[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙමසකට පෙර නිවී ගිය අද්විතීය–ධර්මදූතයාණෝ

තෙමසකට පෙර නිවී ගිය අද්විතීය–ධර්මදූතයාණෝ

උපන් බිමත් , වැදූ මවත් දෙව්ලොවටත් වඩා උසස් කොට සලකමින්, රටට – ජාතියට හා ආගම දහමට අනුපමේය උදාර මෙහෙවරක් කරමින් සම්බුද්ධ ශාසනය පොබයමින්, ප්‍රංශයේ ජේතවනාරාමාධිපතිව වැඩ සිටි ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත්වී 2022.02.05 දිනට පුරා තෙමසකි.

උන් වහන්සේගේ වියෝව ශ්‍රී ලාංකික ජනතාවට ඉමහත්ම පිරිමසාලිය නොහැකි පාඩුවකි. ඉනුත් රටේ දුගීි දුප්පත් ජනතාවට ය. පිළිසරණ අවශ්‍ය අසරණයන් සොයමින් ඔවුන් උදෙසා යෙදුනු කාලවකවානුව තුළ ඉටු කළ ප්‍රදානයක් වෙනත් කවරකු ගෙන්වත් සිදුවූයේදැයි සැක සහිත ය.

පුරා වසර 35 කට වඩා වැඩි කාලයක් ප්‍රංශයේ වැඩ වසමින් ප්‍රංශ , චීන ලාඕස්, වියට්නාම්, කාම්බෝජ් ශී‍්‍ර ලාංකික ආදී බෞද්ධ ජනතාවට දිවි මඟ පැවැත්ම සඳහා අර්ථයෙන් , ධර්මයෙන් අනුශාසනා කරමින්, ඉටු කළ ධර්මදූත මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීය ය. එපමණක් නොව උන්වහන්සේ ධර්මදූත සේවයට ජර්මනිය, ඉතාලිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, එංගලන්තය, අමෙරිකාව ආදි බොහෝ රටවල් සඳහා ද වැඩම කරමින් ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස එහි භික්ෂූන්ට නායකත්වය දෙමින්, සැදැහැවතුන් උදොසා ඉටු කළ ශාසනික මෙහෙවර කිසිදාක ඔවුන්ගේ මතකයෙන් ඈත් නොවේ.

අපේ ඤාණිස්සර නාහිමියන් බොහෝ පි‍්‍රයශීලීය. මිතභානී ය. හමුවෙන සෑම කෙනෙකුටම සිනාමුසු මුහුණින් අමතමින්, නිරහංකාරව ලබාදුන් උපදෙස් ඕනෑම අයෙකුගේ චරිතයන්ට ඉතා ඵලදායීය. හරසුන් බොල් හඩක් නොතිබුණු උන්වහන්සේට කවුරුත් එකසේ වැදගත් ය. ඕනෑම කෙනෙකුට ගෞරවය ලබා දෙමින් ඇමතීමට තරම් නිහතමානී වූ උන්වහන්සේට හැම දෙනාම ගරු කළහ. පිදූහ. පැසසූහ. ගුණ කීහ.

අපේ ඤාණිස්සර නාහිමිගේ සමාජ සේවය එලෙසින් පිවිතුරු ය. සාධාරණ ය. යුක්තිගරුක ය. විනිවිද දක්නා සුළු ය.

පුරා වසර තිහක්ම පඬුරු හා අනෙකුත් පුද පරිෂ්කාර කිසිදු බදා ගැනීමක් නොකළහ. බෙදාගෙන වැළඳීම තම දිවිමඟේ උත්කෘෂ්ඨ ගුණයක් කරගත් නිසා ම තමන් වහන්සේට ලැබුණු හැමදේම භේදයකින් තොරව බෙදා දෙමින් අසීමිත සතුටක් ලදහ.

බොහෝ කලණ මිතුරු ගුණයන්ගෙන් ද තම දිවි මඟ සරසාගෙන තිබුණු උන් වහන්සේට අප රටේ ජනාධිපති, අගමැති සේ ම ඉතා අසරණ ගමේ දායක දායිකාවන් ද අසීමිත ලෙස ලෙන්ගතුව ඇසුරු නිසරු කරන ලදී. ඔවුන්ද ඉමහත් ගරු බහුමානයෙන් උන්වහන්සේගේ ඇසුර පි‍්‍රය කළහ. ඒ කිසිදු ඇසුරක් තම උදර පෝෂණයට හෝ වාගාඩම්බරපාන්නට හෝ වෙනත් කිසිදු කරුණුක් උදෙසා වරදාන සඳහා ඉවහල් නොකර ගැනීමට තරයේ වග බලා ගත්හ.

‘මිතුරු තුමූ දුක සැප දෙකෙහිම පැවැති

බිතු සිතුවම් රූ මෙන් පිටු නොපැවිති’

යන පඬිවදනට අනුගත වෙමින් දෝ අපේ ඤාණිස්සර නාහිමි තමන්, ඇසුරු නිසරු කරන ලොකු කුඩා හැමදෙනාගේ ම දුක සැප විමසාලු අතර අවශ්‍ය තැන්හිදි නොවළහාම පිහිටවූහ. අත්හැර ගියේම නැත.

ආදර්ශවත් යතිදිවියක් ගෙවූ අපේ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් කිසිවකු නොසිතූ විරූ ලෙසින් මරු සොරා ගෙන ගියේ මීට තෙමසකට පෙර අපේ මව්බිමට විශාල හිඩැසක් ඇති කරමිනි. උන්වහන්සේ අපවත්ව තෙමසක් පිරෙන පෙබරවාරි 05 දින සඟසතු දනක්දී පින්දීමේ පින්කමක් පැරිස් බෞද්ධ, විහාරාධිපති, සාහිත්‍යශූරි කෝන්ගස්දෙණියේ ආනන්ද මාහිමිපාණන් ප්‍රධාන දායක සභාව, දහම් පාසල හා දෙමව්පියන් කටයුතු සංවිධානය කෙරිණි. උන්වහන්සේ අමා මහ නිවන් සුව ලබත්වා!

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]