්පේච්ඡතාවය යනු සුළු දෙයක් කැමැතිවීමයි. එනම් ස්වකීය අවශ්‍යතාවයේ තරමට කැමැතිවීමයි.

අල්පේච්ඡතාවයට දිය හැකි වටිනා නිදසුනක් ලෙස පරපටිබද්ධ වූ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දායකයාට බරක් නොවී , තමන්ගේ කායික මානසික සුවයට හානියක් නොවන අයුරින් , කටයුතු කිරීමට අල්පයෙන් ජීවිකාව ගෙනයාමේ වැදගත්කම පෙන්වා දෙමින් වදාළ නිස ධර්ම සඳහන් කළ හැකි ය.

එම නිස ධර්ම සතර සෑම භික්ෂුවක් ම දිවි හිමියෙන් සිතට ගෙන අධිෂ්ඨානයෙන් උත්සාහවත් විය යුතු කරුණු සතරකි. භික්ෂුව පාංශකූල චීවරය ඇසුරු කොට ප්‍රමාණ කොට දිවි ගෙවිය යුතු ය. එහෙත් අතිරේක වශයෙන් ලැබෙන කොමු පිළි, කපු පිළි,පට පිළි,කම්බිලි,සණ පිළි හෝ මුසු පිළි යන කවර හෝ චීවරයක් පිළිගැනීමටත් ඒවා පරිහරණය කිරීමටත් බාධවක් නැත.

භික්ෂුව පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාරය ප්‍රමාණ කොට දිවි ගෙවිය යුතු ය.අමතර වශයෙන් සියලු සංඝයා වහන්සේට දෙන දානය, දෙතුන් නම බැඟින් සංඝයා නිමන්ත්‍රණය කොට දෙන දානය, පෞද්ගලික වශයෙන් නිමන්ත්‍රණය කොට දෙන දානය,සලාක

දානය,පක්ෂයකට වරක් බැඟින් දෙන දානය,පොහොය දිනයෙහි හෝ පෑලවියෙහි දෙන දානය වශයෙන් ලැබෙන දානය පිළිගැනීමට බාධාවක් නැත.භික්ෂුව සිය සෙනසුන ලෙස වෘක්ෂ මුලිකව විසීම ප්‍රමාණ කොට ගත යුතු ය.එහෙත් දෙපල ඇති ගෙවල්, තනිපල ඇති ගෙවල්, සිවු පල ඇති ගෙවල්,සොල්දර ගෙවල් හෝ ගුහා යන මේ ඕනෑම ගෙයක් සිය සෙනසුන ලෙස භාවිතයට ගෙන විසීමට භික්ෂුවට හැකි ය.

පුතිමුත්ත භේසජ්ජය ප්‍රමාණ කොට භික්ෂුව දිවි ගෙවිය යුතු ය.අතිරේක වශයෙන් ගිතෙල්,වෙඬරු,තල තෙල්,මීපැණි,උක්සකුරු ආදී ඕනෑම බෙහෙතක් පරිහරණයට හැකි ය.මේ ආකාරයට විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ අල්පයෙන් සෑහීමට භික්ෂුව උත්සාහවත් විය යුතු බවත්, අනායාසයෙන් තමන්ට ලැබෙන උසස් ප්‍රත්‍ය පහසුකම් පරිහරණයට බාධාවක් නොමැති බවත් ය.

එය අල්පේච්ඡ බවට හානියක් නොවන බවයි. අල්පේච්ඡතාවය යනු වටිනා උසස් දෑ පරිහරණය කිරීමෙන් වැළකීම හෝ ඊට අකැමැතිවීම නොව පවතින අවමයෙන් සෑහීමට පත්වීමට හැකි මානසික ශක්තිය බව මෙයින් තහවුරු වෙයි.

අවමයෙන් තෘප්තිමත් වී සිටීමට හැකි නම් උපරිමයෙන් මොන දේ ලැබුණත් නැතත් , තිබු දේ නැසි ගියත් ජීවිතයේ සැනසුම බැහැර නොයයි. බුද්ධ චරිතය මේ සඳහා අපට මොනතරම් පාඩම් කියා දෙන්නේ ද? රජ පවුලක ඉපදී ගිහියකු වශයෙන් ලැබිය හැකි උසස්ම ගිහි සුවය විඳී සිදුහත් කුමරු එම ගිහි සම්පත් හැරපියා පැවිදි ව බුද්ධත්වයට පත්විය.

රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අපමණ ගෞරවයට ලක් වි කටයුතු කළ බුදු රජාණන් වහන්සේ කෙතරම් ලෝකයාගේ ගෞරවාදර මිශ්‍රිත බහුමානයට ලක් වුවත් බොහෝ පහසුකම් සහිත වෙහෙර විහාර ආදියෙන් පිදුම් ලැබුවත් ඒ සියල්ල භාවිත කළත් අල්පේච්ඡභාවයෙන් මදකටවත් බැහැර නොවුහ.

පිණ්ඩපාතයෙන් ලද මිහිරි ප්‍රනීත ආහාර මෙන් ම කටුක රළු ආහාර ද උන්වහන්සේ වැළඳූහ. වෘක්ෂමුලිකව ද වැඩ විසුහ. මේ අයුරින් ඒ ඒ අවස්ථාවන්හි ලද දෙයින් සතුටුව අල්පේච්ඡ පැවැත්මේ වටිනාකම පෙන්වා දුන්හ.

දුප්පත්, මධ්‍යම පාන්තික හෝ ධනවත් වශයෙන් එකිනෙකා විවිධ සමාජ මට්ටම්වල සිටිති. අප කවුරුත් මේ කුමන හෝ කොටසකට අයත් වෙති.මින් කවර කොටසකට අයත් වුවත් පළමුකොටම අපගේ අවශ්‍යතාවන්හි ප්‍රමුඛතාවයන් හඳුනාගත යුතුය.එසේ හඳුනාගෙන හැකි තරම් සැහැල්ලු දිවි පැවැත්මකට හුරුවිය හැකි නම් ඒ තුළින් අප්‍රමාණ මානසික සුවයක් ළඟා කර ගත හැකි ය.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]