[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විනාශ වී යන බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට කැප වුණා

විනාශ වී යන බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට කැප වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල රංගිරිඋල්පත රාජමහා විහාරය ප්‍රධාන විහාර ගණයේ අධිපති සිරිසද්ධම්මවංසපාල ගණාචරිය මහා මහෝපාධ්‍යාය කීර්ති ශ්‍රී අමරපුර සිරිසද්ධම්මවංස පාර්ශ්වයේ මහා නායක ධුරන්දර අතිගෞරවාර්හ අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය (උප්පුවේලි හාමුදුරුවෝ)

අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ මහා නායක පදවි ප්‍රාප්තිය දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ඡාවට ප්‍රවේශ වෙමු මහා නායක හාමුදුරුවනේ.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන අහුන්ගල්ල කියන බොහොම පැරැණි සුන්දර ග්‍රාමීය පරිසරයක ජීවත්වුණු සම්භාවනීය පවුලක උප්පත්තිය ලබමින් අම්බලන්ගොඩ රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාම විහාර පරපුරට අයත් අහුන්ගල්ලේ කැකිරිවත්තේ සිරි විජයාරාමාධිපති ව වැඩ විසූ අතිපූජනීය වැලිතර සුමනසිරි නායක මාහිමිපාණන් වහන්සේගේ හා ගරුසම්භාවිත අහුන්ගල්ලේ සීලවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වුණා. මා හදාවඩා සම්බුද්ධ ශාසනයට දායාද කළ මගේ සදාදරණීය පින්බර මව්පියන් දෙපළ වන ඒ.ටී.පී.එම්.අබේසේකර මහෝපාසක මහතා සහ එම්.මිලීද සොයිසා අබේසේකර මහෝපාසිකා මාතාව මේ අවස්ථාවේ දී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතු යි.

අතිපූජනීය වූ පුණ්‍යවන්ත පැවිදි ජීවිතයට ඇතුළත්වීමෙන් අනතුරුව අම්බලන්ගොඩ රන්දොඹේ ශිෂ්‍යාලංකාර මහ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ලබා ගනිමින් නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ වැලිතර මහා කප්පින වලව්ව අසල මාදුනදී ස්වේජින් උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙතින් සුපරිසුද්ධෝපසම්පදාව ලැබීමට තරම් පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වූ පුණ්‍ය ශක්තිය බලවත් වුණා.

ඒ වගේම වසර ගණනාවක් පුරා උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ජනතාව යුද බියෙන් ආරක්ෂා කර ගනිමින් සිදුකළ ජාතික ආගමික, ශාසනික සේවය ඇගයීමට පාත්‍ර කරමින් අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයෙන් උතුරු නැඟෙනහිර තමන්කඩුව තෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමුවා. තවදුරටත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කළ කැපවීම ඇගයීමට ලක් කරමින් අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබීමටත් , එම පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදුන් දායකත්වය සම්භාවනාවට පාත්‍ර කරමින් අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි 2013 වර්ෂයේ දී අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායක ධූරයෙන් ද, අමරපුර සංඝ සභාවේ උපසභාපති ධූරයෙන් ද පිදුම් ලැබුවා. ඒ අනුව පාර්ශ්වයට අයත් විහාරස්ථාන 500 ක වැඩ සිටින පන්දහසක් පමණ වන ගරුතර මහා සංඝ රත්නයේ සුවදුක් විමසා බලමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිස තවදුරටත් ශාසනික මෙහෙවරෙහි නියැළෙනවා.

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල රංගිරි උල්පත පුරාණ රාජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආගමික වශයෙන් පමණක් නොව, ජාතිකමය වශයෙනුත් ඔබ වහන්සේ සුවිශාල කාර්යභාරයක් සිදුකරන බව ප්‍රකටයි. ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න හාමුදුරුවනේ,

නටඹුන් ව පැවති ත්‍රිකුණාමල කුච්ජිවේලි සමුදාගිරි පිච්චමල් රාජමහා විහාරස්ථානය 1978 වර්ෂයේ දී නැවත ප්‍රතිසංස්කරණය කරමින් එහි වැඩ සිටියත් 1983 වර්ෂය වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායම්වල කරදරවලට ලක්වුණා. ජනතාවට විඳින්නට සිදුවුණ තාඩන පීඩන නිසා සිංහල බෞද්ධ ජනතාව බොහෝ පිරිසක් ත්‍රිකුණාමලය හැරගියත්, වීරෝධාර රණවිරුවන්ගේ සහයෝගය ලබා ගනිමින් සිංහල බෞද්ධ ජනතාව ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා හැකි පමණ සපුරාදෙමින් කුච්ඡිවේලි විහාරස්ථානයේ ම වැඩ සිටියා. මගේ දකුණු අත වෙඩි ප්‍රහාරයකට ලක්වුණා පමණක් නොවෙයි, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හරින ලද බෝම්බයකට ගොදුරුවීමෙන් සෝභිත පොඩිහාමුදුරුවන් වහන්සේ අපවත් වුණා. විහාරස්ථානයට අයිති අක්කර 3 ක ඉඩම තුළ නිවාස 33 ක් ඉදි කර උන්වහන්සේගේ නාමය සිහිපත්වීමට ‘සෝභිත ගම්මානය’ ලෙස නම් කරමින් සිංහල බෞද්ධ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කළා.

ඒ වගේම ත්‍රිකුණාමලය රන්ගිරි උල්පත නා උල්ගම ගම හා කුරුඳුගම ගම යන ගම්මාන අලුතෙන් නිවාස 30 බැගින් ඉදිකරමින් සිංහල බෞද්ධ ජනතාව නැවත පදිංචි කළා. ගෝමරන්කඩවල අලුත් ගම්මානයක් ඇතිකළා පමණක් නොවෙයි, වැව් 5 ක් ප්‍රතිසංස්කරණය කරමින් එම ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර ලබාදීමටත්, වගා ළිං සාදාදීමටත්, රැකී රක්ෂා සොයා දීමටත් කටයුතු කළා. එම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට පොත් පත් ඇතුළු පාසල් උපකරණ, ඇඳුම් පැළඳුම් ලබා දෙමින්, සිංහල අවුරුද්දට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දෙමින් තවදුරටත් ඔවුන් ශක්තිමත් කරගෙන යනවා. දෙමළ ත්‍රස්තවාදීන් විසින් සම්පූර්ණයෙන් විනාශ කළ උප්පුවේලි පින්බතුගම මසංවැව පුරාණ රාජමහා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළා වගේ ම ත්‍රිකුණාමලය උප්පුවේලි ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයත්, කුරුණෑගල තෝරයාය දම්මඩවත්ත ශ්‍රී සුදර්ශනාරාමයත් අලුතෙන් ආරම්භ කළා. ත්‍රිකුණාමලයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන ගිහි පැවිදි දෙපාර්ශවයේ ම පහසුව සඳහා කෝට්ටේ ජයවර්ධනපුර තලපත්පිටිය ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළා.

දෙමළ ත්‍රස්තවාදීන් විසින් විනාශයට පත්කළ ත්‍රිකුණාමල කිණිහිරිකන්ද සමිචිමලේ චේතියගිරි පුරාණ රාජමහා විහාරයත්, ත්‍රිකුණාමලය කදුරුවැව රාජමහා විහාරයත් ප්‍රතිසංස්කරණය කරමින් නැවත ඉදිකිරීම් සිදුකළා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගනිමින් විහාරස්ථාන 25 ක ස්වාමීන් වහන්සේලා වැඩ සිටියත් උන්වහන්සේලාට දානය පිළියෙළ කරගෙන වැළඳීමට සිදුවෙලා තිබෙනවා. උන්වහන්සේලා අතිශය දුෂ්කර ජීවිත ගෙවන්නේ. මට හැකි ශක්ති ප්‍රමාණයෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු කරනවා. මෙම සුවිශාල කාර්යභාරය සාර්ථක කර ගැනීමට සිංගප්පූරුවේ සහ කොළඹ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ ද රජයේ ද, මහජනතාවගේ ද, දානපතියන්ගේ ද, වීරෝධාර රණවිරුවන්ගේ ද බොහෝ ආධාර, උපකාර ශක්තිය ලැබුණු බවත්, තවදුරටත් ලැබෙන බවත් පුණ්‍යානුමෝදනා පූර්වක ව කෘතවේදී ව සිහිපත් කළ යුතුයි.

විනාශ වී යන බෞද්ධ උරුමය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ ජනතාව රැක ගනිමින්, දෙමළ, මුස්ලිම් ජනතාවට උපකාර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් වසර 45 ක් පුරාවට සිදුකළ අප්‍රමාණ කැප කිරීම ඒ ආකාරයෙන් ම තවදුරටත් ඉටුකරගෙන යාම මගේ එකම බලාපොරොත්තුවයි.

චිරාත් කාලයක් තිස්සේ පවත්නා ශාසනික සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට නූතන භික්ෂූන් වහන්සේලාට පැවරෙන කාර්යභාරය පිළිබඳ අවධානය යොමුකරමින් සාකච්ඡාව අවසන් කරමු අපේ හාමුදුරුවනේ,

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව හැසිරෙනවා නම්, ගැටලු නැහැ. කළ යුත්තේ එපමණයි. එයට පටහැනි ව කටයුතු කිරීම තුළ තමයි මෙම පැටලිලි ඇතිවෙලා තිබෙන්නේ. බුද්ධ දේශනාවට අනුව භික්ෂූත්වයට අයිති කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]