[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදරය සහ ආදරයේ අරුත

ආදරය සහ ආදරයේ අරුත

ආදරය, සෙනෙහස, ප්‍රේමය, දයාව, ලෙන්ගතු බව යන මනෝභාවය බුදුදහම තුළ පුළුල් ව හඳුන්වන්නේ මෛත්‍රිය වශයෙනි. එකිනෙකා පිළිබඳව හිතවත්කමත්, ලෙන්ගතු බවත්, මගේ යන හැඟීමත් පෘථග්ජන ලෝකය තුළ පැවතීම සාමාන්‍ය තත්ත්වයකි.

එමෙන්ම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් මෙන්ම අපි‍්‍රයයන් හා එක්වීම ද දුකකි. වරෙක තථාගතයන් වහන්සේ දේශනා කළේ කිඹුල්වතින් එන සුළඟත් මට සැප බවයි. ආදරය සෙනෙහස බුදුදහම කිසි ලෙසකින් හෝ ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් තථාගතයන් වහන්සේ ධම්මපදයේ දී මෙහි යථාර්ථය පැහැදිලි කළහ.

පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්ප මුත්තස්ස
නත්ථි සෝ කෝ කුතෝ භයං

ප්‍රේමය නිසා ශෝකය උපදී. භය උපදී. ප්‍රේමය නැති තැන ශෝකයක් හෝ සැක ඇති නො වේ. මෙතැනදී ප්‍රේමය, ආදරය, බැඳීම ලෙස විස්තර කළේ පුළුල් පරාසයක පැතිර ඇති ප්‍රේමයයි. එනම් අම්මා, තාත්තා දරුවන් අඹු සැමි සහෝදර සහෝදරියන් , පෙම්වතුන් පෙම්වතියන් යහළු මිත්‍රයන් ආදී වශයෙනි. කිසාගෝතමිය උමතු වන්නේත්, පටාචාරාව මඟ නිරුවතින් දුවන්නෙත් මේ ප්‍රේමය නිසාම ය.

එය දාරක, අඹුසැමි, සහෝදර, මව්පිය, වියෝව මත ඇති වූ තත්ත්වයකි. එහෙත් වර්තමානයේ දී බොහෝවිට ප්‍රේමය, ආදරය කියූ සැනින් මතකයට එන්නේ පෙම්වතුන් අතර ඇති බැඳීම පමණි. එමෙන් ම ආදරය සෙනෙහස යන වචන පරිභෝජන සිතිවිලි මත භාවිත වීම මහත් ඛේදයකි.

ඇතැම් තරුණ තරුණියන්ගේ ජීවිත අඳුරුවීමට මේ වචනය සහ මේ මත සුවිශේෂී දිනයන් යොදා ගැනීම හඳුනාගත හැකියි. එතැන දී පවා සඳහන් කළ යුත්තේ ආදරය යනු බදා ගැනීම, වැළඳ ගැනීම නොව නිදහස දීම හා අගය කිරීමයි. එසේ නොමැතිව අනෙකා වෙනුවෙන් අනවශ්‍ය පරිත්‍යාග කිරීම නොවේ. එය අල්ලසකි. සැබෑ ප්‍රේමයක පරිත්‍යාගය තිබිය හැකි මුත් අනවශ්‍ය පරිත්‍යාග තිබිය නොහැක. සැබෑවටම අනෙකාට ආදරය දක්වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය රැකිය යුතු වේ. එසේ නොවන්නේ නම් ඔහු තුළ ඇත්තේ ආදරයේ නාමයෙන් ආත්මාර්ථකාමී අරමුණක් ඉටුකරගැනීම පමණි.

මල්ලිකා සූත්‍රයේ දී ආදරයේ ස්වභාවය ඉතා මැනවින් පැහැදිලි කෙරේ. මල්ලිකාව අමතන කොසොල් රජු එතුමියගෙන් විමසුවේ ඔබ මේ ලෝකයෙහි වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද යනුවෙනි.එහිදී මල්ලිකා සඳහන් කළේ තමන් වැඩියෙන් ම ආදරය කරන්නේ තමන්ට බවයි. මෙයින් කනස්සල්ලට පත් රජු මෙය බුදුරදුන්ට සැළකළ විට දී උන්වහන්සේ සඳහන් කළේ එය සැබෑවක් බවත්, මේ ලෝකයෙහි සියල්ලෝ ම වැඩියෙන්ම ආදරය කරන්නේ තමන්ට බවයි.

එසේම තමන්ට වැඩියෙන් ආදරය කරන කෙනා අනෙකාට ආදරය කරන බවයි. තමන්ගේ ජීවිතයට ආදරය නො කරන පුද්ගලයා කිසි ලෙසකවත් අන්‍ය ජීවිතවලට ආදරය නොකරයි. ගසක් තම මුල්වලින් සරු පස් සොයන්නේ පසට ඇති ආදරයට නොව ගසේ පැවැත්මට ය. එමෙන්ම වැලක් ගසක එතෙන්නේ ගසට ඇති ආදරයට නොව වැලේ පැවැත්මට ය. සාමාන්‍ය ජීවිතයේ දී එවැනි සබඳතා ගොඩනඟා ගන්නේ අනෙකාට වඩා තමා ගැන සිතමිනි, මම මටත් වඩා ඔබට ආදරෙයි යන්න සත්‍යයෙන් තොර ප්‍රකාශයකි. ඒවායින් තමන්ට ආදරය කරන කෙනෙක් වේ නම් ඔහු අනිවාර්යයෙන් ම අනෙකාට ආදරය කරනු ඇත.

යෞවන ප්‍රේමයේ දී තරුණ තරුණියන් ආදරය යනු කුමනාකාර ද යන්න වටහා ගැනීම අවශ්‍ය ය. එසේ නොවන විට තමන්ගේ ජීවිතය අධ්‍යාපනය, ඥාති මිත්‍රකම් පවා විනාශයට පත්කර ගනී. මේ ලෝකයෙහි දරුවන්ට වැඩිපුර ම ආදරය දක්වනුයේ තම මව්පියන් ය. ඔවුන් තුළ සතර බ්‍රහ්ම විහරණ ගුණ පවතී. එහෙත් දරුවන් වැඩිවියට පත්වීමේ දී උදේ සවස පුතේ මම මෙත්තාවයි. කරුණාවයි. ආදී වශයෙන් ඔවුන් නොකියනු ඇත. එවන් පසුබිමක අම්ම, තාත්ත මට එතරම් ම ආදරය නොකරයි. නමුත් මඟ තොටේ දී ඊට වඩා ආදරයක් ලැබෙනවා යැයි සිතා මුල සිඳ නොගත යුතු ය. විශේෂයෙන් කාන්තාවන් මේ ගැන සැලකිලිමත් විය යුතු ය. මන්දයත් ගැහැනියකට ඇති බලයන් අතර ආවාහ විවාහයේ දී ප්‍රමුඛ ම බලය ඥාති බලයයි. එසේ නොවී හිතුවක්කාර තීරණ ගතහොත් එම බලය අහිමි වීම මත කල්යත් ම සැමියාගේ පවුල් පරිසරය තුළ තමන් අසරණ බවට පත් වේ.

එමෙන් ම තරුණ තරුණියන් මතක තබා ගත යුත්තේ රත්තරන් , වස්තුව, මැණික, පැටියෝ පණ ආදී ලස්සන වචනවලින් මුලින් ම අපව අමතා ඇත්තේ මව්පියන් ය. මඟ තොටේ දී යමෙක් එසේ ඇමතුවා නම් එය ඔබේ කොණ්ඩයට, දත් ටිකට, මුහුණට, හඬට, මුදලට විය හැක. මේ සුදුසුකම් නැති වූ තැන එම ආමන්ත්‍රණයන් පවා නැතිවීමට ඉඩ ඇති බව තේරුම් ගත යුතු ය.

එක් තරුණයකු සමීප ගමක තරුණියක හා පෙමින් බැඳී වසර දෙකක් පමණ ලියුම් හුවමාරු කරගත්හ. ඒ සඳහා යොදා ගත්තේ හිතවත්කම මත ගමේ පියුම් මහතා ය. ඔහු ද තරුණයෙකි. අවසානයේ එම තරුණිය පියුම් මහතා සමඟ හොර රහසේ පැන ගිය පුවත තරුණයාට ආරංචි විය. ආදර සබඳතා එසේ ය. අවශ්‍ය වන්නේ අවබෝධය පමණි.

ඇතැම් අවස්ථාවලදී ආදරය, ප්‍රේමය පරාජය වූ විට සියදිවි හානි කර ගනී. ගෙදරින් විරුද්ධ වූ විට දෙදෙනාම සියදිවි හානි කොට ගනී.

ඔවුන් එහිදී සඳහන් කරනුයේ මේ අත්බැව් එසේ එකතුවීමට නොහැකි වූ නිසා ලබන භවයේ දී එසේ වීමට එකට මැරෙන බවයි. තරුණ තරුණියන් සිහිපත් කර ගත යුත්තේ එසේ මියයාම අපාගත වීම හෝ අංගවිකලව ඉපදීමට හේතුවක් වන බව ය.

බුදුරදුන් ආදරයට, ප්‍රේමයට විරුද්ධ නොවූහ. සක්කපඤ්ඤ සූත්‍රයේ දී පංචසිඛ තම පෙම්වතියගේ ගුණ වයද්දී එය තථාගතයන් වහන්සේ අගය කළහ. යශෝධරාව සසර පුරාවටම පති භක්තියෙන් යුතුව ආදරයෙන් බැඳුණාය. අත්හැර යන බව දැන දැනත් සෙනෙහසෙන් කටයුතු කළා පමණක් නොව ඉන්පසුව ද ඒ සෙනෙහසෙහි අඩුවක් නොතිබුණි. ඒ බව යශෝධරාවතෙහි පහත කවියෙන් හඳුනාගත හැකි ය.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේ වා

සැබෑ ප්‍රේමය නම් අනෙකාගේ සුවය අගය කිරීමයි.

එමෙන්ම සැබෑ ප්‍රේමයක කාම බන්ධනයන් නොතිබිය යුතු ය. යශෝධරාව තුළ එවැන්නක් තිබුණේ නම් ඉහත කවිය මීට වඩා වෙනස්විය යුතු ය.

එමෙන්ම පෙරදිග අපට සෙනෙහසට, ආදරයට, එක් දිනක් ඇත්තේ නැත. හැම දවසක් ම ආදරය, මෛත්‍රිය දැක්විය හැකි දිනයන් ය. ආදරය වාණිජකරණය වීම හා කිරීම ව්‍යාපාරික අරමුණු ය.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]