[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙවර ජයග්‍රාහී නිර්මාණය

අපේ ගමේ පන්සල

‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ යන තේමාව මුල් කර ගත් සමාජයක් අප රට තුළ නිර්මාණය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමඟ ය. ගමේ කෘෂි ආර්ථිකය වැව මත පදනම් විය. අහස්කුස සිප ගන්නා තේජාන්විත සුදෝ සුදු දාගැබ ආධ්‍යාත්මික සමෘද්ධියේ සංකේතය යි. වෙල් යායෙන් මැදි වූ පන්සලට ආරක්ෂාව සපයන්නේ එය වට කරගත් කඳු පන්තිය යි. බෝධීන් වහන්සේ අසලට ගිය විට එහි බෝපත් සැලෙන මිහිරි ශබ්දයෙන් හා එහි ආධ්‍යාත්මික සුවයෙන් අපහට දැනෙන්නේ බුදුරදුන් ජීවමාන ව එහි වැඩ සිටිනවා යන හැඟීම ය.

ඊට මඳක් ළඟින් පිහිටි සියඹලා ගස සහ ගල් තලාව කාගෙත් සිත ඇද බැඳ තබා ගනී. පියගැටපෙළ නැඟ පන්සලට ඇතුල් වීමට ඇති ද්වාරයෙහි පිහිටි ඝණ්ඨාරය නාද කිරීම කුඩා ළමයින් සැමගේ ආශාවකි.

ගලින් තැනූ සමාධි බුදු පිළිම වහන්සේ හා බෝධීන් වහන්සේ අතර මැද පිහිටි ධාතු මන්දිරය සිතට ශාන්තියක් ළඟා කර දෙයි. එම ස්ථානයට පැමිණෙන කාගේ වුව ද සිත නිසංසල කිරීමට එය මහෝපකාරී වේ. අපේ ගමේ පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ දෙනම ගම්වැසියන් හට ඔවදන් සහ ආශිර්වාද ලබාදෙයි. ගමෙහි සාර්ථකත්වය හා ප්‍රගතිය දැකීම උන්වහන්සේලාගේ තවත් එක් අභිප්‍රායකි. අපේ ගමේ පිහිටා ඇති පන්සල අපට විශාල සම්පතකි. එය ශ්‍රද්ධාවෙන් රැක ගැනීම අපගේ වගකීමකි.

****

මම හොඳ දරුවෙක්

යහපත් පුරුදු හැම විට පිළිපදිනු කියා
වදහළ සේක අපෙ සම්බුදු තිලොව පියා
වත්මන් සමාජය දෙස අපෙ දෙනෙත අයා
බැලුවිට පෙනේ මුනි දෙසු බණ හරිය කියා

හැමවිට හිනාවෙන් හැම මුව සරසාලා
ගුරු දෙගුරුන් වදනට අවනත වීලා
යහපත් හැම දේට ගරු බුහුමන් කරලා
හොඳ දරුවකු ලෙසට සැම සිත් සනසාලා

මව්පිය ගුරුන්හට නිති අවනත වෙන්නම්
ඒ හැම කියන දේ මුදුනින් පිළිගන්නම්
ගම රට දිනවුමට හැම විට අත දෙන්නම්
හොඳ දරුවකු විලස මම ජීවත් වෙන්නම්

****

මහා කරුණා ගුණය

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව දිවි ගෙවූ පන්සාළිස් වසර තුළ සෑම දිනකම තමන් වහන්සේගේ මුල්ම කාර්ය බවටපත්කර ගත්තේ ද පිහිට විය යුතු ම අය කවුරුද යන්න විමසා බැලීමට ය. අලුයම මහා කරුණා සමාපත්තියට සම වැදී බුදු ඇසින් ලොව බැලූ උන්වහන්සේ දුකට පත් වූ බොහෝ දෙනාට පිහිට වූහ. මවක් පියෙක් තම දරුවාට දක්වන කරුණාවටත් වඩා බුදුරදුන් ලෝකයට ම කරුණාව දක්වන සේක. සුනීත, සෝපාක, රජ්ජුමාලා, මට්ටකුණ්ඩලී, පුක්කුරසාති යන අයට පිහිට වූ ආකාරය පිළිබඳ කතා පුවත් තුළින් මැනවින් එය ප්‍රකට වේ. බෝසත් අවදියේ පාරමි දම් පිරුවේ ද මහා කරුණාව පෙරදැරි කරගෙන ය. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණයට අපගේ නමස්කාරය වේවා.

****

මහා කාරුණිකයාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පෙර සසරෙහි පටන් වෛර බැඳ පැමිණි දෙව්දතුන්ටත්, රා බී වියරු ව බුදුරදුන් නැසීමට පැමිණි නාලාගිරි ඇතුටත්, නමින් අහිංසක වුවත් පසුව මිනීමරුවකු වූ අංගුලිමාලටත්, සිදුහත් කුමරුගේ ලෙයින් උපන් රාහුල කුමරුටත්, කසළ ශෝධනය කළ සුනීතටත් උන්වහන්සේ සම සිතින් සැලකූහ. ඒ වගේම ජාතියක්, කුලයක්, භේදයක් නොසොයා බුදුරජාණන් වහන්සේ සත්වයන්ට කරුණාව පෑ නිසා මහා කාරුණිකයාණන් වහන්සේ යැයි කියති.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]