[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුට සොයන අයට ඔවදනක්

සතුට සොයන අයට ඔවදනක්

“දුක්ඛේ ලොකො පතිට්ඨිතො” ලෝකය දුක තුළ පිහිටා ඇත. දුක තුළ වෙසෙන අප සොයන්නේ සතුට යි. දුක හා සතුට දෙකම පුද්ගල චිත්ත ස්වභාවයකි. අප දකින, අහන, ආඝ්‍රාණය කරන, විඳින, ලබන සියල්ල කෙරෙහි ඇතිවන චිත්ත ස්වභාවය යි.

අප අපේක්ෂිත අයුරින් සිදු වේ නම් එය සතුටකි. අපේක්ෂිත අයුරින් සිදු නොවේ නම් එය දුකකි. ලොව ඇති ස්වභාවය නම් අප ළංකර ගැනීමට කැමති දේ හැම විට ම ළං නොවීම ය.

දුරු කරන්නට වෙර දරන දේ හැමවිට ම දුරු නොවීම ය. ළංකර ගන්න වෙර දරන ලාභ, කීර්ති, ප්‍රශංසා, සැප සතුට ලෙසත්, අලාභ, අපකීර්ති, නින්දා දුක් අසතුට ලෙසත් අපි දකිමු.

ලෝකය වෙනස් කිරීමට යනවාද?

ලොව පවතින දුක සතුට අප දකින අයුරු විනා සත්‍ය නොවේ. අප ආලෝකය තිබෙන ස්ථානයක සිටින විට අප එක් කෙළවරක සිටිය දී අපගේ සෙවණැල්ල අපට වඩා විශාල වේ.

අනෙක් අන්තයේ ඇති විට අපට වඩා කුඩා වේ. විශාල වීම, කුඩාවීම සත්‍ය නොවේ. අප මැද සිටියහොත් යම් තරමකට අපගේ ප්‍රමාණයේ සෙවණැල්ලක් දැක්ක හැකි ය. ලොව පවතින දේ නොව අපගේ දැක්ම වෙනස් කර ගත යුතු ය.

අප වත්මනෙහි කරනුයේ අපගේ දැක්ම වෙනස් කර නොගෙන අපට අවශ්‍ය ආකාරයට ලොව වෙනස් කිරීම යි.මෙය වෙහෙසකර කටයුත්තකි. අපහසු කටයුත්තකි. ඒ නිසා සතුට පලා යයි. දුක වැළඳ ගනියි.

ධර්මයෙහි හිමිකම් ලබන්නෝ

බුදු දහම එය නොවෙයි. ලද දෙයින් සතුටු වන්නන් සඳහා බුදු දහම වන අතර, ලද දෙයින් සතුටු නොවන්නන් සඳහා මේ ධර්මය හිමි නොවෙයි.එසේ නම් අප ලද දෙයින් සතුටුවන ආකාරයට අප අපගේ මනස සකස් කර ගත යුතුයි. බොහෝවිට අපට පෙනෙන්නේ අපේ නොහැකියාවට වඩා අනෙක් පාර්ශවයේ අඩුපාඩු ය.

ළිඳක මැණිකක් තිබේ. මැණික ගන්න පිරිසක් පැමිණෙයි. හැම දෙනා උත්සාහ කොට ළිඳ ගැඹුරුයි කියා පිටව යයි. එනමුත් ඒ කිසිවකුටත් නොදැනුණ දෙයක් වෙයි. ළිඳ ගැඹුරු නොව අත දිග මදි වීම යි.

මැණික සතුට සේ සිතුවොත් ඒ සතුට ලබා ගැනීමේ ශක්තිය නැත්තේ අප වෙතයි. මේ නිසා සතුට ලබා ගැනීම සඳහා අප ශක්තිමත් විය යුතුයි.

සාම්ප්‍රදායික ව අප තුළ පවතින චින්තනය නම් ලැබුණු දෙය කෙරෙහි සතුටු නොවීම, ලැබුණ දෙයෙහි ගුණ නොදැකීම ය.නොලැබුණ දෙය කෙරෙහි සිහින මැවීම ය. නොලැබුණ දෙය කෙරෙහි තැවීම ය. ඒ කෙරෙහි ආශාවෙන් කටයුතු කිරීම ය.

මේ සිතිවිලි පරම්පරාවෙන් යුක්තවීම නිසා අප චිත්ත සන්තානය තුළ ආශාව, තරහ, ගුණමකු බව, අනුන් සැපත සතුට නො ඉවසීම, රළු බව, මානය හා මදය යන විවිධ අකුසල චෛතසික හටගනියි. මේ සිතිවිලි කරණ කොටගෙන හටගන්නා ක්‍රියාකාරකම්, වචන, සිතිවිලි තමන්ට හානි කරයි. අනුන්ට හානි කරයි. දෙපිරිසට ම හානි කරයි. දුක සේ කිරීමට සිදු වෙයි. ප්‍රතිඵලය දුක් සහිත වෙයි. එම ක්‍රියා, වචන, සිතිවිලි පාපී වෙයි. එතැන සතුට නොව ඇත්තේ දුකකි. ඒ තුළින් සතුට සොයන්නට යන්නේ, තව තවත් දුක කරාම යයි.

සතුට ලබන්නට අප කළ යුත්තේ මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර වීමයි. ලැබුණ දෙය කෙරෙහි සතුටු වීම, ලැබුණ දෙයෙහි ගුණ දැකීම, නොලැබුණ දෙය කෙරෙහි නොතැවීම, නොලැබුණ දෙයෙහි ආශාව නැතිකම, ලැබුණ දෙය කෙරෙහි ආශාව, බැඳීම නැති බව ආදී චිත්ත ස්වභාවයක් ගොඩනඟා ගත හැකි නම් ඒ තුළ යට කී නරක චෛතසික ගොඩ නො නැඟෙයි. පාපකර්ම නොසිදු වෙයි. නිතර සතුට පවතියි. මේ ක්‍රමයෙන් ලබන සතුට ලද දෙයින් සතුටු වීමයි.

ලද දෙයින් සතුටුවීම ද පිනකි

අප ලබා ගන්නා මූලික අවශ්‍යතා ඇඳුම් පැළඳුම්, ආහාරපාන, නිවාස හා බෙහෙත් පිළිබඳ ව මේ කී ආකාරයෙන් සිතයි. අප ලබන ද්විතීක අවශ්‍යතා පිළිබඳ ව මේ කී අකාරයෙන් සිතයි. එවිට සතුට පවතියි. තැවීමක්, දුකක් නැත. සතුටු සිතින් ක්‍රියාකාරකම් කරයි. වචන කථා කරයි. සිතිවිලි උපදවයි. මෛත්‍රිය, කරුණාව, දයාව සියලු ක්‍රියාකාරකම්, වචන, සිතිවිලි තුළ පවතියි. ඒ තුළින් ඔහු සතුටු වෙයි. අන් අය සතුටු වෙයි. ඔහුත්, අන් අයත් දෙපිරිස ම සතුටු වෙයි. සතුටින් ක්‍රියාකාරකම් කරයි. වචන කියයි. ප්‍රතිඵලය සතුටින් භුක්තිවිඳියි. ලද දෙයින් මෙසේ සතුටු වීම, පිනවීම, පිනකි.

ලැබුණ දෙයින් සතුටු නොවන, වඩා හොඳ දේ සොයන සිතක් අපට වෙයි. මෙය “අත්‍රිචිඡිතා” නම් වෙයි. මෙය පුද්ගල අභ්‍යන්තර ගැටුම් හා බාහිර ගැටුම් නිර්මාණය කරයි. අත්‍රිච්ඡතාව ඇති විට එක සැළියේ පිසූ බතෙහි ද තමාට ලැබුණ දෙයට වඩා විශේෂ දෙයක් අනෙක් අයට ලැබුණා යැයි සිතයි. තමාගේ දෙයෙහි දොස් දකයි. අනුන්ගේ දෙයෙහි විශේෂතා දකියි.

ඛුද්දක වත්ථු විභංග අටුවාවෙහි එන එක් සිද්ධියක් වන්නේ එක්තරා භික්ෂුණියක් තමා ඇතුළු පිරිසට කැවුම් ලැබුණ පසු අනෙක් හැමෝගේ ම කැවුම් පරීක්ෂා කොට අවසානයේ තමාට ලැබුණ කැවුම ම අනුභව කළ කථාවකි.

පෙර බරණැස් නුවර බරණැස් රජු තම රූමත් බිසවුන් හා කැළයෙහි ඇවිදින විට කිඳුරියක් දුටුවේ ය. ඔහු බිසවුන් අතහැර කිඳුරිය පසුපස ගියේ ය. අනතුරුව රජුට බිසව ද , කිඳුරිය ද දෙදෙනාම නැති වෙයි. මේ අයුරින් සිදුවන හානිකර තත්වයන් වර්තමාන සමාජය තුළ වෙයි. මෙයින් වැළකිය හැකි ක්‍රමවේදය ලද දෙයින් සතුටුවීම යි.

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (23) පත්‍රයේ පළවේ

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]