[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි - ජන දිවියයි: බුදු පසේබුදු මහරහත් උතුමෝ සිහින නොදකිති

බුදු දහමයි - ජන දිවියයි:

බුදු පසේබුදු මහරහත් උතුමෝ සිහින නොදකිති

ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුද්ගලයකුම ලබන අපූර්ව අත්දැකීමකි සිහිනය. එනිසා සිහින ලෝකයේ තනි නොවුණු කෙනෙක් මිනිස් ලොව නොමැත. මිනිසා සිහින දැක්කත් බුදු , පසේබුදු, මහරහත් උතුමෝ සිහින නොදකින සේක.

කෙසේ හෝ වේවා සිහිනය යනු කුමක්ද? දකින සිහින සැබෑ වෙනවා ද? ඒ සිහිනවල සුබ අසුබ මොනවාද? ආදී මෙවැනි ප්‍රශ්න පිළිබඳ පෙරපර දෙදිග දාර්ශනිකයන්, මනෝවිද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් විවිධ මත ප්‍රකාශ කර ඇත. එහෙත් සිහිනයේ සැබෑ ස්වභාවය පිළිබඳ නිශ්චිත නිගමන ලබාදී නොමැත.

සිග්මන් ප්‍රොයිඩ් කියන මතයට විරුද්ධව තව මත ඉදිරිපත් කොට තිබේ. ඊට පෙර ප්ලෝටෝ වැනි දාර්ශනිකයන් සිහින පිළිබඳ මත ඉදිරිපත් කොට ඇත. බුදු දහමේ උගන්වා ඇති සිහින සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ විවිධ කරුණු ප්‍රකට වේ.

එහෙත් සිහිනයේ පලාපල කීමක් බුදු දහමට අනුව අදාළ නොවේ. උපනිෂද් සාහිත්‍යය සිහින පිළිබඳ ගැඹුරින් කරුණු ඉදිරිපත් කොට ඇති ඉතා පැරැණි මූලාශ්‍රයන් වේ.

පාලි භාෂාවෙන් සිහින අර්ථ ගන්වා තිබෙන්නේ සුපින, සුපිනක, සුපිනන්ක යන වේදයන්ගෙන් ය.

සංස්කෘත භාෂාවේ ස්වප්න , ස්වාප යන පද මේ සඳහා ව්‍යවහාර වේ. සිහින ඉතිහාසයේ අපගේ සිතට කාවැදුණු උතුම්ම සිහිනය ලෙස මහාමායාදේවිය දුටු සිහිනය ඉතා ප්‍රකටයි. එසේම ත්‍රිපිටකයේ සඳහන් තවත් වැදගත් ම සිහිනයක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මහාසුපින සූත්‍රයේ ඇතුළත් වේ. බෝසතාණන් වහන්සේ බුදුවීමට පෙර දින දුටු සිහින පහ මෙම සූත්‍රයේ ඇතුළත් වේ.

එහි පළමු සිහිනය පොළොව යහනක් කොට හිමාලය කොට්ටයක් කොට සිව් මහ සයුරට අත් පා දමා උඩුකුරුව බෝසතාණෝ වැඩ සිටීමයි. දෙවැනි සිහිනය, සඳුන් ඊතණ ගසක් නා බියෙන් අහසට නැඟී පැතිරීමයි. තුන්වැනි සිහිනය කළු කෙස් ඇති පණුවන් දණහිස තෙක් වසාගැනීමයි. විවිධ පාට ලිහිණියෝ හතර දෙනකු සතර දිශාවෙන් පැමිණ දෙපා ළඟ වැටී සුදුපාට වනු දැකීම සිව්වැනි සිහිනයයි. පස්වැනි සිහිනය බෝසතාණන් වහන්සේ අසූචි පර්වතයක ඉන් නොගෑවී ගමන් කිරීමයි.

මෙහි පළමු සිහිනයෙන් කියැවුණේ බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වය ලබන බවයි. දෙවැනි සිහිනයේ ප්‍රතිපලය බුද්ධත්වය ලබා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන ලෝකයට දේශනා කිරීමයි. තුන්වැනි සිහිනයෙන් කියැවුණේ බොහෝ ගිහියන් අනුගාමිකයන් වන බවයි. සතරවන සිහිනයේ අර්ථය සිව් කුලයේ ම අය ඇවිදින් නිවන් දකින බවයි. පස්වන සිහිනය සිව්පසය කොතරම් ලැබුණත් එහි නොඇළෙන බවයි.

සිහින ඉතිහාසයේ තවත් වැදගත් සිහිනයක් ජාතක පාලියේ ඇතුළත් වේ. එනම්, මහාසුපින ජාතකයයි. කොසොල් රජු දුටු එම සිහින දහසය ඉතා ප්‍රකට ය. සිහින ඉතිහාසයේ බටහිරින් අසන්නට ලැබෙන ප්‍රසිද්ධ සිහින අතරින් ජූලියස් සීසර්ගේත්, අමෙරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ සිහිනයත් ඉතා ප්‍රකට ය. ඒබ්‍රහම් ලින්කන් දුටු සිහිනය දිනක් ඔහු ධවල මන්දිරයට යනවා. කාමර සියල්ලම හිස්ව තිබෙනවා. එවිට ඔහු එම කාමර දෙස විපරම්කර බැලුවා. ඒ මත සක්මන් කරන ඔහුට එක් කාමරයකින් ඇසුණේ සිහින් කෙඳිරිලි හඬක්. ඒ දෙස ඔහු එබී බැලුවා. එවිට ඔහු දුටුවේ මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන මෘත ශරීරයක්. ඒබ්‍රහම් ලින්කන් අහනවා ඔහුගෙන් ඔහු කවුද? කියලා. සිහින් කෙඳිරිලි හඬකින් මළමිනියෙන් ඇහෙනවා. මම රටේ ජනාධිපති කියලා පිළිතුරක්. මේ සිහිනය දුටු ජනාධිපති එම අපේ‍්‍රල් මාසයේම දවසක ඔහු දුටු සිහිනය සැබෑකරමින් සාහසිකයකුගේ වෙඩි පහරට ලක්ව මිය යනවා. මේ සිහින පිළිබඳ විපරම් කිරීමේ දීි අපූරු කතාන්තර ලොව පුරා සාහිත්‍යයෙන් ප්‍රකටව දක්නට ලැබේ. බෞද්ධ සාහිත්‍යයේ සිහින පිළිබඳ කරුණු කිහිපයක් තවදුරටත් විමසා බැලිය යුතුයි. බුදුදහම ලොව පහළවීමට පෙර උපනිෂද් දර්ශනය ප්‍රකටව පැවැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත්, උපනිෂද් දර්ශනයේ ආත්මය පිළිබඳ සැලකිල්ලට ගෙන මිනිසා සම්බන්ධ අවස්ථා 4 ක් දක්වා ඇත. ජාගරික අවස්ථාව ( සිහිනයේ සිටින අවධිය), ස්වප්න අවස්ථාව ( සිහින දකින අවස්ථාව), සුප්ත අවස්ථාව ( සිහිනෙන් තොරව ගැඹුරු නින්ද) හා ආනන්ද අවස්ථාව (ගැඹුරු නින්දෙනුත් ඔබ්බට ගිය අවස්ථාව) යනුවෙනි.

මෙහි උපනිෂද් දාර්ශනිකයන් මිනිස් ජීවිතයේ සිහින දකින අවස්ථාවන් පිළිබඳ ආත්මය සම්බන්ධ කොට විස්තර කොට තිබේ.

බුද්ධ දේශනාවේ සිහින පිළිබඳ යම් විවරණයක් මහා සුපින සූත්‍රයත්, මහා සුපින ජාතකයත් පදනම් කොට ගෙන විවරණය කරන බව පෙනේ. එසේ වුවත්, මිලින්ද පඤ්හ, අටුවා ආදි ග්‍රන්ථයන් විමසීමේ දී සිහින පිළිබඳ විවිධ විවරණයන් ප්‍රකට වේ.

මෙයින් අටුවාවට පෙර ලියන ලද මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හාමුදුරුවන් සිහින දකින හේතු 6 ක් විස්තර කර ඇත.

වාපිතෝ සුපිනං පස්සති( වාතය කිපීම නිසා සිහින දකී), පිත්ථි සුපිනං පස්සති ( පිත කිපීම නිසා සිහින දකී) , සෙමිහිතෝ සුපිනං පස්සති ( සෙම් කිපීම නිසා සිහින දකී), දේවතූප සංහාරතෝ සුපිනං පස්සති ( දෙවියන්ගේ බලපෑම නිසා සිහින දකී) , සමුදා චිණ්නෝ සුපිනං පස්සති ( පෙර පුරුදු කතාබස් ආදිය නිසා සිහින දකී)හා පුබ්බ නිමිත්ත තෝ සුපිනං පස්සති (පෙරනිමිති නිසා සිහින දකී) යනුවෙනි.

ඒ අනුව ඇතැමෙක් අහසේ ගමන් කරන පාවෙන ස්වභාවය දකින සිහින වාතය කිපුණු විට දකින බව පැහැදිලි වේ. ගින්දර ආලෝක ආශි‍්‍රත ත්‍රාසය දනවන සිහින දකින්නේ ඉහත දෙවන ක්‍රමයටයි. එනම්, පිත කිපුණු විටයි. ක්‍රීඩා, ජල ආශි‍්‍රත සිහින දකින්නේ සෙම කිපුණු විටයි.

මෙහි සතරවන ක්‍රමය අනුව මිනිසාට වැඩක් අවැඩක් හොඳ නරක දේ පෙන්වන සිහින දෙවියන්ගේ බලපෑම නිසා සිදුවන බව එහි සඳහන් වේ. පස්වන සිහිනය පෙනෙන අවස්ථාව ලෙස හඳුන්වන්නේ පෙර කළ කුසල් අකුසල් අනුව දකින සිහිනයි. හය වැනි අවස්ථාවෙන් කියැවෙන්නේ කලක් ඇගයීම පිණිස පෙර නිමිති නිසා සිහින දකින බවයි. මෙම සිහින දකින අවස්ථා අතරින් දෙවියන් නිසා හා පෙරනිමිති නිසා දකින සිහින සත්‍යයට ළංවන බව පැවසේ.

තවද විභංග අට්ඨ කතාවේ ද, ජාතක අට්ඨ කථාව, විනයත්ථ මංජුසාව, ආදී ග්‍රන්ථයන්ගේ ද සිහින පිළිබඳ මිලින්ද පඤ්හයට සමාන අර්ථ කතනයන් තිබේ. ධාතු කෝප අනුභුතපුබ්බ, දේවතෝප සංහාර, පුබ්බ නිමිත්ත වශයෙන් විභංග අට්ඨ කතාවේ සිහින අවස්ථා කිහිපයක් දැක්වේ. සිහිනය දැකීමේ හේතුන් විමසන නාගසේන හිමියන්ට පුද්ගලයා සිහින දකින්නේ තද නින්දේදී නොව, කපිනින්දා (වඳුරු නින්ද) නම් වූ අඩනින්දේ දී බව ප්‍රකාශ වේ.

කෙසේ වුවත් සිහින පිළිබඳ ඉතාම චමත්කාරජනක අත්දැකීම් හැම කෙනකුට ම තිබේ. එම අත්දැකීම් පොතක සටහන් කොට එම සිහිනය දැකීමේ හේතු විශ්ලේෂණය කරගත හැකි නම්, ඒවා නිර්මාණය වූ ආකාරය අපූරුවට පැහැදිලි කර ගත හැකි ය. ඉදිරියේ දී ඒ පිළිබඳ විමසා බලමු.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]